ඇතුළත කතාව…….
අපි අවදියෙන් ඉන්න වෙලාවට මොන දේ කළත් අපේ ඇතුළතින් නිරන්තරයෙන්ම අපි, අපිත් එක්කම දොඩමලුවෙන බව ඔබට දැනිල තියෙනවද ? සජීවී මිනිසෙක් නම් මෙය ඔබට අලුත් දෙයක් වෙන්න බෑ....ගතවෙන හැම චිත්තක්ෂණයකම අපේ සිත නිරන්තරයෙන් තනිවම කියවනවා...කලාතුරකින් තමයි ඒවා වචන හෝ ක්‍රියා බවට පත්වෙන්නේ...
පසුගිය සියවසේ තායිලන්තයේ බිහිවුන මහා ථෙර කෙනෙක්වූ අචාන් චා හිමියන් එය හදුන්වන්නේ "ඇතුළත කතාව" කියල...බටහිර මනෝ විද්‍යාවේ “උඩු හිත-යටි හිත” කියල මෙය හැඳින්වුවත් බුදු දහමේ නම් එහෙම "උඩු-යටි" පැහැදිළි කිරීමක් නෑ....
අපි තද නින්දට ගියත් අපේ විඤ්ඤාණය ක්‍රියාත්මක වෙන නිසා තමයි අපි නැවතත් අවදිවෙන්නේත් කළින් තිබූ ලෝකය ගැන මතකයන් එලෙසින්ම පවතින්නේත්.....ඒත් මේ විඤ්ඤාණය නිත්‍ය වූ දෙයක් නෙවෙයි..එයත් හැම චිත්තක්ෂණයකදීම ඇතිවෙමින් නැතිවෙනවා...හින්දු දහමත් බුදු දහමත් වෙනස්වෙන සියුම් තැන මෙතන තමයි...රාමපුත්ත උද්දකයන් "නේවසඤ්ඤා නාසඤ්ඤායතනය" නම්වූ "භව අග්රය" පරම නිෂ්ඨාව,විමුක්තිය කියල පටලවාගෙන සිටියේ මෙන්න මේ විඤ්ඤාණය නිත්ය වශයෙන් ගත් නිසා....බුදු දහමේ විඤ්ඤාණය අනිත්යවූ දෙයක් ලෙස ඉගැන්වුවත් හින්දු දහමේ එය ලොව පවතින් එකම නිත්‍යවූ දෙය ලෙසයි සලකන්නේ.....පසු කාලීනව මේ නිත්යවූ විඤ්ඤාණය "බ්‍රහ්ම පදාර්ථය" ලෙස ඉගැන්වීමක් හින්දු දහමේ තිබුනා...සංකරාචාර්ය විසින් හඳුන්වා දුන් "අද්වෛත වේදාන්තයන්" වලට එද්දි මෙය තවත් තහවුරු වුනා...ඒ නිසා තමයි හින්දු දහමට අනුව මරණයෙන් පසු පුණ්‍යවන්තයින් "සර්ව ව්‍යාපී වූ,ඒකළ වූ, අනන්‍ය වූ,නිත්‍ය වූ බ්‍රහ්ම පදාර්ථය" සමග එක්වන්නේ.....ඒ අනුව තමයි මරණයෙදි "ආත්මය" නම්වූ න්‍යෂ්ඨියක් පිටතට යනවා කියන මිත්‍යාව බුදු දහමේ සමහර ගුරු කුළවලටත් එකතු වුනේ...අන්තරා භවය වගේ මිත්‍යාවන්ගේ මුල එතැනයි....බුදු දහමේ කියැවෙන්නේ අනිත්‍යවූ චුති විඤ්ඤාණය හේතුකොටගෙන ප්‍රථිසංධි විඤ්ඤාණය තවත් තැනක හට ගන්න බවක් පමණයි...ඒ අලුතින් හටගත් විඤ්ඤාණය,කළින් තිබුන එකම නෙවෙයි,වෙනස්ම එකකුත් නෙවෙයි...කළින් එකේ හේතු ප්‍රත්‍යයෙන් හට ගත් එකක් පමණයි...
එම චුති විඤ්ඤාණය නැවතත් "පැළවීමේ ස්වභාවය" සපුරාම නැති කළ පුද්ගලයා හඳුන්වන්නේ "රහතන් වහන්සේ" කියල...ඒ නිසා ඇත්තටම රහත් උතුමකුගේ චුති විඤ්ඤාණය නිරුද්ධවීමෙන් පසු නැවත ප්‍රථිසංධියක් හටගන්නේ නැහැ...මේ ගැන දිගු විස්තරයක් මජ්ජිම නිකායේ "බීජ සූත්රයේ" තියෙනව....
අපේ ගෙදර අම්මත් තාත්තත් නිදාගත්තේ බිම් මහලේ...මගේ හුදෙකලා කාමරය තිබුනෙ උඩු මහලේ.....ඉස්සර පෝය දවස් වලට මම නිදාගන්නේ උඩු මහලේ සඳලු තලයේ මගේ යෝග පැදුර එලාගෙන..එහෙම පැදුරේ ඇලවුනාම තමයි සඳ ඇති රැයක චමත්කාරය හරියටම අත්විඳින්න පුලුවන්...මධ්‍යම රාත්‍රිය පහුවුනාම නම් ටිකක් පිණි වැටෙන්න පටන් ගන්න නිසා මේක මානසික සෞඛ්‍යට හොඳ වුනත් ශරීර සෞඛ්‍යට නම් එතරම් හොඳ නෑ....ඒ වගේ දවසට සඳ එලිය නිසා තරුවල දීප්තිය අඩුයි.....සඳේ ආලෝකය දිහා එක දිගට බලාගෙන උන්නම ඒ දෙසට අමුතුම ආකර්ශණයක් ඇතිවෙනවා...ලතින් භාෂාවෙන් "ලූනා" කියන්නේ හඳට...."ලූනටික් එසයිලම්" කියල කියන්නේ පිස්සන් කොටුවට...හඳේ ආලෝකය සත්ත්වයින්ගේ මනසට ලොකු බලපෑමක් කරන බව එයින් පැහැදිළි වෙනවා...
මේ වගේ දවස් වලට සඳේ බලපෑම නිසාදෝ සුළඟ ගොඩාක් අඩුයි..ඒ නිසාම ගහකොල සෙලවීමත් අඩුයි..බොහෝ දුරට සෙලවෙන්නේ නෑම වගෙයි...ඉඳල හිටල සුළඟක් හැමුවත් එහි හඬ අපේ සිතේ හුදෙකලාව තවත් වැඩි කරනවා...ප්‍රභල මානසික ශක්තියක් නොමැති කෙනෙක් මේ වගේ තැනක තනිවුනොත් සමහරවිට එයා බයවෙන්න හෝ මානසික ව්‍යාකූල තත්වයකට පත්වෙන්න පුලුවන්..ඒ නිසා තමයි කැලේක හුදෙකලාවෙලා තනිවම භාවනා කරන්න කලින් අඩුම තරමේ වසර පහක් ඕනෑම යෝගාවචර භික්ෂුවක් ගුරු ඇසුරේ සිටිය යුතුයි කියල බුදු රදුන් පනවන්නේ....සමහර භික්ෂූණ් මෙසේ ගුරු ඇසුරක නොසිටි නිසා තමන්ගේ සිතේ හටගත් "මනෝවිකාරයන්" තමන් සමාධියේදී දුටු දේ ලෙස ලොවට කියන්න පටන් ගත්තා...ගුරු ඇසුරක් නැතුව අහංකාර ලෙස කටයුතු කරන ඕනෑම කෙනෙකුට එසේ විය හැකි බව තමයි බුදු රදුන් දෙසන්නේ...මගේ ජීවිතේ මම අවස්ථා කීපයකදීම කැලේ හුදෙකලාවේ සිටියේ ඊට කලින් ඒ ගැන ගොඩාක් දවස් පුහුණුවෙලා සහ පරිනත භික්ෂූන් වහන්සේලාගේ උපදෙස් අරගෙන..ඒ නිසා මට ගැටලුවක් වුනේ නෑ....
සඳලු තලාවේ මුනින්තලාවී ඈත බලාගෙන ඉන්නකොට ගොඩාක් දුරට අපිට සිහියට එන්නේ අපේ අතීතයේ අපේ ජීවිතයට වැඩියෙන්ම බලපෑම් කළ සිදුවීම්...විශේෂයෙන්ම ආදරය ගැන මතකයන්.....මේ වෙනකොට කෙනෙක් හුදෙකලා වෙලාඉන්නවනම් එයින් කියැවෙන්නේ ඔහුට අතීතයේ ආදරයක් තිබුන බව තමයි....මිනිස්සු අතීතය ගැන සිහි කරන්න කැමැතියි...බොහෝ දෙනෙක් පුරා විද්‍යා නටඹුන් බලන්න යන්නෙත් ඒ නිසාමතමයි...මෙය හදුන්වන්නේ "අතීත කාමය" කියලා....අපේ සිත වර්තමානයෙන් පැනලා යන හැම මොහොතෙම දුවන්නේ අතීතයටම තමයි.....මොකද අනාගතය ගැන සිහින දැකීම තුළ පවා තියෙන්නේ අතීතයේ අපි ගත්ත නිමිතිම පමණක් නිසා..
ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර තියෙන බන්ධනයන් තමයි ලොව තියෙන ප්‍රභලම එක....මගේ ප්‍රථම සහ අවසාන ප්‍රේමය වසර හතරක් පුරා දිව ගිය නිසා අතීත මතකයන් බොහෝමයක් ඉතිරිවෙලා තිබුනා...විදුලි උපකරණයක් ප්ලග් එක ගලවලා විදුලියෙන් විසංධි කරනව වගේ මානව සම්බන්ධතාවක් එක මොහොතින් විසංධි කරන්න බෑ......බුදු රදුන්ගේ නිරන්තර උපදෙස් ලබද්දීත් නන්ද හිමිට ජනපද කළ්‍යාණිය ගැන මතකය අමතක කරන්න බැරි වුනා....
ප්‍රථම ප්‍රේමය විවාහයකින් කෙළවර නොවුන නිසා තමයි එහි මතකය සුන්දර වෙන්නේ.....ඒක විවාහයක් දක්වා දුරදිග ගියා නම් සමහරවිට ඒ නිසාම මිනිස්සුන්ට අසුන්දර වර්තමානයක් උදාවෙන්න ඉඩ තිබුණා...ජීවිතේ ගැටලු වලට ප්‍රායෝගිකව මුහුණ දෙනකොට සමහර සුන්දර දේවල් වියැකී යනවා.....
දෑළ ගං කෙළවර යා කෙරුන ඒදණ්ඩ
ගං දියටම වැටී කොහේ පාවී ගියේදැයි
ගං දියවත් නොදනී....
ගං දියටම වැටී කොහේ පාවී ගියේදැයි
ගං දියවත් නොදනී....
අපිට අපි තනි රැක්ක යුගය දැන් අහවරයි...
ඉතින් ඔබ යන්න....
ඒ සුවඳ අරගෙනම...
ඉතින් ඔබ යන්න....
ඒ සුවඳ අරගෙනම...
ඉහිරෙනා සෙනේ සුවඳට
නුඹේ දෑතින් වසුරු මුසු කළේද ?
නුඹේ දෑතින් වසුරු මුසු කළේද ?
වන්දනාවක් ඔබ,බැති සිතින් දරාගෙන...
මම වින්ද අපරිමිත නිරාමිස සුවය අද ,
අහෝ ගිණි ගෙන දැවෙයි...
මම වින්ද අපරිමිත නිරාමිස සුවය අද ,
අහෝ ගිණි ගෙන දැවෙයි...
යලිත් උණුසුම් වෙන්න
නොදී අප සිත් අගට
හිම මිදෙන සීතලම දරාගෙන
වෙන්වෙන්න දැන් අපට කාලයයි...
නොදී අප සිත් අගට
හිම මිදෙන සීතලම දරාගෙන
වෙන්වෙන්න දැන් අපට කාලයයි...
දෙනෙත තුළ නලියන
විලියෙන් බරව විඳවන
මේ කඳුල බිහි නොකර
දැන් යන්න ඉතින් මට අවසරයි...!
විලියෙන් බරව විඳවන
මේ කඳුල බිහි නොකර
දැන් යන්න ඉතින් මට අවසරයි...!
ඒ අවසන් වරට මම ඇයට යැවූ සටහන...
තමන් ආදරය කරන පෙම්වතිය බොහෝ කාලයකට පසු තමන් හැර යද්දී ඒ දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඇයට සුබ අනාගතයක් පතන්න තරම් මුදිතාවක් හැමෝගෙම සිතේ හට ගන්නේ නෑ..ඒත් එහෙම අය ලෝකයේ ඉන්න බව මම ලොවට පසක් කළා....ජීවිත කාලයම හුදෙකලාවම තනිකඩව ඉන්නත්,ඒ තුල කලින් ලැබූ සාමිසයට එහා ගියා නිරාමිස සුවයක් ලබන්නත් මම පුරුදු වුනා....මගේ සිතට හුදෙකලාව තුළ සුවයක් ලැබුන හැම වෙලේම මම ඇයට පිං දුන්නා....අවසන් දවසේ ඇය කියු..."මම චාමර අයියත් එක්ක තියෙන සම්බන්ධය නවත්තලා මට යන්න වෙන්නේ නිකම්ම නිකන් හිස් ඔලුගෙඩියක් තියෙන පිටින් ලස්සන කෙනෙක් එක්ක බව දන්න නිසා තමයි මට ගොඩාක් දුක..ඒත් මේ වෙලාවේ මගේ හිත ඒ බාහිර ආටෝපයට රැවටිලා තියෙන්නේ" කියල වදන් පෙළ නිසා මගේ සිතේ උපේක්ෂාව තවත් වැඩිවුනා....ඇය මගේ වටිනාකම හඳුනාගත්තත් ඇයට ඊට වඩා තමන්ගේ ආවේගයන්ගෙන් ලැබුන උත්තේජයන් වැඩිවුන නිසා ඇය යන බව මම පසක් කරගත්තා...බලෙන් රඳවාගෙන තියාගන්න එක ආදරයක් නෙවෙයි..ඒක බලහත්කාර කමක්....
කොච්චර සිත උපේක්ෂාවේ තිබුනත් මම රහත් නොවුන නිසා ඒ වගේ සඳ ඇති හුදෙකලා රාත්‍රීන්වලදි මට ඇය නිතර මතක් වුනා.....ඇය මා සමග කතා කළ දේවල් සිහිනයක් වගේ ඇහෙන්න පටන් ගත්තා...ඒ වෙලාවට ඇයගේ දෙනෙත්වල තිබුන දීප්තිය මට සඳ එලිය තුළින් පෙනෙන්න පටන් ගත්තා...
පියා නුවන් යුග නිවා හැගුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ...
පාලුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කලා.....
සැතපෙන්නට වෙර දරන පැයේ...
පාලුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කලා.....
මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ ....
සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ
හදවත අවදි කළා....
සිහිනයකින් මෙන් ගලා රැයේ ....
සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ
හදවත අවදි කළා....
සඳ තරු නිහඬයි...
ගහකොල නිසලයි....
මුලු ලොව සැතපෙයි....
සිතිවිළි විතරක් අවදිවෙලා.....
ගහකොල නිසලයි....
මුලු ලොව සැතපෙයි....
සිතිවිළි විතරක් අවදිවෙලා.....
පද ගෙත්තම : කුලරත්න ආරියවංශ
සටහන : චාමර වන්නිආරච්චි
(කවිය : කතෘ නොදනී,උපුටා ගැනීමකි)
සටහන : චාමර වන්නිආරච්චි
(කවිය : කතෘ නොදනී,උපුටා ගැනීමකි)
Comments
Post a Comment