පේමතෝ ජායතී සෝකෝ...........

විශ්වයේ ආරම්භය ගැන පලවූ විවිධ මත තියෙනව....බයිබලයේ පරණ තෙස්තමේන්තුවෙ(යුදෙව් බයිබලය) උත්පත්ති කථාවට අනුව “යෙහෝවා” නම් දෙවියන් වහන්සේ විශ්වයත් කාලයත් මවලා විශ්වයෙනුත් කාලයෙනුත් වියුක්ත උනාලු........

පස්සෙ කාලෙදි විශ්වය නිර්මානය උන විධිය ගැන බටහිර විද්යාව ඉදිරිපත් කරපු “විශ්වයෙ මහා පිපිරුම් වාදය හෙවත් Big Bang Theory” තවත් එකක්…..මෙයට අභියෝග කරමින් Tom Gold, Herman Bond සහ Fred Foil යන විද්වතුන් විසින් වඩාත් සාර්ථකව ඉදිරිපත් කල "සතත අවස්ථා ප්රවාදයට හෙවත් Steady State Theory" ලැබුනෙ කුඩම්මගෙ සැලකිලි......

නමුත් බුදු හිමියන් "අග්ගඤඤ සූත්රයෙ" කියන්නෙ වෙනමම කථාවක්........ සතත අවස්ථා ප්රවාදය යම් තාක් දුරට බුදුන් දෙසන සංවට්ඨ කල්ප- විවට්ඨ කල්ප සිද්ධාන්තයට ආසන්න ප්රවාදයක් වුනත් බටහිර විද්යාවත් බුදු දහමත් දෙක කිසිදා එකිනෙක ගලපන්නවත් සම කරන්න වත් බැහැ........ බුදුන් නම් කිව්වේ ලෝක විෂය,සත්ත්ව විෂය,කර්ම විෂය,බුද්ධ විෂය සහ නිර්වානය සහ ප්රාතිහාර්ය විෂය බුදුන්ට පමණක් ගෝචර විෂයයන් කියලා...ඒ නිසා ඒවා ගැන හිතලා ඔලුව නරක් කරගන්න ඕන නැහැ.....

දයා ද අල්විස් කියන්නේ ගුවන් විදුලියේ සිටි විශිෂ්ඨ නිවේදිකාවක්........70 දශකයේ දවසක ගුවන්විදුලියේ සේවයට තරුණියක් පැමිණෙනවා...ඇය සුන්දර යුවතියක්.....ඇය පැමිණි දිනයේ සිටම එහි සේවය කළ තවත් එක්තරා තරුණයෙක් ඇයට " බැල්ම දාගෙන" ඉන්නවා...ඔහුත් කඩවසම් තරුණයෙක්....... ඇය ආපන ශාලාවට ගිහින් කෑම කන්න සූදානම් වුනත් මෙන්න බලනකොට ඔහුත් එතන....ඇය බස් රථයකට නැගුනත් මෙන්න ඔහුත් එම බසයේම ඉන්නවා...ඇය කඩයකට සාප්පුවකට ගියත් මෙන්න ඔහු එහි ඉන්නව... හික්කඩුවෙ ඉදන් වස්කඩුවට යනකන් කොහේ ගියත් ඔහු එතන .........සරලව කිව්වොත් ඔහු ඇයගෙ පස්සෙන්ම වැටිලා..... කිසිවෙකුටත් නොකිව්වත් ඇයත් ඔහු දකින්න ඉන්නේ හරිම ආසාවෙන්...ඇය බලාගෙන ඉන්නේ දැං නැතුවට දැං ඔහු ඇයට ආදරය ප්රකාශ කරවි කියලා...එහෙත් ඔහුට ඒ තරම් "ආත්ම ශක්තියක්" නැහැ ...විශ්වා වර්ණපාල ක්රමවේදය අනුගමනය කරන්න කියල යාලුවෙකුට කියන්නත් බයයි.........දයා ද අල්විස් මේ සිද්ධි දාමය ගොඩාක් කලක් තිස්සේ බලාගෙන සිටියත් දෙදෙනාටම කිසිවක් කියන්නේ නැහැ.......

ඇයට බොහෝ දෙනා විවාහ යෝජනාවන් ගෙන ආවත් ඇය ඒ කිසිවකටවත් කැමැත්ත දෙන්නෙ නැත්තෙ ඔහු වෙනුවෙන් බලාගෙන ඉන්න නිසා....ඒත් බොහෝ කලක් ගත වුනත් ඔහුට ඇයගෙන් ඒ ගැන අහගන්න තරම් හැකියාවක් එන්නේ නැහැ...ඇය සමග කතා කරන්න පටන් ගන්නකොටම ඔහු ගොලු වෙනව.......
ඔහු වෙනුවෙන් බලාගෙන ඉඳල බැරිම තැන ඇය ගෙදරින් ගෙනා මංගල යෝජනාවකට කැමති වෙනව....... විවාහ මංගල්ය උත්සවයට දින නියම වෙනව....ඇය මංගල උත්සව ඇරයුම් පතක් දයාද අල්විස්ටත් දෙනව........මේ කිසිවක් නොදන්නා තරුණයා අවසන් තීරණයකට පැමිණ ඇය හමුවී ඔහුගේ අදහස ඇයට ප්රකාශ කරනව........ඇයගේ හද ගැස්ම වැඩිවෙලා අඬන්න පටන් ගන්නව..."ඇයි ඔයා මට කලින් නොකිවේ ...මම කොච්චර කල් බලන් හිටියද ?".......ඊට වඩා දෙදෙනාටම කතා කර ගත නොහැකි වෙනවා.........

ගුවන් විදුලියේ මුල්ලකට වෙලා සොවින් බරව කල්පනා කරමින් සිටින ඇය දකින දයා..."මොකද නංඟි අවුල ? ".......අනේ අක්කේ මට හිතෙනව මේ මුලු ලෝකෙම එක පාරටම විනාශ වෙලා ආයෙත් එක පාරට අලුත් වෙනව නම්....එතකොට එයා මගෙ කර ගන්න පුලුවන්......එහෙම නැතුව දැං මට එයා ලෙබෙන්නේ නැහැ".....ඒ ඇය ගුවන් විදුලියට පැමිණි අවසාන දවසයි....

අසුරු සැනින් එක මොහොතකදී…
කාලය නැවතී යලි ඇරඹී…
විශ්වය අලුතෙන් බිහිවේවා…..
ඔබේම වී මා… මගේම වී ඔබ….. අපේම වී අප ඉපදේවා……….

යෙහෙලියන්ගෙ ඉඟි දිනෙක සැබෑවී
ඔබේම කුලගෙයි පතිනිය වන්නට
මතු යම් දවසක හැකිවේවා.....
ඔබේම වී මා… මගේම වී ඔබ….. අපේම වී අප ඉපදේවා……….

සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
සිඟිති තොලක කිරි සිනා දකින්නට
එක සෙවනකදී හමුවේවා....
ඔබේම වී මා… මගේම වී ඔබ….. අපේම වී අප ඉපදේවා……….

පේමතෝ ජායතී සෝකෝ-පේමතෝ ජායතී භයං
පේමතෝ විප්ථ මුත්ථස්ස-නත්ථි සෝකෝ කුථෝ භයං

“ප්රේමය නිසා ශෝකය සහ භය හට ගනී,ප්රේමයෙන් විමුක්තවූ කල්හි ශෝකයක් නොමැත,භයක් කොයින්ද ?

(ඛුද්දක නිකාය,ධම්ම පද පාලි )



පද ගෙත්තම : දයා ද අල්විස්
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=uTZvsXE7jXQ



Comments

Popular Posts