බලන් කැඩපත සොඳුරියේ..........

විපරිණාමය හෙවත් යමක් වෙනත් දෙයක් බවට පත්වීම කියන්නේ විශ්වයේ සංකතවූ සියලූම වස්තූන්ට (සංස්කාරයන්ට ) පොදුවූ ධර්මතාවක් .....විපරිණාමයට ලක් නොවන්නේ විශ්වයේ අසංකතවූ එකම ධාතුව වන නිර්වානයම පමණයි.... බුදුරදුන් ලෝකයේ සියලුම සංස්කාරයන් ගැන දෙසන්නේ ඒ සෑම සංස්කාරයක්ම " උප්පාදෝ පඤ්ඤායති,වයෝ පඤ්ඤායති ඨිථස්ස අඤ්ඤථත්ථං පඤ්ඤායති කියල....ඒ කියන්නේ, " මහණෙනි, මම ලෝකයේ සියලුම සංස්කාරයන්ගේ උපතක් පනවමි, වැයවීමක් හෙවත් මරණයක් පනවමි, ඒ අතර තුරදී, ඒ දෙය වෙනත් දෙයක් බවට විපරිණාමය වීමක් පනවමි" කියල.... පස්සේ කාලේක ධර්මය ගැන විවිධ අර්ථ කථන දෙන්න විවිධ නිකායයන් සහ ගුරුකුල පටන් ගත්තට පස්සේ, මේ මුල් බුද්ධ දේශණාව යම් මට්ටමකින් විකෘති වෙලා මෙය උත්පාද-ථිති-භංග කියල අවස්ථා තුනක් බවට පත්වුනා...ඒත් සූත්‍ර පිටකයේ කිසිම තැනක උත්පාද-ථිති-භංග කියල බුද්ධ දේශණාවක් කියැවෙන්නේ නෑ .....ඉතා පැහැදිළිව කියවෙන්නේ " උප්පාදෝ පඤ්ඤායති,වයෝ පඤ්ඤායති ඨිථස්ස අඤ්ඤථත්ථං පඤ්ඤායති "කියලම පමණයි... ඒත් අභිධර්ම පිටකයේ නම් "උත්පාද-ථිති-භංග" ලෙස කියවෙනවා.... අභිධර්මය මූලික බුද්ධ දේශණාවක් නොවේ කියලත්, වේ කියලත් ,බොහෝ කාලයක් තිස්සේ ථේරවාදීන් දෙපිරිසක් අතරේ සංවාදයක් පවතිනව.
බුදු දහමේ මූලිකම ත්‍රිලක්ෂණයේ එන අනිත්‍ය කියන ධර්මතාව බොහෝ දෙනෙක් මේ විපරිණාමය හෙවත් වෙනස්වීම සමග පටලවාගෙන ඉන්න බවනම් පෙනෙනවා ....අනිත්‍ය කියන්නේ නිකම්ම නිකම් වෙනස්වීම නම්, මේ වන විටත් අනිත්‍ය අවබෝධයෙන් අපි බොහෝ දෙනෙක් නිවන අවබෝධ කරල ඉවරයි...ඒත් අනිත්‍ය කියන්නේ වෙනස්වීම නොවන නිසාම තමයි අපි වෙනස්වීම ගැන තේරුම් ගත්තත් නිවන අවබෝධ නොකරන්නේ ..
පුංචි කාලෙදි අපිට ලොකුවෙන්න පුදුම හදිස්සියක් තියෙන්නේ.... එහෙම එහෙම පෙරුම් පුරල පුරල තරුණවියට ආවම, අපිට ඕන කාලය ගත නොවී දිගටම තාරුණ්‍යයේ රැඳෙන්න.... ඒක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් බව අවසානයේ තේරුම් ගත්තම, අඩුම තරමින් අපේ තරුණ පෙනුම හෝ රැකගන්න අපි රූපලාවණ්‍යයේ පිහිට පතනව...... රටේ නැති කොමඩු ,පැපොල්, අලිපේර ,පිපිඤ්ඤා පෙති මුහුණ පුරා අතුරගෙන සඳුන් ආලේප කරගෙන සමේ සිදුවන විපරිණාමය සඟවගන්න දිවා රාත්‍රී වෙහෙසෙනවා ......අතීතයේ නම් මේ ගැන වැඩිපුර උනනන්දු වුනේ ලලනාවන්, ඒත් දැන් දැන් පිරිමිත් "රූපලාවණ්‍යය" කරන්න පටන් අරගෙන...... ලලනාවක් නම් ටිකක් සුකුමාලව ඉන්න එක එයාලගෙ අනන්‍යතාව කියන්න පුලුවන්, ඒත් පිරිමිත් සෞම්‍ය සමක් සහිතව ගෑණු වෙන්න හදන එක නම් ටිකක් පරස්පර විරෝධියි ....
මීට වසර කීපයකට කලිං මම මගේ ලඟම මිතුරෙක් එක්ක මාංකඩවල සුදස්සන හිමියන් හමුවෙන්න ගලෙන්බිඳුනවැව ලබුනෝරුවකන්ද අරණ්ය සේනාසනයට ගියා..... හවස නාගන්න කියල මිතුරත් එක්ක ලිඳ ලඟට ගියාම ඔහුගේ කුඩා අත්බෑගය විවෘත කළා..... එහි තිබුණු රූපලාවන්‍ය අඩු බඩු ටික දැක්කම මට හිනා ගියාම මිතුරාට ලැජ්ජා හිතුනා..... ඊට ටික වෙලාවකට කලිං විපරිණාමය සහ ජීවිතයෙදි ප්‍රායෝගිකව ඊට මුහුණ දිය යුතු ආකාරය ගැන කියපු මිතුරා එලියට ඇදල ගත්තු දේවල් සියල්ලම ඔහු යොදාගෙන තිබුනෙ විපරිණාමය සඟවන්න ........
කෙනෙක් පිරිසිඳුවට අන් අයට ප්‍රියමනාපවන අයුරින් සිටිය යුතු බව බුදුරදුන් ඉතා පැහැදිලිව දෙසනව..... දත් මැදලා ,හිස රැවුල් බා, තමන්ගෙන් නිකුත්වන යම් දුර්ගන්ධයක් ඇතිනම් අන් අයට ඉන් බාධාවක් නොවන ලෙස ,ප්‍රසන්නව ඉන්න කියල තමයි බුදුන් භික්ෂූණ්ට අනුදැන වදාළන්නේ.... ගිහියන් ඊටත් වඩා තවත් ටිකක් ඉදිරියට ගිහිං ඊට වඩා ඒ ගැන උනන්දුවෙන් කටයුතු කලාට එහි වරදක් නෑ.... ඒත් තමන්ගේ ශරීරයේ සත්‍ය ස්වභාවය උවමනාවෙන්ම වසන් කරගෙන සිත රවටා ගැනීම උන්වහන්සේ කිසි දිනෙක ආර්ය මාර්ගයේ යන කෙනෙකුට අනුමත කළේ නෑ.....ලෞකික ජීවිතය තුල ආශ්වාදය ලබන කෙනෙකුට එය ගැටලුවක් නොවෙයි, ඒත් මේ උඩින් බණ කියමින් යටින් තමන්ගෙම හිත රවටාගන්න මිනිස්සු ගැන නම් ඇතිවෙනේ අනුකම්පාවක්........
දීර්ඝ ආයුෂ සහිත බ්‍රහ්මයන්ට මිනිස් ලොව මිනිසුන් ඉපදී මරණයට පත්වීම පෙනෙන්නේ හරියට වැස්ස වෙලාවක වතුර වලකට වැහි බිඳු වැටෙනකොට හටගෙන නැතිවෙලා යන "ක්ෂණික වතුර බුබුලක්" වගේ කියල තමයි පිටක වල සඳහන් වෙන්නේ.....මිනිස් ලොව ආයුෂය ,ආයු කල්ප ගනං ගෙවන බ්‍රහ්මයන්ගේ ජීවිත එක්ක බලද්දි කොයිතරම් ක්ෂුද්‍ර මට්ටමක්ද ? දැන් මගේ වයස අවුරුදු 38යි මාස හතරයි..... මම අසනීප වෙලත් දැන් මාස 23ක් වෙනවා....කොච්චර ඉක්මනට කාලය ගෙවිලා යනවද ?
ලෝකයේ ජීවත්වන සත්ත්වයින් ඛාණ්ඩ තිස් එක ගැන බැලුවාම මිනිස් ලෝකයේ ආයුෂය සාපේක්ෂව ඉතාම අඩුයි...... බුද්ධ කාලයේ පරම ආයුෂය අවුරුදු 120ක් වුනත්, මේ වෙද්දි ඒක හැත්තෑවකට විතර අඩුවෙලා.... බුද්ධ කාලයේ ආයු කල්පයක් කිව්වේ පරම ආයුෂයට....සාමාන්‍යයෙන් බුදුවරයෙක් ජීවත් වෙන්නේ ඒ කාලයට අදාළ පරම ආයුෂයෙන්( ආයු කල්පයෙන් ) තුනෙන් දෙකක කාලයක්.... ඒ නිසා තමයි බුදුන් වයස අසූවෙදි පිරිනිවුනේ....අසූව කියන්නේ එකසිය විස්සෙන් තුනෙන් දෙකක්...ඒත් සතර සෘද්ධි පාද වැඩූ කෙනෙකුට අවැසි නම් ඉතිරි තුනෙන් එකක කාලයත් වැඩ සිටින්න පුලුවන්.....නමුන් අනද හිමියන් ඒ වෙනුවෙන් ඉල්ලීම නොකළ නිසා ඉතිරි වසර හතලිහක කාලය බුදුන් අතහැර දැම්මා....
බටහිර තාරකා විද්‍යාවට අනුව අපේ සූර්යයා සහ චන්ද්‍රයා හටගෙන වසර මිලියන ගනනක් වෙනවා. සූර්යයාගේ ඇතුළත සිදුවන හයිඩ්‍රජන් හීලියම් බවට පත්වන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව සෑම මොහොතකම සිදුවෙමින් සූර්යයා දවසින් දවස ක්ෂය වෙමින් යනව.... ඒත් සූර්යයා ඉතා විශාල වස්තුවක් නිසා අපිට මෙය එකවර ග්‍රහණය කරගන්න බැහැ. ඒ නිසාම අපිට හිතෙන්නේ හිරු සඳු දෙක නම් කවදාවත් වයසට යන්නේ නැතුව එක වගේම තියෙනව කියල. කොළඹ නගරය ගත්තත් දවසින් දවස පරණ ගොඩනැගිලි ඉවත් කරලා අලුතින් ඉදිවෙනකොට අපිට පෙනෙන්නේ දිනෙන් දිනම තරුණ වෙනව වගේ.පැරණි අවන්හල් තවතවත් අලංකාර ලෙස විසිතුරු ලෙස පවත්වාගෙන යන්නේ කිසිදා ඒවාත් වයසට යන්නේ නෑ වගේ. ඒත් මීට දශක කීපයකට පෙර කොළඹ අවන්හල්වලදි හමුවුන මේ වියපත් ප්‍රේමවන්ත්යින් දෙදෙනා නම් දැන් තවදුරටත් ලෝකයට සඟවන්න බැරි තරමටම වියපත් වෙලා. ඉස්සර ඝණ කාල වර්ණයෙන් සේද මෙන් බැබලුන කෙස් කළඹ අස්සෙන් දැන් ඉදුනු සුදු පැහැ ගැන්වුණු කෙස් ගස් මතුවෙන්න පටන්ගෙන. ඉරිතැලුනු මුහුණේ හම වැහෙන්න ආලේප කළ පවුඩර් වලට තමන්ගෙ කාර්‍යභාරය හරියට ඉටුකරගන්න බැරි වෙලා .....සමේ වල ගොඩැලි පව්ඩර් පිසදැමූ විගසම හොඳින් පෙනෙනවා.ඉස්සර තමන්ගේ පෙම්වතිය සමඟින් තාරුණ්‍යයේදි හුදෙකලාවෙ ගත කළ කොළඹ කොටුවේ වරාය ලඟ අවන්හලට ගියාම, ඈත වරායේ නෞකාවක කුඹ ගස අස්සෙන් එබිකම් කරමින්, තවමත් තාරුණ්යෙන් ඔද වැඩී ඉන්න චන්ද්‍රයා ඔච්චම් කරනවා.විශ්වයේ හැමදේම තවමත් තරුණයි, ඒත් සොඳීරිය ඔබත් මමත් වියපත් වෙලා......
කොලොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ
කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුණු දෙකොපුලෙහි පිසදා
පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන් අරුමද නරකෙසක් නැගිලා.
පද ගෙත්තම ; ලූෂන් බුලත්සිංහල
සටහන් ; චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=qLQEY4Ev6vM


Comments

Popular Posts