හිනාවෙයන් කළු හිනාවෙයන්............

බෝධිරාජ කුමරු කියන්නේ බුද්ධ කාලයේ සිටි මහා ධනවත් සිටු වරයෙක්....ඔහුගෙ බිරිඳ ඉතාම සුන්දර කාන්තාවක්....මේ දෙදෙනා කොතරම් සැප සම්පත් වලින් පිරුණු දිවියක් ගෙව්වත් ඔවුන් පීඩාවට පත් කල බරපතලම කරුණ වුනේ දරුවන් නොමැතිකම.....දිනක් වැඩිහිටියෙක් ඔහුට උපදෙසක් ලබා දෙනව "බුදුන් නිවසට කැඳවා දානයක් ලබාදී දරුවෙක් ඒ පිනෙන් පතන්න" කියල.......ඒ අනුව බෝධිරාජ කුමරු බුදුන් ප්රමුඛ මහා සංඝයාට තම නිවසේ දනට ආරාධනා කරනව...තම සිටු මැදුරේ ඉදිරි දොර අසල රතු පලසක් එලන ඔහු ප්රාර්ථනාවක් කරනව...."බුදු රදුන් මේ රතු පලස මතට පය තබනවාත් සමගම මාගේ බිරිඳට දරු ගැබක් පහල වේවා" ...........මහා සංඝයා පිරිවරාගෙන නිවස ඉදිරියට දනට වඩින බුදුන් නිවස ඉදිරියේ එලා ඇති රතු පලස ලඟ නවතිනව......එම පලස ඉවත් කරන ලෙස කුමාරයාට දැනුම් දෙනව....මෙයින් මහත් කනස්සල්ලට පත්වන ඔහු වහාම පලස ඉවත් කරනව...ඉන් පසු තමයි බුදුන් ගෙතුලට වඩින්නේ.....දානය අවසානයේ බුදුන් අනුශාසනාවක් කරනව....

"කුමාරයාණෙනි,මිනිස් දරුවෙක් ලොව උපදින්න නම් සම්පූර්ණ විය යුතු කරුණු තුනක් තිබෙනව......

01.බිරිඳ ස්වාමියා ශාරීරිකව එක් විය යුතුයි
02.බිරිඳ දරු ගැබක් හට ගැනීමට සුදුසු ස්වාභාවික සෘතු කාලයට පත් වී සිටිය යුතුයි
03.පිලිසිඳ ගැනීමට සුදුසු විඤ්ඤාණ ධාතුවක් කලලය තුලට බැස ගත යුතුයි....

මේ කරුණු තුන අනිවාර්ය සහ ප්රමාණවත් සාධක තුනයි...එහෙත් අතීත භවයකදී ඔබත් ඔබගේ බිරිඳත් මීට කලින් අඹු සැමියන් ලෙස ජීවත්වූ කාලයක ඔබලා දෙදෙනා සිටියේ වටු වැද්දන් ලෙසයි...නිතර නිතර වටු කුරුලු කූඩු කඩන ඔබලා එම කිරිල්ලියන් කෑ ගසද්දී ඔවුනගේ බිත්තර බිඳ ආහාරයට ගනිමින් ඔවුනට පැටවුන් අහිමි කළ නිසා එහි විපාක වශයෙන් ඔබලාටත් දරු පල නොපිහිටයි.....පළමු කරුණු දෙක සම්පූර්ණ වූවත් තුන් වෙනි කරුණ එම කර්ම විපාකය විසින් වලක්වා ලයි...."

2010 වසරේ ඉදං මම නිතර යන එන තැනක් තමයි කිරිඳිවෙලටත් හංවැල්ලටත් අතර පිහිටලා තියෙන මීතිරිගල නිස්සරණවනය.....කිරිඳිවෙලට ආසන්නයේ තියෙන රදාවාන කියන්නේ ගම්පහ දිසාවේ තියෙන සුන්දර ගොවි ගම්මානයක්...........මේ ගමේ එක්තරා වෙල් යායක් අද්දරදි මීට අඩ සියවසකට කලිං නිතර දකින්න ලැබෙන දර්ශණයක් තිබුණ..තරුණයින් දෙදෙනෙක් සන්ධ්යාවේ හෙමින් සීරුවේ නියර දිගේ ඇවිදගෙන යනව.....පසුපසින් යන තරුණයගේ කර උඩ "සර්පිනාවක්" තියෙනව...ඉදිරියෙන් යන තරුණයගේ අතේ තියෙන්නේ "තබ්ලාවක්"....

රදාවාන මැද යායේ ගොවි තරුණයෙක් ඊට එහා ගමෙන් තරුණියක් කැඳවාගෙන එනව ඔහුගෙ ජීවිතයේ සහකාරිය ලෙස........තවමත් විවාහ දිවියේ මුල් කාලය ගෙවෙන නිසා ඔහු ඇයට ආසක්ත වෙලයි ඉන්නේ...ඇයගෙ නම කළු මැණිකා.....

ඉතිං මේ තරුණයා නිතරම තම අලුත් මනාලිය සමග ඉන්න තියෙන්නේ පුදුම නොයිවසිල්ලක් වගේම දැඩි ආශාවක්.....කාන්තාවන්ගේ සිදුවන ස්වාභාවික ශාරීරික සෘතු වෙනස්වීම් නිසා ඔහුගේ බිරිඳ ඔහුගෙන් ටික දවසකට ඈත්වෙලා ඉන්නව....ඉතින් දවස් තුනක්ම තිස්සේ ඇය අසලට ඔහු යද්දි ඇය ඔහු දෙස නෝක්කාඩු බැල්මෙන් බලන්නෙ ඔහු නොසලකා හරින්න නෙවෙයි....තමන් ශාරීරිකව අපහසුවෙන් ඉන්න නිසා........දින තුනකට පස්සේ ඇය ඔහු දෙස පෙර පරිදිම අනුරාගයෙන් බලනව...එදින රාත්රියේ ඔහුගෙ බලාපොරොත්තු ඉටුවන බවට ඒක පෙරමග ලකුණක්.......ඒක හරියට මහා වැස්සක් වැටිලා ඇල දොල ගංඟා පිරෙන්න කලිං අහසේ මතුවෙන "විදුලි එලිය" වගේ සඤ්ඤාවක්....... ඒ බලාපොරොත්තුවත් එක්ක ඔහුගේ මේ "නාඹර ලාමක හිත" සතුටින් ඉපිල යන්නේ හරියට වක්කඩක වේගයෙන් වැටෙන ජලයේ රිද්මයෙන් මත්වෙලා නටන තිත්ත පැටවු වගේ...ඇය ඔහු දෙස නෝක්කාඩුවෙන් බලන්නේ තරහකට නෙවෙයි කියල දන්න නිසා ඇයගේ ආදරය ගැන ඔහු ආඩම්බර වෙන්නේ "අනේ මම ඇය ගැන වර්ණනා කලාට ඒක වසක් දොසක් නම් වෙන්න එපා" කියන කාරුණික හැඟීමෙන්.... ඔහුගේ බලාපොරොත්තුව ඉටුවීම හරියට ගලක් මතු පිට මලක් පිපෙනව වගේ...මල වටේ බඹරෙක් නටනව වගේ...වැහි වැහැලා ගඟ පිරෙනව වගේ...සිත පිරී ඉතිරී යන හැඟීමක්..

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලින් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොලු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝක්කාඩු බැල්මෙන් බැලුවා...

ගල මතු පිට මල පිපෙන්න
මල වට බඹරිඳු නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න......

ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවෙයන් කළු හිනාවෙයන්
වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවෙයන් කළු හිනාවෙයන්.....

මේ සටහන ලියන මම අවිවාහකයෙක් නිසා මේ මාගේ අත්දැකීමක් නොවුනත් සේකරයන් මෙය ලියා ඇති අපූරුව නිසාම ලස්සන අදහසක් පරිස්සමින් කියන්නේ කොහොමද කියල දැනෙනව...ඕස්ට්රේලියාවේ පදිංච් ලක්ෂ්මි ජයසිංහ මහත්මිය මේ ගීතය ගැන මගෙන් විමසා තිබූ නිසා මමත් පරිස්සමින් ලියන්න උත්සාහ කලා...ඒත් ඒක කොතරම් දුරට සිදුවෙලාද කියන තීරණය ඔබේ....

ඉතිං අර කලාවට ලැදි තරුණයන් දෙදෙනා වුනේ සේකරයන් සහ අමරදේවයන්.....

පද ගෙත්තම : මහගමසේකර
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=Lv0Lz1Gfc80


Comments

Popular Posts