කුහක බව.......

ඉරිසියාවට ඉංග්‍රීසියෙන් Jealousy කියල කිව්වට, කුහක බවට කියන්න තරම් ඉංග්‍රීසි වචනයක් නෑ කියල කිව්වෙත් ,කුහකබව තියෙන්නේ සිංහලයන් අතරේත් පමණයි කිව්වේ මගේ හොල්සිම් මිතුරෙක් වුන චානක ගුණතිලක සහෝදරයා ......ඒක කතාව ඇත්ත නැත්ත කොහොම වුනත්, අන් කෙනෙකුගේ සතුටකදි සැපතකදි ඒ දිහා බලලා සතුටු වෙන්න පුලුවන් ගුණයට කියන්නේ මුදිතාව කියල.......ඒක සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් එකක්..... ඉතින් මේ මුදිතාවේම ප්‍රතිවිරුද්ධ අදහස තමයි කුහකබව කියන්නේ....
මිනිස්සු බොහෝ දෙනෙකුගේ කුහකබව ඉස්මතු වෙන්නේ තමන්ගේ ලඟම නෑයෙකුගේ හෝ හිතවතෙකුගේ සතුටකදි.... නොදන්නා කෙනෙක් කොහොම සතුටුවුනත් දන්නා කෙනෙක් සතුටින් ඉන්නව දකින්න සමහරු කැමති නෑ...... ගම්මානයක දුෂ්කරතාවන් මැද කාලය ගෙවූ කෙනෙක් අධ්‍යාපනය නිසා හෝ වෙනත් කැප කිරීමක් නිසා යම් දියුණුවක් ලබල ඉන්නව දැක්කම 'දැන් ඔය ලොකුවට ඔහොම හිටියට ඉස්සර ඔය මනුස්සයගෙ තාත්තා ගමේ ගෙවල් වල කුලී වැඩ කලා' කියල ඔහු හෝ ඇය ලබා ඇති ජයග්‍රහණය හෑල්ලුවට ලක්කරමින් ඕලාරික ලාමක ආශ්වාදයක් ලැබීමට සමහරු කැමතියි .......මුදිතාව කියන්නේ බ්‍රහ්ම ගතියක් නම් කුහකබව කියන ඒකෙම ප්‍රතිවිරුද්ධ හැඟීම කියන්නේ ප්‍රේත ගතියක් විය යුතුයි කියලයි මට හිතෙන්නේ....
බුදුරදුන්ට වැඩියෙන්ම කරදර කලේ තමන්ගේ සමීපතමයෙක් වුන දේවදත්තයන් .....ජේසුස් වහන්සේ මසුරන් කාසි ටිකකට පාවා දුන්න ජුදාස් කියන්නේ එතුමන්ගේ කීකරු සමීපතමයෙක්..... ජූලියස් සීසර්ට පිහියෙන් ඇනපු බෲටස් කියන්නේ සීසර්ගේ බොහෝ කාලයක් තිස්සේ සමීප සගයෙක්.... මහත්මා ගාන්ධිට වෙඩි තබා ඝාතනය කල නතුරාම් ගෝඩ්සේ කියන්නේ බොහෝ කාලයක් ගාන්ධිගෙ අනුගාමිකයෙක් වගේම සමීපතමයෙක්...... මෑත ඉතිහාසයේ ජනපති ප්‍රේමදාස ඝාතනයට මූලිකත්වය ගත් බාබු කියන්නේත් ඔහුගෙ බොහෝ කල් සමීපතමයෙක් ......ජනපති මහින්ද රාජපක්ෂට කොකා පෙන්නුවෙත් ඔහුගේ කීකරු අනුගාමිකයෙක් වෙලා ඔහු රටේ නැති අවස්ථාවලදි වැඩ බලන ආරක්ෂක ඇමති ලෙස පවා කටයුතු කල මෛත්‍රීපාල සිරිසේන කියන සමීපතමයා..... මේ ගැන කියන්න ගියොත් ඉවරයක් නෑ ....තමන් ලඟ තමනට බොහෝ ලෙංගතුව ඉන්න කෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා විරසක වුනාම ඔහු හෝ ඇය බොහෝ විට සදාකාලික පරම සතුරා බවට පත්වෙනවා....
තමන් බොහෝ කලක් ලඟින් ඇසුරු කළ මේ පුද්ගලයාගේ හොඳ නරක වගේම හැකියාවන් සහ අඩුපාඩුකම් තමන් හොඳින් දන්නා නිසා ඊට පස්සේ ඔහුට විරුද්ධව විවිධ අයුරින් ක්‍රියාත්මක වෙන්න ඔවුනට පහසු වෙනවා .......එකිනෙකාට ආදරය කරන කාලේ ඔවුනොවුන් විශ්වාස කරමින් කිසිම රහස්‍ය බවකින් තොරව සිටින සමහර පෙම්වතුන් කාලයාගේ ඇවෑමෙන් වෙන් වුනාම නයෙක්-මුගටියෙක් වගේ එකිනෙකාට වෛර කරගන්නව...... මේ අතීතයේ හිටපු දෙන්නමද කියලවත් හිතා ගන්න බැරි තරම් ලාමක ලෙසෙ එකිනෙකා විවේචනය කරගන්නවා..... සමහර ප්‍රේමවන්තයෝ තමන්ගේ පරණ පෙම්වතිය සමග එකට සිටි ඡායාරූප වගේ දේවල් ඇයට මඩ ගහන්නම යොදාගන්නේ කිසිම අනුකම්පාවක් නොමැතිව......
මිනිස්සුන්ගෙ සිත හරියට පිස්සු වැටුන රිලවෙක් වගේ.... ඒ වගේ සිතක සංයමයක් ඇති කරන එකත් හරියට දුවන අශ්වයෙකුගේ පිට උඩ අළු පුහුල් ගෙඩියක් සමබරව තියනව වගේ ඉතා අපහසු කාර්ය‍යක්.... ආදරය කියල උඩින් මහා මානුෂීය හැගීමක් පෙන්නුවට 99% දෙනා ලඟ තියෙන්නේ තමන්ගේ සිතැඟි ඉටු කරගැනීමේ අශාවක් පමණයි..... ඒ අශාව තව දුරටත් ඉටු කරගන්න බැරිවුනාම එය තව දුරටත් ආරදරයක් වෙන්නේ නෑ ...නිකම්ම නිකන් තවත් එක් හැඟීමක් විතරයි.... කෙනෙක් තව කෙනෙකුට සැබැවින්ම ආදරේ නම් ඔහුට් අහෝ ඇයට තමන් කැමති ඕනෑම තීරණයක් ගන්න ඉඩ දෙන්න තරම විවෘත වෙන්න ඕන.... එහෙම නැතුව තමන්ගේ වසඟයේ තියාගන්න උත්සාහ දරනව නම් එතන තියෙන්නේ කෑදරයක් මිසක් ආදරයක් නෙවෙයි.....ලෝකයේ ඔනෑම සිදුවීමකට දෙපැත්තක් තියෙනවා.... ඒත් මේ ලාමක පෘථග්ජන මිනිස්සුන්ගෙ ස්වභාවය තමයි තමන්ගේ 50 % සඟවලා අනෙකාගේ 50 % ඉස්මතු කරමින් තමන් නිර්දෝෂී ලෙසත් අනෙකා දෝෂී ලෙසත් හුවා දැක්වීම.......
කාලයක් එකට සිටි පෙම්වතුන් දෙදෙනෙක් වෙන් වෙන්න නම් සාධාරණ හේතුන් ඕන තරම තියෙන්න පුලුවන්.... නමුත් ඒ වෙන්වීම ඒක පාර්ශ්විකව සිදුවුනොත් නම් වෙන්නේ එයින් පීඩාවට පත් පාර්ශ්වය අනෙකාගේ නොයෙක් වැරදි හුවා දක්වමින් අනෙකාටම චෝදනා එල්ල කරවීම...ඒක බොහොම සුලභ දෙයක්....තමන්ගේ පැරණි පෙම්වතිය තමන් හැරගොස් වෙනකෙකු සමග ඉන්න කොට ඇයගේ අතීත සිදුවීම් ගැන රට වටේ කියමින් ඇයට වෛරී චේතනාවෙන් අපහාස කිරීම ඇතුළේ ඔහුගේ සිතේ ඇය කෙරෙහි ඇත්තටම අතීතයේ ආදරයක් තිබුණද කියල නැවත හිතල බලන්න සිදුවෙනව..."දැන් ඔබත් එක්ක ඔහොම ඔය කෙල්ල හිටියට ඉස්සර මමත් එක්ක හිටියේ මෙහෙමයි" කියමින් ඕලාරික ආශ්වාදයක් ලබන එක සමහර නාමික පිරිමින්ගේ ලක්ෂණයක්.... සැබෑම පෞර්ෂය තියෙන පිරිමියෙක් කිසි දවසක ඒ වගේ 'නපුංසක වැඩ' කරන්නේ නෑ ...සැබෑම පිරිමියකුට ඒ වගේ සිදුවීමකට උපේක්ෂාවෙන් මුහුණු දෙන්න පුලුවන්... ඒක තමයි නියම පිරිමි කම... කකුල් දෙකක්, අත් දෙකක්, අංගජාතයක් තිබුන පමණටම කෙනෙක් පිරිමියෙක් වෙන්නේ නෑ.... වැදගත්ම දේ ඔහු ක්‍රියාවෙන් නපුංසකයෙක් නොවීමයි කියලයි මට හිතෙන්නේ ...ඒත් අවාසනාවට කලිසම් ෂර්ට් ඇඳගෙන පිරිමි වගේ ඉන්න බොහෝ දෙනෙක් ඇත්තටම එහෙමද කියල බලන්න වෙන්නෙ ඔවුන්ගේ හැසීරීමෙන් පමණයි.... තමන්ගෙ පැරණි පෙම්වතිය කුමක් හෝ හේතුවක් නිසා තමන් හැර ගියාම ඇයගේ අතීතය ගැන රට වටේ කියන අය මටනම් හිතෙන්නේ නපුංසකයෝ මිසක් පිරිමි නෙවෙයි කියලා..... බැලු බැල්මට ඒක "මහා වීර කමක්" වගේ පෙනුනත් ඇත්තටම ඒක "බියගුලු කමක්ම" පමණයි......
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
ඔබට ආදරේ කියනා අයුරින්
පෙරදවසක මා තුරුලට වී හිද
මටද ආදරේ කියා තිබේ
සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසා ලන ඇය
පෙර දවසක මා තුරුලට වී හිඳ
මට ද ආදරේ කියා තිබේ
සක්මන් මලුවක දෙපා ගෙවෙද්දී
දොඩමලු පෙම් බස් ගොලුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ
පද ගෙත්තම ; සුනිල් ආර්. ගමගේ
සටහන ; චාමර වන්නිආරච්චි


Comments

Popular Posts