පරමානන්දය බොහෝ දුර නොවේය.....
ලෝකයේ තියෙන විවිධ වස්තූන්ට දෙන වටිනාකම් ඒ ඒ අවස්ථාව,ඒ ඒ පුද්ගලයා වගේ බොහෝ සාධක මත වෙනස් වෙනවා....ධම්මික පෙරේරා මහතාගේ රුපියල් දහසත්,රාජ්ය සේවකයකුගේ රුපියල් දහසත්,ස්වයං රැකියාවක් කරන කෙනෙකුගේ රුපියල් දහසත්,සනීපාරක්ෂක කම්කරුවකුගේ රුපියල් දහසත්, හෙරෝයින් ලංකාවට ගෙන්වන්නෙකුගේ රුපියල් දහසත්,සොරෙකුගේ රුපියල් දහසත් මහ බැංකුවට අනුව වටිනාකමින් සමාන වුනාට,ඒ ඒ පුද්ගලයා ඒ වෙනුවෙන් මහන්සිවුන තරම සහ එහි ඇති ධාර්මික බව කියන සාධක ඔස්සේ බැලුවම නම් එකිනෙකට හාත්පසින්ම වෙනස්...සොරෙක් ඒ මුදල උපයාගන්නෙ අනුන්ගෙන් උදුරගෙන,සූදු කෙළින්නෙක් එය උපයාගන්නෙත් ඒ වගේමයි,ව්‍යාපාරිකයෙක් සමහරවිට ඊටත් වඩා වෙනස්,ගොවියෙක් වසර පුරාම කන්නයක් කන්නයක් පාසා ගන්න වෙහෙස ඒ රුපියල් දහස තුළ සැගවිලා තියෙනව...සනීපාරක්ෂක කම්කරුවෙක් ඒ මුදල උපයා ගන්න කොච්චර නම් වැසිකිළි සෝදන්න ඕනද...?
මම ගාල්ලේ හොල්සිම් කම්හලේ වැඩ කළ කාලයේ එහි සනීපාරක්ෂක වැඩ භාර දීලා තිබුණේ අබාන්ස් ආයතනයට...සියලුම ගොඩනැගිලි වගේම වැසිකිළි සහ උද්‍යානය පිරිසිදු කිරීමේ වගකීමත් තිබුනේ ඔවුන්ට..ඉතින් මේ වැඩ කළේ මගේ මවගේ වයසේ විතර වැඩිහිටි කාන්තාවෝ..ඒ අයගේ මුහුණු දිහා බැලුවම බොහෝ දුෂ්කරතාවයන් ගැටලු පීඩාවන් මැද ජීවිත සටන අමාරුවෙන් ගෙනයන බව පෙනුනා...මේ මිනිස්සු ගැන මට ඉස්සර ඉඳළම තිබුනේ අනුකම්පාවක්, දයාවක්..බොහෝ දෙනෙක් මේ අයට නම කියල කතා කළාට, මගේ මවගේ වයසේ සිටි මේ අයට මට එහෙම කියන්න හිත ඉඩ දුන්නේ නෑ..ඉතිං මේ අයට මම කතා කරනකොට නමට අගින් "ඇන්ටි" කියල කිව්ව.. මොකද නිවැරදි උච්චාරණය "ආන්ටි" උනත් අපේ ව්‍යවහාරයට අපි කියන්නේ එහෙම නිසා.....අප සිටි කාමරය ලඟින් මේ අය යනකොට දොර ඇරලා “ගුඩ් මෝනිං සර්” කියල යන්න හැමෝම අමතක කළේ නෑ....ඒ අයට ලැබුනෙ ඉතාම සුළු වැටුපක් …..2011 වෙනකොට ඒ අයගේ සම්පූර්ණ වැටුප රු.6500/- විතර බව මම දැනගත්තේ එක දවසක් එක් කාන්තාවක් ඇයගේ වැටුප් වාර්තාව මට පෙන්වපු නිසා...ඇයගේ නම ගුණවතී...මැද පෙරදිග බොහෝ කළක් සේවය කරල ඊට පස්සේ තමයි මේ Abans අයතනයට බැඳිලා තියෙන්නේ...
එක දවසක් ඇයගේ ඇස්වල කදුලු තිබුණ දැක්කම, මම ඇහුව මොකද කියල..
“නෑ සර්..ගිය පාර පඩි දවසේ මගෙන් එක්කෙනෙක් රුපියල් හාර දාහක් ඉල්ල ගත්ත ණයට ...දැන් එයා අගිය අතක් නෑ...මට මේ මාසේ ජීවත් වෙන්න විධියක් නෑ සර්” කියල.....මගේ සිතත් සසල වෙලා ගියේ මේ මනුස්සය ඒ මුදල හොයන්න මාසයක් පුරා කොච්චර මහන්සි වෙන්න ඕනද කියල....ඒවගේ මිනිස්සුන්ගෙ සල්ලි උදුරා ගන්න එක ගින්දර එක්ක සෙල්ලං කරනව වගේ...
මේ කාලේ වෙනකොට අපේ මානව සම්පත් කළමනාකරු වෙලා සිටියේ ටිකක් වෙනස් විධියට ලෝකය දකින නොරාන් යසිස් ලාල් සහෝදරයා....ඔහු මේ අය ගැන ඔහුට හැකි අයුරින් සොයල බැලුව බව මම හොඳින්ම දන්නවා....නොරාන් පොත් කීපයක්ම විවිධ විෂයයන් ඔස්සේ ලියා ඵල කළ කෙනෙක් ….ඉතිං ඔහු ඒ දවස්වල ලියපු එක පොතක දොරට වැඩීම තිබුනේ ගාල්ලේ ලයිට් හවුස් හෝටලයේ....මේ උත්සව සභාව මෙහෙයවන්න මට භාරදීල තිබුණ...ඔහු, මමත් විශ්මයට පත් කරමින් තමන් ලියු මේ තුන් වන පොත පිදුවේ අර අබාන්ස් එකේ වැසිකිළි සෝදපු "ගුණවතී" මහත්මියට..ඒක ,මගේ ඇස් වලට කඳුළු ආපු අවස්ථාවක්..ආරාධිත දේශණය කරන්න ආපු නාලක හේවා මද්දුම මහතාටත් මේක අලුත්ම අත්දැකීමක් වුනා...හැමෝම පරිභව අපහාස කරන පීඩිත මිනිස්සු පිරිසක් වන සනීපාරක්ෂක කම්කරු කාන්තාවකට නොරාන් මහා වටිනාකමක් දෙමින් ලෝකයට ආදර්ශයක් දුන්නා....උත්සව සභාව අවසන් වෙලා ආපහු ගෙදර යන්න එතන බස් නැවතුමේ ගුණවතී මහත්මිය ඉන්නව දැකලා ,මම ඇයව ගාලු නගරය දක්වා මගේ කාර් එකෙන් එක්කරගෙන ගියා..මේ කාලය පුරාම ඇය වික්ෂිප්ත වෙලා වගේ සිටියෙ මහා විද්වත් පිරිසක් මැද තමන්ව ඉහළින් ඔසවා තැබූ නොරාන් ගැන සිතමින් වෙන්න ඕන......ඇයට සතුට වැඩි කමට ඇස් වල කඳුලු පිරිලා...කතා කරගන්නත් බෑ...නොරාන්ගේ ඒ පොතේ මුල් පිටුවක පොතේ පිදුම හරිම ලස්සනට ලියල තිබුනා..මට දැන් ඒක මතක නෑ...ඇත්තටම කළගුණ දන්නා මේ "ගුණවතිය" බොහෝ වැඩ අත හැරල හයිවේ බස් ගාස්තුව රැපියල් දහසකට ආසන්න මුදලක් වියදම් කරගෙන මාව බලන්න මහරගම අපේක්ෂා රෝහලටත් ආවා...
පුංචිම කාලේදි අපි ආසකරන වටිනාකම් දෙන දේ යෞවනවියේදි වෙනස් වෙනවා..යෞවන වියේදි වටිනාකම් දෙන දේවල් මැදිවියේදි වෙනස් වෙනවා.... මැදිවියේ වටිනාකම් දෙන දේවල් මහළුවියේදි වෙනස් වෙනවා…...මම දන්නා ඉතා දුප්පත් පවුලක අයියා කෙනෙක් සිටියා ..ඔහුගේ අන්ත දරිද්‍රතාව නිසාම ගෙදරින් තේ බොන්න සීනි ලැබිලා නෑ....ඉතිං කුඩා කාලේ ඔහුගේ එකම බලාපොරොත්තුව වෙලා තිබිලා තියෙන්නේ රස්සාවක් කරල පළවෙනි පඩියෙන් ගොඩාක් සීනි කන්න..ඒත් පසුව ඔහු විශාල සමාගමක කළමනකරුවෙක් බවට පත්වෙද්දි අර සීනි කන්න තිබුන ආසව නැතිවෙලා...ඊට පස්සේ ඇතිවුනේ වෙනත් ආසාවන්ලු.....
කෙනෙක් ඉතා ලොකු වටිනාකමක් දෙන දෙයකට තව කෙනෙකුගෙන් එතරම් වටිනාකමක් ලැබෙන්නේ නැති වෙන්න පුලුවන්...ඒ වගේම කෙනෙක් කිසිම වටිනාකමක් නොදෙන දෙයක්, තවත් කෙනෙකුට මහා ලොකු වටිනාකමක් දෙන දෙයක් වෙන්න පුලුවන්...ඒ නිසා මේ ලෝකයේ වටිනාකම් කියන දේවල් "අනන්‍යයි වගේම සාපේක්ෂයි"....
බුදුන්ට අනුව නම් ලෝකයේ වටිනාම දෙය නිර්වානය...ඒත් ලෝක සත්ත්වයින් සියළු දෙනාම එකවගේ නිර්වානය අවබෝධ කරගන්න තරම් තැනක නෑ...ඒ නිසාම ඔවුන්ගේ ජීවිතේ “පරම ආනන්දය”, “අමා සුවය” ඊට මෙහා ලෞකික සතුටක් වෙන්න පුලුවන්..ඒක වරදක් නෙවෙයි...
දිනක් බුදුරදුන් ගයා ශීර්ෂයේ හුදෙකලාව වැඩ සිටිනකොට අසල තණ භූමියේ කෙළි දෙලෙන් ගත කරන තරුණ ගොපලු කොලුවෙක් හමුවෙනවා....මේ තරුණයා බුදු රදුන් කවුද කියල හඳුනගත්තේ නැතත් වටිනා කෙනෙක් කියල දැනුන නිසා අසලට ගිහිං වැඳලා අවසර අරගෙන සතුටු සාමීචියේ යෙදෙන්න අරඹනවා....මේ තරුණයා එතරම් නුවණින් මුහුකුරා නොගිය බව දන්න බුදුන් ඔහුට ගැඹුරු ධර්ම කරුණු දේශණා කරන්න යන්නේ නෑ.....
"ස්වාමීනි,ඔබ කවුද ?"
"මම මේ ලෝකයේ සතුටින්ම සිටින පරමානන්දය ස්පර්ශ කළ තැනැත්තා වෙමි නාලක .....ඔබ....?
"මම ගොපලු කොලුවෙක් ස්වාමීනි"
"මම කැමතියි ඔබේ දිවි පෙවෙත ගැන දැනගන්න නාලක "
"ස්වාමීනි,මට කාත් කවුරුවෙත් නෑ..මම කුඩා කාලෙදිම මගේ මව මා අවජාතක දරුවකු නිසා අනෝමා ගංගාවට වීසිකොට තිබෙනවා...ඊට ටික වේලාවකට පසු අනෝමා ගංගාව හරහා තමන්ගේ ගව රැළ එගොඩ කරමින් සිටි ගොපල්ලෙක් මම දැකලා මගේ ජීවිතය බේරාගෙන තිබෙනවා...ඔහුත් තනිකඩයෙක්...මගේ මවත් පියාත් දෙදෙනාම වුනේ ඔහු.....ඔහුට මා වෙනුවෙන් ලබා දෙන්න ලොකු දේවල් තිබුනේ නෑ ස්වාමීනි...ඔහු කුලියට අනුන්ගේ ගවයන් රැකපු කෙනෙක් නිසා... ඒත් ඔහු මට ජීවිතයේ මොන දේ නොලැබුනත් සතුටින් ඉන්න කියල දුන්නා.....මීට වසර කීපයකට කලින් අනෝමාව දෙගොඩ තලා ගලන වේලාවක එයට වැටුන ගවයෙක් බේරා ගන්න ගිහිං ඔහුත් අනෝමාවෙම ගහ ගෙන ගියා ස්වාමීනි...ඊට පසුව ඔහුගේ ගව රැළ රැක බලාගැනීමේ වගකීම ලැබුනෙ මට......"
"ස්වාමීනි,මම උදෑසන හිමිදිරියට පෙර අවදි වන්නෙමි,අනෝමාවෙන් මුහුණ කට සෝදාගෙන ජලය ටිකක් පානය කොට දවස අරඹන්නෙමි....ටික වේලාවකින් මගේ ගව රැළේ වැස්සියකගේ බුරුලකට කට තබා කිරි ටිකක් පානය කරමින් ඔවුන් සමග දවස අරඹමින් තණ භූමිය කරා යමි....ඔවුන් නිදහසේ තණ උලා කන අතර තුර මම උන් සමග සෙල්ලම් කරමි....වෙහෙසක් දැනුන විටක ඒ තණ භූමියේම නිදා ගන්නෙමි...හවස් වරුවේ ගවයන් මගට බසින්නාවූ "ගොං මං" යාමයේදී නැවතත් ඔවුන් සමග ගවහල වෙත යන්නෙමි...රාත්‍රියේදී මගේ සිතට යම් පාලුවක් දැනේනම් වස්දණ්ඩ අතට ගෙන මැදියම් රැය දක්වාම එය වාදනය කරමින් ඒකල සතුටක් ලබමි....ඉන් පසු නින්දට යමි...එලෙසින් මාගේ දවසක් නිමාවේ...."
"ඉතිං නාලක මේ දිවි පෙවෙත ගැන ඔබ සතුටු වන්නේද ?"
"එසේය ස්වාමීනි...මා අතිශයින් අමන්දානන්ද්යට පත්වෙමි..."
"අගෙයි...අගෙයි…. නාලක….. ඔබ, ජීවිතයේ පරමානන්දය ස්පර්ශ කළ කෙනෙකි...නිවන ඔබට බොහෝ දුර නොවේ...ඔබගේ මේ සරළ දිවි පැවැත්මම දිගටම පවත්වාගෙන යන්න..."
සමහර පෙම්වතුන්ට හෝ පෙම්වතියන්ට තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා ලෝකයේ ඉතාම වටිනා දෙයක්...තවත් සමහරුන්ට නම් එහෙම නෑ.....ලෝකේ මිනිස්සු වෙනස් නිසා......ජීවිතයේ බොහෝ දුෂ්කරතාවයන්ට,පීඩාවන්ට මුහුණ දීලා අනුන්ගෙන් ලැබිය යුතු අනුකම්පාව,ආදරය නොලැබුණ තරුණියකට තමන්ට දිවි හිමියෙන් ආදරය කරන,ගෞරව කරන,තමන් මවක් පියෙක් මෙන් රැක බලා ගන්න තරුණ පෙම්වතෙක් ලැබුනොත්.නිර්වානය අවබෝධ කරන්න අපහසු කෙනෙක් හැටියට එය ජීවිතයේ "පරම ආනන්දයක්","අමා රසයක්" නොවන්නේද ?
කවියෙකුට වටිනා කවියක් අසන්නට දකින්න ලැබෙන එක කොතරම් සතුටක්ද කියල මම දන්නේ රාජ්‍ය සම්මානලාභී කවියෙක් වුන මගේ පියා,ඔහුගේ "කවිකම" වෙනුවෙන් ජීවිතේ තවත් බොහෝ දේවල් පරිත්‍යාග කළ නිසා වගේම ,අපේ පවුලේ අක්කලා දෙන්නා සහ අයියා යම් මට්ටමකට කවියන් වුන නිසා....කාෂ්‍යප රජුගේ අංතහ්පුර ස්ත්‍රීන් මුහුණ බලපු සීගිරි කැටපත් පවුර පසු කාළෙකදී අපේ රටේ ජන කවියන්ට අද කාලේ හැටියට නම් "පත්තරයක් හෝ ෆේස් බුක්" වගේ සන්නිවේදන මාධ්‍යක් වුනා....පසගිය දිනෙක රත්න ශ්‍රී මහතා හමුවුණ වෙලේ එතුමා කළ සීගිරි ගී විග්‍රහය අහගෙන හිටිය මට, ඒවා කොතරම් වටිනවද කියල හිතුනා...ඉතිං හෙළ කවියෙකුගේ පරමාදර්ෂය "කැටපත් පවුරේ" ලියවුන කවි කියලයි එතුමාට,මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට වගේම මටත් හිතෙන්නේ.....
සාමිස සුවය අතහැරල නිරාමිස සුවය සොයන මෙහෙණියකට බුදුන්ගේ සත්‍යාවබෝධයෙදි පිටදුන් සිරි මහ බෝධියෙන් වැටුන වියැලුන රන්වන්බෝ පතක් දැකීමම මහත් සතුටක් නොවන්නේද ...?මහාවංශයට අනුව බුදුන්ගේ පාදස්පර්ශයෙන් පිදුම් ලද සමනොල සිරසින් විහිදෙන බුදු රැස් දකින්නට ලැබීමම පරමානන්දයක් නොවන්නේද....?
තමන්ගේ පුතා තමන්ගෙන් වස්තුව ඉල්ලද්දී "මගේ සියලු වස්තුව මේ කලා වැව වෙනුවෙන් කැප කළා" කියමින් සත්ත්ය කියූ වරදට ඒ කලා වැවේ වැව් කන්දෙම කාෂ්යප රජ විසින් සිටුවා පස්ගස්වා ධාතු සේන රජු ඝාතනය කළා...ඉතිං ඒ කලා වැවේ තියෙන්නේ ධාතු සේන රජුගෙ වගේම ඒ වෙනුවෙන් ලේ ,කඳුලු,දහදිය හෙලූ සුවහසක් මිනිසුන්ගේ ජීවිත කතාව තමයි...කලා වැවේ දියවරෙන් ජීවත්වෙන ගොවියකුට ඒ නිල් දියවර කොතරම් වටිනවද ?
කලා වැවෙන් ගත් දිය දෝතක් සේ -වටී වටී ඔබ මටමැ වටී….
බෝධියකින් බට බෝ කොලයක්සේ - අගෙයි අගෙයි ඔබ මටමැ අගෙයි….
බෝධියකින් බට බෝ කොලයක්සේ - අගෙයි අගෙයි ඔබ මටමැ අගෙයි….
කැටපත් පවුරෙන් ගිලිහුන කවියක් - සොරකම් කරගත් සෙරක ලෙසින්…
සඟවාගෙන ඔබ සුරකිමි හද ගැබ - තනිවම කියවමි පදරුත් පසිදමි…
සඟවාගෙන ඔබ සුරකිමි හද ගැබ - තනිවම කියවමි පදරුත් පසිදමි…
සමනල සිරසින් විහිදුනු බුදු රැස් - සියැසින් දැකගත් මෙහෙණක මෙන්….
පරමානන්දය ලබමින් ඔබ ලඟ - සඟමොක් සැපතෙහි අමරස වළදමි..
පරමානන්දය ලබමින් ඔබ ලඟ - සඟමොක් සැපතෙහි අමරස වළදමි..
පද ගෙත්තම : මහාචාර්‍ය සුනිල් ආරියරත්න
සංගීතය : ස්ටැන්ලි පීරිස්
සටහන : චාමර වන්නිආරච්චි
සංගීතය : ස්ටැන්ලි පීරිස්
සටහන : චාමර වන්නිආරච්චි
Comments
Post a Comment