ඔබේ ආදරේ වරුසා වැහැලා..............

රුසියාවේ යුරෝපියානු කෙළවරේ සිට ඈත ජපානය කෙළවර දක්වා දිවෙන "සයිබීරියානු දුම්රිය" මග තමයි ලොව දිගම එක...උතුරු ඉන්දියාවේ සිකීම්,අරුණාචල් ප්‍රදේශ් වල තියෙන දුම්රිය මාර්ග නම් හරිම දුෂ්කර ගිරිශිඛර ඔස්සේ තමයි ධාවනය වෙන්නේ ..මේ අතුරිනුත් “ඩාජිලිං” වලට තියෙන පුංචි කෝච්චිය වෙනස්ම එකකක්....බිරිතානින් දකුණු ආසියානු රටවලට දුම්රිය හඳුන්වා දුන්නේ ඔවුන් විසින්ම චීනයෙන් ගෙනත් එම රටවලට හඳුන්වාදුන් තේ එම රටවල්වල වරායන්ට ප්‍රවාහනය කරන්න හිතාගෙන....ඔවුන් විසින් දකුණු ආසියාවේ කරගෙන ගිය කෝපි වගාව වසංගත රෝගයක් නිසා විනාශ වුනාට පස්සේ තමයි තේ වගාව හඳුන්වා දුන්නේ....මේ හේතුව නිසාම ඔවුන් විසින් මේ රටවල සවිකළේ පලලින් වැඩිම භාණ්ඩ ප්රවාහන දුම්රිය මාර්ග පද්ධති( Wide Gauge ) ...එහෙම බැරි අවස්ථාවලදි අපේ පැරණි කැළණි වැලි දුම්රිය මග වගේ පුංචි කෝච්චි පාරවල් සවි කරන්න සිද්ධවුනේ එම ප්‍රදේශවල තිබුන දුෂ්කරතාවයන් නිසා….ඩාජිලිං දුම්රිය මග අදටත් කුඩා දුම්රිය ධාවනයවන එකක්,ලංකාවේ ප්‍රධාන දුම්රිය මග ලෙස සළකන කොලඹ සිට බදුල්ල දක්වා ඇති මග ඇත්තටම හරිම සුන්දර පෙදෙස් හරහා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ…..
පුංචි කාලේ සිටම මෙහි කෙළවර දක්වා යන්න මට හීනයක් තිබුණ... උසස් අධ්‍යාපනය හදාරන කාලයේ ඊට ඉඩක් ලැබුනේ මගේ බෝඩිමේ සිටි කළ්යාණ මිත්‍ර නලීන් සහෘදයාගේ ගම බණ්ඩාරවෙල බිඳුනුවැව නිසා……
පළමු වසරේ Study Leave එකේ, මම ඔහුගෙ ගෙදර යන්න ඔහුත් සමග පිටත්වුනේ උදේ 5.55 ට කොටුවෙන් පිටත්වෙන “උඩරට මැණිකේ” දුම්රියෙන්……..පෙරාදෙණියට යනතුරු ඒක සාමාන්‍ය ගමනක් වුනත්, එතනින් එහාට යන්න යන්න මග දෙපස කෙමෙන් කෙමෙන් සුන්දර වෙන්න වගේම දුෂ්කර වෙන්න පටන් ගන්නව…… නානු ඔය පහුකරගෙන පට්ටිපොලට යනකොට වෙනම ලෝකයක් වගේ……පට්ටිපොල කියන්නේ Wide Gauge දුම්රිය මාර්ග පද්ධතියෙන් ලොව ඉහළින්ම පිහිටි දුම්රිය ස්ථානය…… ඩාජිලිං වල තියෙන්නේ පුංචි කෝචි පාරක් නිසා පට්ටිපොලට ගිනස් වාර්තා පොතේ ඒ හිමිකම තව බොහෝ කාලයකට අහිමි වෙන්නේ නෑ…
ඉදල්ගස්හින්න ,ඔහිය ,අඹේවෙල පැත්ත හරිම සුන්දර ලතෙත්,රෝමාන්තික අත්දැකීමක්…ඒක වැසිබර අඟහරැවාදාවක්….සති මැද දවසක් වුන නිසා අපිට නැරඹුම් මැදිරියට නොගියට තුන් වෙනි පංතියේ ආසන දෙකක් කොළඹින්ම ලැබුණ නිසා ගමන පහසු වුනා…..පොල්ගහවෙල දක්වා අධික වේගයෙන් ගමන් කළ උඩරට මැණිකේ , පට්ටිපොලදි,ඔහියෙදි හැසිරුනේ හරිම සංයමයකින්.... ඒ පරිසරය එක්ක ඒකාත්මික වුන කෙනෙකුට හිතේ සංයමයක් ඇතිකරගන්න අමුතුවෙන් 'සමථ භාවනාවක්' වඩන්න ඕන වෙන්නේ නෑ,බුදුරදුන් භාවනානුයෝගී භික්ෂූණ්ට ගිරිශිඛර,වනපන්ත සේනාසනවලට ගිහිං බවුන් වඩන්න කිව්වෙත්,ඊට බොහෝ කාලයකට පෙර මහා සෘෂිවරුන් හිමවන්තයේ ඉහළ පෙදෙස්වල ඉඳගෙන සමථයන් වැඩුවෙත් මේ නිසාම වෙන්න ඕන.........,මා හිමචල්ප්‍රදේශ් ,උත්තරඛණ්ඩ් සහ කාශ්මීරයේ සංචාරය කරද්දි ඒ අත්දැකීම හොඳින්ම ලැබුවා......ජපානයේ සෙන් ආරාම සියල්ලක්ම පිහිටුවලා තියෙන්නේ වනපන්ත කඳු මුඳුන්වල......ඒත් කාලයාගේ ඇවෑමෙන් නාගරිකකරණය විසින් ඒ පෙදෙස් ගිලගන්න පටන්ගෙන දැන් දශක ගනනක් වෙනව.....වෙනස්වීම ලෝක ස්වභාවයකොටම ඇති නිසා අපි ඒවා ගැන හිත් කරදර ඇති කරගන්න හොඳ නෑ......
මම මුල් වරට උඩරට දුම්රියේ සංචාරය කළේ 2001 වසරේ නොවැම්බර් මාසේ.....එතකොට මගේ වයස හරියටම 22 යි.....මගේ සිතත් රෝමාන්තික අත්දැකීම් වලින් පිරිල ඉතිරිලා ගිය උච්චම කාළේ.....ගමන දිගටම මට හිතුනේ "මේ ගමනට මගේ ප්‍රේමවන්තියත් එකතුකරගන්න තිබුණ නම්" කියල.....ඒත් ඇය ඒ වනකොට උසස් පෙළ අවසන් වසරේ සිසුවියක් නිසා ඒ වගේ ගමනක් ඒ දවසවල හීනයක් විතරයි...මගේ ගමන් සගයා වුන නලීන්ට නම් බණ්ඩාරවෙල ඉඳං කොළඹට දුම්රියේ යන එන එක එතරම් අරුමයක් නොවුන නිසා ඔහු කළේ දිගටම නිදියගත්ත එක පමණයි....ඒ නිසාම ඒ ගමන පුරාම මම හුදෙකලාවේම ඒ ගමනේ රසය වින්දා.....නලීන් අඹේවෙලදි ඇහිරිලා මා දිහා බලල අහනවා,'ආ මල්ලී උඹ තාම ඉන්නව නේද ? ' කියල ඊට පස්සේ ඔහු නැවතත් ඇහැරුනේ බණ්ඩාරවෙලදි.....
මේ දුම්රිය මගේ උදේ හවස හුදෙකලාවම තමන්ගේ පෙම්වතිය ගැන සිහින දකිමින් ගමන් බිමන් ගිය තරුණයකුට ඒක කොච්චර සුන්දර අත්දැකීමක්ද කියල මට හිතුනේ, එක දවසකදි මගේ හිතේ ඇතිවුන චමත්කාරයත්,සැහැල්ලුවත් නිහඬ සුවයත් ගැන හිතනකොට..... කෙනෙක් කියන දෙයක් ගැන අහලා ඒ ගැන මනසින් මවාගන්න එකත් ඒ අත්දැකීම විඳලා තමන්ම ප්‍රත්යක්ෂයෙන් විඳ ගන්න එකත් අහසට පොලව වගේ......ඊට පස්සෙත් උඩරට දුම්රිය මගේ යහලුවන් සමග කීප වරක්ම ගියත්, එදා පළමු දවසේ හුදෙකලා රෝමාන්තික මනසින් මම ලැබූ සුන්දර අත්දැකීම සමග ඒකාත්මික වෙන්න නම් ලැබුනේ නෑ.....
කපිලවස්තුව තියෙන්නේ හිමාල මිටියාවත පාමුලේ....ඉතිං දවසක් බුදුරදුන් අනද හිමියන් අමතා කියනවා "ආනන්ද,මගේ උපන් ගම වන කපිලවස්තුව පිස හමා එන මද නල පවා මට සුවයක් ගෙන දෙනවා" කියලා.....සියලු කෙලෙස් ප්‍රහානය කළ බුදුරදුන් කිව්වේ එහෙමයි.....අපි වගේ හද්ද පෘථග්ජනයන් ඒ වගේ පරිසරයකට ඇලෙන එක අහන්නත් දෙයක්ද ?
සිහිල් සුළං රැල්ලේ -ඔබේ සුවඳ මුසුවේ
ආදරයේ මද සිනිඳු පහස ලැබ - හදවත දළු සෙලවේ
සුදු වැලි කතරේ - පිපුන මල වගේ
ලොවුතුරු රස ගංඟා,
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ
සීත හිමව්වේ - කඳු ගැට අතරේ
සෙනෙහස් දිය ධාරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ
පද ගෙත්තම : සේන වීරසේකර
සටහන චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=-QTUprRX9nc

Comments

Popular Posts