ඔබ සිටියානම්....

ඔබ සිටියානම්....
පේරාදෙණිය උයන අසලින් මහවැලිය ගලාගෙන යනව වගේ ගම්පහ අස්ගිරියේ හෙනරත්ගොඩ උයන අසලින් ගලන්නේ අත්තනගලු ඔය...මහවැලිය තරම් විශාල නොවුනට අත්තනගලු ඔයත් අස්ගිරියට හරිම සුන්දරත්වයක් එකතු කරනවා...බාගෙට මීදුම තියෙන වැසි බර දවසක ඒ සුන්දරත්වය තවත් වැඩියි...නව යෞවන විය පසුකරමින් ඉන්න ප්‍රේමවන්තයින්ට ඒක අමුතුම මිහිරි අත්දැකීමක්..එතකොට ඇයගේ වයස 18 ක් පසු වුනා විතරත් ඔහුට 22 ලැබුවා විතරයි....ඒ උයනට වෙලා පැයක් හෝ දෙකක් ගතකරන්න්න මාස පහකට විතර සැරයක් හමුවෙන නිසා එයාලට ඒ හැම තත්පරයක්ම වටිනවා...ජලය,වැස්ස වගේ තෙත පරිසර තත්වයන් පුහුදුන් මිනිසුන්ගේ සිතේ අනුරාගය වැඩි කරන බවත් ඒ නිසාම ඔවුන් කෙලෙස් වැස්සට තෙමී සංසාරය පුරාම තෙතබරිතවම ප්‍රමාදී වන බවත් තමයි බුදු රදුන් "ධනිය ගෝපාල" කතාවෙදි කියන්නේ...යෞවන වියේදි මොන ධනිය ගෝපාලද ???? ගොඩාක් අයට ධනිය ගෝපාල කතාව මතක් වෙන්නේ හැට පැනලා හොට බිම ඇනුනම තමයි.....
ඇය උසස් පෙළ සිසුවියක් නිසා මෙහෙම අස්ගිරියට යන්න ඉඩ ප්‍රස්ථාවක් හදාගන්නේ බොහොම අමාරුවෙන්..ඔහුට ඒක ඒ තරම් අපහසු දෙයක් නොවන්නේ ඔහු සරසවි සිසුවෙක් නිසා...මොරටුව සරසවිය ඉදිරිපස"වීර පුරන් අප්පු ගමේ අංක 18 නිවසේ" බෝඩිමක තවත් යහළුවන් කීප දෙනෙක් සමග ඉන්න ඔහු සරසවියේ හොස්ටල් එකේ නවතින්න ගියේ නැත්තේ එහි පහසුකම්ම් ඉතාම අඩුවූ නිසා.. ......ඒ කාලේදි දඬුගං ඔය ,අස්ගිරිය,කොටුගොඩ වගේ නමක් ඇහුනත් ඒක ඔහුට මහත් සතුටක්...අස්ගිරියේ,හෙනරත්ගොඩදී පෙම්වතිය හමුවෙන්න මාස පහකින් විතර අවස්ථාව ලබා ගන්න ඔහු, ඒ දවස වෙනතුරු ඉන්නේ නොයිවසිල්ලකින්...ගොඩාක් දුරට ඒක සරසවියේ ප්‍රායෝගික පරීක්ෂණ නැති බදාදා දවසක්...
255 බස් එකක නැගලා කටුබැද්ද හන්දියට යන ඔහු 100 පාරේ මොරටුව බස් එකක නැගල පිට කොටුවට යනවා..එතනින් මිනුවන්ගොඩ හරහා කුරුණෑගල 05 බස් එකක නැගල දඬුගං ඔයේ පාලම පහු කරමින් කොටුගොඩ හන්දියෙන් බැහැලා එතනින් උඩුගම්පොල පැත්තට යන බස් එකකින් නැදගමුව ප්‍රාථමික විදුහල ලඟට යනවා...ඒ වෙනකොට ඇය කෙසේ හෝ එතැනට ඇවිත්...ඊට පස්සේ එතනින් ගම්පහ බස් එකක නැගිලා අසිගිරියට යනකොට හොඳටම වෙහෙසයි...කොපමණ වෙහෙස උනත් ප්‍රේමණීය හැඟීම් වලට ඒ හැම දෙයක්ම යටපත් වෙලා යනවා....
ටිකට් දෙකක් අරගෙන ඇතුළට යනකොටම එකොලහ විතර වෙලා.. මේ දෙදෙනා එකොලහට විතර එතනට යනකොට තවත් බොහෝ ප්‍රේමවන්තයින් උදෙන්ම ඇවිත් හොඳ හොඳ තැන් අල්ලගෙන..සමහර දවසට තැනක් හොයාගන්න එහාට මෙහාට ඇවිදිනකොටම ගෙදර යන වෙලාව ඇවිත්..ඊට පස්සේ ටිකක් කොනට වෙන්න තියෙන ගසක් යටට වෙලා ඔවුන් දෙදෙනා බොහෝ වෙලාවට මුහුණට මුහුණ බලාගෙන ඉන්නවා මිසක් කතා කලේ හරි අඩුවෙන්.මේ කියන කාලේ වෙනකොට ජංගම දුරකතන එතරම් බහුල නොවූ 2001/2002 කාලය...ඒ නිසාම ලියුම් වලින් එකිනෙකාට කියන්න තියෙන් දේ සතියකට වරක් දෙවරක් කියාගන්නා නිසා අමුතුවෙන් කතා කරන්න දේකුත් නෑ. මෙහෙම ඉන්නකොට සමහරු ඇවිත් එක එක කතා කියල සල්ලි ඉල්ලනවා..දන්සල් වලට ,ක්‍රිකට් තරඟාවලි වලට..තව නොයෙක් දේවල් වලට.......ඒ කාලෙ නම් දැනුනෙ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලියසේ අචින්ත්‍යය..පාරිශුද්ධයි සුරම්‍යයි කියල......
එහෙම පෙරුම් පුරාගෙන පැයක් දෙකක් ගත කරලා ආපහු ආවම ඔවුන් කතා කරපු හැම වචනයක් පාසාම දෝංකාර දෙනවා සිත පුරාම...ඇය නැවතත් ගෙදර ලඟටම ඇරලවලා දුරකතර ගෙවාගෙන කටුබැද්දේ වීර පුරන් අප්පු ගමේ බෝඩිමට ඔහු එනකොට හවස හයත් පහුවෙලා..මොකද බස් පහක එන්න තියෙන නිසා..
ඔහුට බෝඩිමේ යහලුවන් කිව්වේ "සප්න කුමාර" කියලා...ඒ නම දැම්මේ බණ්ඩාරවෙල බිඳුනුවැව ඉපදිලා බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහලෙන් අකුරු කරලා ආපු කොටලුවා හෙවත් නලීන් ප්‍රියංඟ හේරත් සහෝදරයා...වැඩිය කතා බහක් නැති ඔහු හරිම සංයමකින් ඉන්නවා වගේ දැනුනත් ඇත්තටම ඔහු එහෙම හිටියේ කම්මැලි කම නිසා..මොකද බණ්ඩාරවෙල සීතල කාලගුණයට හුරුවෙලා දශක දෙකක්ම ගෙවල තිබුන නිසා….
වසර හතරකට අධික කාලයක් බොහෝම ආදරයෙන් සිටිය මේ දෙන්නා ඒ ආදරයට දාපු තේමාව තමයි "ප්‍රභාතය" කියල....මොකද ඔහු ඇයට ලියුව මුල්ම කවියේ ඔහු ඒ ආදරය එලෙසින් හදුන්වපු නිසා...
මේ ඉතින,
සුභ නැකත අද අදම කියාදෙන
ප්‍රභාතය මල් වරව පීදෙනා යාමයයි
ගිරි ශිඛර වාලුකා වන්දනාවට පේවී
ඒ ප්‍රභාතයේ ,
අරුණරිසි නෙතු අගට
සිනාවක් පලදන්ට අවසරයි..
ඒත් උසස් පෙළ විභාගයෙන් පළමු වරම සරසවි වරම් ලබන ඇය 2003 වසරේ කැළණිය සරසවියට ඇතුලු වෙනවාත් සමගම ඇයටත් සිතාගන්න බැරි ලෙස ඇයගේම සිත වෙනස් වෙනවා.....
වසර හතරක් ආධ්‍යාත්මිකව බැඳුන ප්‍රේමය අමතක කරලා වෙනත් පැත්තක් බලන්න ඕන කියල ඇයට සිතුනේ කොහොමද කියලත් ඇයට ගැටලුවක්..ලෝකයේ සමහර දේවල් තියෙනව ජීවිත කාලයේම හෙව්වත් ඒ දේවල් එහෙම වුනේ ඇයි කියා හොයාගන්න බැරි කාරණා....ඒ වෙනුවෙන් මහන්සිවෙන එක තේරැමක් නැති දෙයක්...මේ ස්ත්‍රී පුරුෂ බැඳීම මේ සංසාරයේ පදනම බව තේරුම් ගන්න කොච්චරනම් වෙහෙසක් ගන්න වෙනවද ?
කඩුපුල් මල සේ රැයම සිනාසී
අරුණැල්ලට පෙර මිලානවී
දෙනෙත් පුරා කඳුලැලි පුරවා
කුමන ඵළද සිත රිදවාලා
සෙනෙහස පෑවා ඔබ මලක් සිතා
පිවිතුරු බව මා දනිමී
ඔබ සුරැකීමයි මා සිතු පැතු දේ
එය වරදක් නොම යැයි සිතමි
කියලා යමුනා මලිනී පෙරේරා මහත්මිය කියපු කතාව ඔහුට ඒ කාලේ තේරුනේ නෑ...
කඩුපුල් මල පිපෙන්නේ මධ්යම රාත්‍රියෙන් පස්සේ ..ඒත් ඒ මලේ සුන්දරත්වය විඳින්න පුල පුලා බලා ඉන්න බඹරෙක් රාත්‍රී කාලයේම ඉවසාගෙන ඉඳලා පාන්දරම එනකොට ඒ මල පරවෙලා තිබුනොත්..ඒක අර බඹරාට දරාගන්න අමාරුයි...මොකද ඌ රාත්‍රියේම මල වෙතට නොආවේ බැරි නිසා නෙවෙයි..ඒත් පාන්දර හිරු එලිය වැටුන හිමිදිරියේ ලෝකය ඉදිරියේම ඒ මලට ලංවෙන එක වඩාත් වටිනා දෙයක් නිසා..බඹරා රාත්‍රිය පුරාම මලට තනි රැකලා පාන්දරම රොන් ගන්න හදනකොට ඒක පරවෙලා ගිහින් තිබුනොත්...ඌ රැයක් පුරා ගත්ත වෙහෙස ගඟකට කැපූ ඉනි වගේ වෙලා ඌ විඩාවට පත්වෙනවා....නැවතත් එවැනි වෙහෙසක් ගන්න එක නිශ්ඵල බව ඌට පසක් වෙනවා....
ඔහු ඇයට දිවි හිමියෙන් ආදරය කලා..ඒක කොතරම් ඇත්තක්ද කියලා ඔහු ජීවිතයෙන් සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ එහෙම දිවිහිමියෙන් ප්‍රේම කළ පෙම්වතුන් ලෙස සාහිත්‍යයේ හිටපු විරාගයේ අරවින්ද හෝ ගොළු හදවතේ සුගත්ලා වගේ ජීවිතය අකාලයේ විනාශ කර නොගත් එහෙත් ඒ ආදරය වෙනුවෙන් ජීවිතයේ හුදෙකලාවම ඉන්න ප්‍රේමවන්තයෝ ලෝකයේ ඉන්න බව පසක් කරමින්...
එක දවසක් මේ දෙන්නා අස්ගිරියෙ උයනට ගිහිං එනකොට එකපාරටම මහා වරුසාවක් ඇද හැලෙනවා...ඇය ලඟ පුංචි කුඩයක් තිබුනා...මේක ඉහල ගත්තට දෙන්නම තෙමෙනවා....ඒත් ඒ තෙමීම හරිම ආශ්වාදජනකයි....මෙහෙම නොතෙමී තෙමි තෙමි සතුටින් යද්දී ස්මහර වැහි බින්දු ඇයගේ කම්මුල දිගේ පහලට රූටාගෙන යන්නේ හරිම චමත්කාර විදියට...හෙමින් ඒ වැහි බින්දුවක් ඇඟිලි තුඩෙන් අරගෙන රස බලන එක අමුතුම අත්දැකීමක්..ඒ තුළ ඇයගේ දහදිය වල ලුණු රසය තිබුනත් ඒක අමුතුම මිහිරක්.....
අදටත් කඳු මුදුනේ හුදෙකලා සඳලු තලයේ කුටියේ මන්දාරම් අඳුරත් එක්ක වැස්ස වැටෙන වෙලාවට ඔහුට ඒ අතීතය මතක් නොවෙනවා නොවේ....
මන්දාරම් අඳුර මැඳින් සිරි පොද වැසි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට ඔබ සිටියානම් ......ඔබ සිටියානම්....
තනියමවත් යන්නට මදි කුඩේ යටින් ඔබේ ලඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින් යන්නට තිබුනා.....
මග යන එන අයට හොරෙන් ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිදුවක රස බලන්න තිබුනා.....
පද ගෙත්තම : ශ්‍යාමන් දිසානායක
සටහන : චාමර වන්නිආරච්චි



https://www.youtube.com/watch?v=rPFVkm389kM



Comments

  1. හිතට ගොඩක් ළඟ කතාවක්... මගේ කතාවෙ වෙනසකට තියෙන්නෙ අපි සම වයසෙ වීමයි අවුරුදු 5ක බැදීමකින් අවසන් වීමයි

    ReplyDelete

Post a Comment

Popular Posts