මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ...07.04.2018


"ඕම්...භූර් භුවහ් ස්වාහ්....තත් සවිතුර් වරෙන්යම්,
භර්ගෝ දේවස්ය දීමහී....දියෝ යෝනහ් ප්රශෝද්යා"
ලොවම පාලනය කරන විශ්ව සමිඳානෙනි....ඔබගේ ප්රඥාවේ මහිමයෙන් මේ පොලෝ තලයේ වෙසෙන්නාවූ අපගේ සන්තානයන් ඒකාලෝක කර පාරිශද්ධත්වයට පත් කළ මැනව.......
- මහා ගයාත්රී මන්ත්රය,තෙවන මණ්ඩලය: සෘග් වේදය -
සංගීතයට මම කොච්චර ආස වුනත් මම සංගීත විෂයය පාසරේ 10 වසරේ පළමු වාරයේම නවතා දැම්මා...අපේ පාසලේ 6 වසරෙදි පෙරදිග සංගීතය උගන්වපු ගුරැතුමිය හරිම කරැණාවන්න ඇත්තටම මිහිරි ගීයක් වගේ කෙනෙක්...ඒත් ඇය හදිස්සියෙම අපේ පාසලෙන් ඇය ඉගෙනගත් සවුත්ලන්ඩ්ස් විදුහලට මාරැවෙලා ගියාම අපේ පාසලට ආවේ විශාරද ප්රසන්න ලංකනාත් කියන ගුරැවරයා....කුඩාහෙට්ටි කියල තවත් ගුරැවරයෙක් හිටියත් ඔහු ළමයින්ට උගන්වන්න උනන්දුවක් එච්චර තිබුණෙ නෑ....
ලංකනාත් සර් සංගීත ගුරැවරයෙක් වුනත් හරිම සැරයි...ඔහුත් එක්ක "ආනන්දයෙන් මරදානට මිසක් , ආනන්දයෙන් ප්රඥාවට" යන්න හිතන එකත් විහිළුවක්....
ඔහු එක දවසක් රාග දහය කියලා විනාඩි දහයක් ඇතුලත කට පාඩම් ගත්ත...
මම බයවුන පාරට යමන්,බිලාවල්,කාෆී,ඛමාජ්,භෛරව,භෛරවී,ආශාවරී,පූර්වි,මාර්වා,තෝඩි කියල වේගෙන් කියන්න ගිහිං මට වචනයක් පැටලුන නිසා අතේ තිබුණ වයර් කෝඩ් එකකින් මට ගැහුවා....
ඒ මම සංගීතයට ගිය අවසන් දවස.....ඊට පස්සේ මම සංගීතය අතහැරලා ඉංග්රීසි සාහිත්ය විෂයයට මාරැවුනා...95 සා.පෙළ විභාගෙදි මම ගත්ත D-7 යි C- න්,C එක ඉංග්රීසි සාහිත්යයට....ඒකත් නරකම නෑ....ඒ නිසා බටහිර සාහිත්ය පොත් කියවන්න පෙළඹුනා.....
විෂයයක් ලෙස සංගීතය හැදෑරීම නැවතුනත්, මගේ වයස අවු.04 දී මට හමුවු අසල්වාසියෙක් වුන රැවන් ලියනගේ සහෘදයා ලඟින් ඇසුරැ කළ නිසා ඔහුගෙන් සංගීතය ගැන අවිධිමත් දැනුමක් ලැබුණ...කොළඹ සෞන්දර්ය කලා සරසවියේ උපාධිධරයෙක් වන රැවන් දැනට රිච්මන්ඩ් විදුහලේ උසස් පෙළ සංගීත ගූරැවරයා...
"ගායන සමය" කියල දෙයක් පෙරදිග සංගීතයේ කියැවෙනව...ඒ කියන්නේ එක් එක් රාගයෙන් නිර්මාණයවූ සංගීත ඛණ්ඩ ගායනය හෝ වාදනය කළ යුත්තේ අදාළ කාල පරාසයේදී පමණයි......එහෙම නොවුනම ඒ නිර්මාණයට අදාළ ආනන්දයවත් ප්රඥාවවත් සපුරාම ගන්න තියෙන අවස්ථාව අහිමිවන වග සෘග් වේදයේ තෙවන මණ්ඩලයේ මහා ගයාත්රී මන්ත්රය තියෙන පරිච්ඡේදයේ සඳහන්....
අතීතයේ ගුවන් විදුලියේ සේවය කළ අය මේවා ගැන දැනගෙන සිටි නිසා සුදුසු වෙලාවට සුදුසු සංගීත නිර්මාණ වාදනය කළා.....
ඒත් දැං FM channel වල අය නම් මේවා ගැන හාංකවිසියක් තකන්නේ නෑ...සංගීතය ගැන දන්නෙ නැතිවෙන්න පුළුවන්.... ඒත් අදහස ගැනවත් හිතන්න තරං විචාර බුද්ධියක් නෑ වගේ.....
උදේ වරැවේ 11 ට විතර ප්රචාරය වෙනව.....
"රාත්රිය උදාවුනා නින්ද ඇයි නොඑන්නේ" කියන ගීතය.....
හවස 7 ට විතර යනවා....
"දම් පාටිං ලා සඳ බැස යනවා" ගීතය...දම් පාටිං සඳ බැසල යන්නේ උදේ පාන්දර...සමහරැ ඉර-හඳ අදුනන්නෙත් නෑ......
එක දවසක් උදේ 5 ට විතර ගියා.....
"ඔබ සුසුම් හෙලන්න.... ඒ සුසුම් සුවඳ මට විඳගන්න" කියල ගීතයක්...උදේ පාන්දර කට හෝදන්නත් කලිං සුසුම් හෙලුවම ඉතිං sorry තමයි.....
බුදු රදුන් භික්ෂූණ්ට කියනව පිණ්ඩපාතෙ යද්දි ඒ දේ හරියට කර ගන්න බණ කියන්න යන්න එපා කියල...එහෙම කියන්නේ ඒ ඒ දේවල් කළ යුත්තේ ඊට අදාළ වෙලාවෙදි නිසා......වේලාවල් පැටලුනාම ඔක්කොම අවුල් වෙනව.....
අතීතයේ සිටි තුන් කල් දකිනා මහා සෘෂිවරැන්ගෙන් තමයි මේ සිද්ධාන්ත භාරතීය සංගීතයට එකතු වුනේ...ඔවුන් ශබ්දයේ බලය ගැන ප්රත්යකෂයෙන් දැනගෙන සිටි නිසා තමයි ගායන සමය සැළකිය යුතු බව කිව්වේ.....මොකද සමහර සංගීත ඛණ්ඩ හරියටම නිවැරදිව ගායනා කලොත් ...වැස්ස , ගින්දර වැනි දේ ඇතිකරන්න තරං ඒව ප්රභලයි.....අතීතයේ මායාවරැ වැස්ස නැතිවූනාම මේ උපක්රමය සාර්ථකව වැස්ස ඇතිකරන්න යොදා ගත්තා....
පිරිත් සත්ඣායනා කරන්නේ මාත්රා තුනෙන් තුනට ගද්යවලටත් පද්යවලටත් අතරමැදි වේගයෙන්...එතකොට තමයි එහි බලයක් නිර්මාණය වෙන්නේ...මේව නොදන්න සමහර භික්ෂූණ් පවා පිරිත් සත්ඣායනය තමන්ගෙ හිතුමතේට කරන්නේ බුදුන් ඉක්මවා ගිය ඥානයක් ඔවුන්ට ඇති කියල හිතාගෙන වෙන්න ඕන......
එදා රත්න ශ්රී මහතා හමුවුන වෙලේ, වචන වල ඝණ පිහිටුවීම ගැන දීර්ඝ විස්තරයක් මට කියල දුන්නා...ලියන්න තරං දිග වැඩියි.....
ජර්මන් මහා සංගීතඥ බෙතෝවන් පවා ඔහුගෙ සමහර sympony( සංධ්වනි) වලදී ශ්රවණාගරයේ වීදුරැ පවා සියුම්ව තාලයකට කම්පනය කරවන්න සමත්වුනා...
දැං DJ වලදිත් හැබැයි වීදුරැ නං කුඩුවෙන එක සාමාන්ය දෙයක්...ඒත් ඒ සද්දෙ වැඩි කමට මිසක් ඉහත කී හේතු නිසා නෙවෙයි.....
දවසින් දවස තාක්ෂණය දියුණු වෙද්දී මිනිස් සන්තානය නං යන්නේ ආපස්සට තමයි......


Comments

Popular Posts