භින්න රුචික මිනිස්සු…….


මිනිස්සු උපතින්ම භින්න රුචිකයි...ඒ කියන්නේ හැම මොහොතේම බෙදිලා වෙන්වෙලා ගෝත්‍රික විධියට ඉන්න...මුලින්ම ජාතිය හැටියට ,ඊට පස්සේ ආගම ,ඊට පස්සේ කුලය, ඊට පස්සේ දේශපාලන පක්ෂය,ඊට පස්සේ තව නොයෙක් දේවල් .....ඉගෙන ගත්තු මොන්ටිසෝරිය,පාසල,සරසවිය හෝ වෙනත් අධ්‍යාපන ආයතන...එකී මෙකී නොකී හැම දේකදිම මිනිස්සු බලන්නේ වෙන්වෙලා කැපී පෙනෙන්න...තමන්ගේ කාර් එකේ පසුපස අලවගෙන ඉන්න ස්ටිකර් වලින් තමන් අයිති මොන වර්ගයටටද කියල හදුන ගන්න පුලුවන්...දොස්තරල කුරුසයක් අලවගෙන ඉන්නවා,ඉංජිනේරුවෝ IESL කියල නිල් පාට එකක්,නීදිවේදීන් තව එකක්,බැංකු කරුවෝ තව එකක්,බෞද්ධයෝ වෙනත් එකක්, කතෝලිකයෝ වෙනත් එකක්,...මේ හැම දෙයක් ඇතුලටම ගිහින් බැලුවම තියෙන්නේ සියුම් ගෝත්‍රික බවක්...ක්‍රිකට් තරඟ තියෙන කාලෙට ජනප්‍රිය පාසල්වල අය “Proud to be ………” කියල ලියා ගන්නවා....

අතීතයේ අපේ රටේ මිනිස්සු අතර බේද තිබුන නම් ඒ ඉතාම අල්ප වශයෙන්...මොකද සැබෑම බෞද්ධ දර්ශණය ඇතුළේ සියලුම බේද ප්‍රතික්ෂේප වුන නිසා...ඒත් කාලයාගේ ඇවෑමෙන් භාරතීය බ්‍රාහ්මණයන්ගේ බලපෑම අපේ රටට එල්ල වුනා.......එකා වගේ හිටපු මිනිස්සු තමන්ගේ රස්සාව අනුව කුල වලට බෙදෙන පටන් ගත්තා....එක පිරිසක් ගොවි උනා,තව පිරිසක් කරාවේ උනා,තවත් සමහරු සලාගම උනා,රදා උනා...ඔය වගේ මිනිස්සු තම තමන් බෙදිලා ,අනෙක් අය පහත් කොටත් තමන් උසස් කොටත් සලකන්න පටන් ගත්ත...මෙය බුදුරදුන් හැදින්වුවේ "අත්තුකංසන-පරවම්භනය" කියල....

1505 පෘතුගීසීන් මෙරට මුහුදු බඩ පළාත් අල්ලගත්තට පස්සේ මේ තත්වය තවත් දරුණු වෙන්න පටන් ගත්තා....අමානුෂික තාඩන පීඩන මැද මුහුදු බඩ පහතරට මිනිස්සුන්ට දිවි ගෙවන්න සිදුවුනත් භූමියේ තිබුන දුර්ග සහිත බව නිසාම කන්ද උඩරට රාජධානිය ඔවුන්ට යටත් නොවී තවත් බොහෝ කාලයක් පවත්වාගන්න හැකිවුනා...මේ සිද්ධියත් එක්ක මේ තත්වය නිසිලෙස තේරුම් නොගත් කන්ද උඩරට මිනිස්සු පහත රට ජනයා පාවා දෙන්නන් ලෙස සලකන්න පටන් ගත්තා...උඩරට-පහත රට කියල අලුත්ම ආකාරයේ බේදයක් හටගන්න මුල් වුනේ මේ සිද්ධි දාමය...

ඒ අතරෙම,බුදුරදුන් විසින් කිසිදා අනුදැන වදාළ නැති "නිර්මාංෂ සීලයක්" පනවාගෙන බොරු සුචරිතවාදීන් ඉස්මතුවෙන්න පටන් ගත්තා... ධීවර කර්මාන්තයේ යෙදුන මිනිස්සු මහා පවුකාරයන් ලෙස සලකලා ඔවුන් කොන් කරන්න ඇතැම් සුචරිතවාදීන් උත්සාහ කලා...ඒකෙ ප්‍රථිපලය වුනේ බොහෝ ධීවරයෝ කතෝලිකයන් බවට පත්වීම.....ඒත් මේ සුචරිතවාදීන්ගේ කෙණෙහිලිකම තවදුරටත් ඉවසා සිටි ඇතැම් පිරිස් තම මුල් ආගම අතහැරියේ නෑ.. නමුත් ඔවුන්ට ඇතැම් ආගමික සිද්ධස්ථානවලදී විවිධ කෙනෙහිලි කම් ප්‍රසිද්ධියෙම සිදුවෙන්න පටන් ගත්ත...ඔවුන් නිහඬව තමනට එල්ලවන අපහාස විඳගෙන සිටියා.... ශ්‍රී මහා බෝධියත් ,දන්ත ධාතුවත්, දෙකම මෙරටට ගෙන ආවේ කාන්තාවන් දෙදෙනෙක්වුන සංඝමිත්තා රහත් තෙරණිය සහ හේමමාලා කුමරිය බව සිංහලයන්ට අමතක කරමින් බමුණෝ නොයෙක් සිද්ධාස්ථාන වලට කාන්තාවන්ට තහංචි දමන්න පටන් ගත්තා.....

සීතාවක රාජසිංහ රජුගේ කාලයේ මෙරට උපසම්පදා භික්ෂුන් සමූල ඝාතනයකට ලක්වෙලා නැවතත් සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන ආවට පස්සේ ,ඒ සියම් නිකායේ උපසම්පදාව ගොවි කුලයේ අයට විතරක් දෙන්න තීරණය වුනේ බුදුන්ගේ මූලික ඉගැන්වීම් පවා පැහැර හරිමින්....කාලයක් ගත වෙද්දි,පහතරට බලපිටියේ භික්ශූන් වහන්සේ කෙනෙක් මේ වැඩපිළිවෙලට විරැද්ධ වෙලා මියන්මාරයේ අමරපුරයෙන් නැවතත් මෙරටට උපසම්පදාව රැගෙන ආවේ අනෙක් කුලවල අයට උපසම්පදාව ලබාදෙන්න හිතාගෙන....භික්ශූන් වහන්සේ වුනත් කෙලෙස් සහිත පෘථග්ජනයන් පිරිසක් නිසා මේ වගේ බෙදීම් කිසිවෙකුටත් වලක්වන්න බෑ….. උඩ බලාගෙන කෙල ගැහුවම තමන්ගේ මුහුණට වැටෙන බව දන්න නිසා බොහෝ දෙනා මේවා දැනගෙන නොදන්නාසේ ඉන්නවා....
බුදුරදුන් ජීවමාන කාලයේ පවා භික්ශූන් විවිධ ගුරුකුල වලට බෙදිල එකිනෙකා හා වාද විවාද පවා ඇතිකරගත් බව ලෝකය දන්න ප්‍රසිද්ධ රහසක්...අවසානයේ බුදුරදුන් සියල්ලන්ගෙන්ම වෙන්වෙලා පාරිලෙයිය වනයට වෙල බොහෝ කලක් ගත කලේ මේ හේතුව නිසාමයි...

අපේ රටේ සමහර මිනිස්සු ධීවර,කොහු වගේ කර්මාන්තවල යෙදුනත් ඔවුන්ගේ ඇඟෙන් පිලී ගදක් වහනය වුනත් ඔවුන්ට බුදුන්ගේ සරණ ලබන්න එය බාධාවක් වන්නේ කොහොමද ? කසල ශෝධකයකුවූ සුනීත අද කාලේ සිටියනම් සමහරවිට ඔහුට නිවන අහිමි වෙන්නත් ඉඩ තිබුනා......

මිනිස්සු කොයිතරම් මානවවාදීන් ලෙස තමන්ම හඳුන්වා ගත්තත් ඔවුන්ගේ සන්තානයේ සැඟවිලා තියෙන ගෝත්‍රික හැසිරීම් ඉස්මතුවෙන්න ගතවෙන්නේ ඉතාම සුළු වෙලාවක්....අපේ රටේ අදටත් උඩරට-පහතරට කියල ක්ෂීණවෙමින් යන බේදයක් තිබෙන බව දැනෙන්නේ පත්තර වල මංගල යෝජනා බැලුවම.....

මිනිස්සු බෙදිලා වෙන්වෙන තරමට ඔවුන්ව පාලනය කරන්න හරිම ලේසියි.....ඒත් අවාසනාවට මිනිස්සු ඒ බව තේරුම් ගන්නේ නෑ....

පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න

හීල් හෙවණේ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුණු නැති හිත බලන්න

මුහුදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න

පද ගෙත්තම : රත්න ශ්රී විජේසිංහ
සටහන : චාමර වන්නිආරච්චි


https://www.youtube.com/watch?v=U1dKwAc_RWg
 

 
 

Comments

Popular Posts