ගොවියාගේ අස්වැන්න ගවයාට කට ගැස්මකි.....
ගොවියෙක් තමන්ගේ බෝග වගාවක් වෙනුවෙන් කොයිතරම් මහන්සි වෙනවද ?බිම සකස් කරපු දවසේ ඉඳං අස්වැන්න නෙලන දවස වෙනතුරු විතරක් නෙවෙයි..ඒ අස්වැන්නෙන් නියම ප්‍රයෝජනයක් ලබා භගන්න තුරු හැම මොහොතෙම ඒ ගැන අවධානයෙන්,උනන්දුවෙන් ඉන්න ඕන..එහෙම නැතිවුනොත් කොයිමොහොතේ මොන විනාශයක් වේවිද කියල විශ්වාස නෑ...අමාරුවෙන් වතුර හොයාගෙන, බිම සකස්කරලා බොහෝ ස්වාභාවික විපත් ලෙඩ රෝග මැද්දේ, දිවා රෑ රැක බලා ගන්න කුඹුරකට තමන්ට හොරෙන් ගවයෙක් පැනලා පැයෙන් දෙකෙන් මුළු කුඹුරම කාල දැම්මොත්, ඒ ගොවියට කොහොම නම් සිත් තැවුලක් හට ගනීවිද ?
ගැහැණු දරුවෙක් ඉන්න මවකුත්,පියෙකුත් හරියටම ගොවියෙක් වගේයි...තමන් බොහොම ආදරයෙන් ගොඩාක් බලාපොරොත්තු ඇතුව හදා වඩා ගන්න තමන්ගේ දියණියක් සල්ලාලයෙකුට,කාමාතුරයෙකුට හෝ රැවටිලිකාරයෙකුට බිලි දෙන්න සිදු වුනොත්...???? ලේසියෙන් හිත හදා ගන්න පුලුවන් වෙයි ද?
ඛුද්ධක නිකායේ ථේරි ගාථා පාලියේ එන "ඉසිදාසි ථේරි ගාථාව" කියෙව්වම නම් හිතෙන්නේ ඉසිදාසියගේ මවට , පියාට කොතරම් සිත් තැවුලක් තියෙන්න ඇතිද කියලා...වාසනාවට ඉසිදාසියට නම් බුදු රදුන් හමුවුන නිසා , "පරමානන්දය" වුනු "නිවන" සාක්ෂ්‍යාත් කරන්න හැකිවුනත්,ඇයගේ මවට සහ පියාට නම් ඇය නිසා සැනසීමක් ලැබුනෙ නෑ...ඉසිදාසිගෙ කතාව කියන්න ගියොත් ගොඩාක් දිගයි.......
රජරට වන්නි තුළාවේ පාසලක උසස් පෙළ පන්තියේ උගන්වන්න තරුණ ගුරුවරයෙක් යනවා....ඔහු උගන්වන විෂයයන් වන්නේ "සිංහල" සහ "බෞද්ධ ශිෂ්ඨාචාරය"....ඉතිං මේ 12 වසර පංතිය පටන් ගත්ත මුල් කාලේදි, පංතිය පිරෙන්නම ගැහැණු සහ පිරිමි ළමයි සිටියත් , දවසින් දවස ගැහැණු ළමයි පිරිස අඩුවෙන්න පටන් ගන්නවා....
"මොකද දැන් නිසංසලා එන්නේ නැත්තේ ?"
"එයා බස් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක පැනලා ගියා සර්"
"එහෙමද ?"
එතකොට නිමන්තිකා......?"
"එයා මේ පාර අස්වැන්න කපන්න ආපු ට්‍රැක්ටර් කාරයෙක් එක්ක ගියා සර්"
"ඒකත් එහෙමද?"
"එතකොට රම්‍යලතා?"
"ආ..එයාද.......?...එයා...එයා........"
"මොකද එයාට වුනේ...?"
"එයා සර් බාප්පත් එක්ක පැනල ගියා...."
"එහෙමද....?"
"වත්සලා...?"
"වත්සලා ආමි එකේ වැඩකරන කසාද බැඳලා ළමයිනුත් ඉන්න පොරක් එක්ක ගියා සර්"
"යකෝ ....මේපැත්තේ කෙල්ලන්ට මොන කුලප්පුවක්ද මන්දා...?"
"මේ පැත්තේ එහෙම තමයි සර්...මේ කෙල්ලො අපි දිහා ඇහින් ඇහැරලා බලන්නේ නෑ..ඒත් වයසක ,දැනටමත් කසාද බැඳපු මිනිස්සුන්ගේ තොරොම්බල් වලට රැවටිලා උං එක්කනම් පැනලා යන්නම යනවා...ඒ ගිහිං ටික කාලෙකින්, ළමයි දෙතුන් දෙනෙකුත් හදාගෙන ආපහු ගෙදර එනවා සර්...මොකද උං පැනල යන ගොඩාක් මිනිස්සු ඊට කලින් බැඳලා ළමයිනුත් ඉන්න අය නිසා..."
"ඒකත් එහෙමද...?..ඒත් මේ ගෑණු ළමයි උස් මහත් කරන්න අම්මලා තාත්තලා කොච්චර දුක් මහන්සි වෙනවද..අම්මපා මුංට ඒව ගැනවත් හිතන්න බැරිද අප්පා...?"
"ඒවා එහෙම තමයි සර්..සර් ඕවා ගැන දුක් වෙලා වැඩක් නෑ..හැම අවුරුද්දෙම උසස් පෙළ විභාගෙ කිට්ටු වෙනකොට ..මේ වසන්තිලා වගේ පට්ට කලු කෙල්ලො ටික විතරයිලු ඉතුරු වෙන්නේ..හැම අවුරුද්දෙම ඔහොමයි කියලා ප්‍රින්සිපලුත් ගිය සතියේ රැස්වීමෙදි කිව්වා..සර් එදා ආවේ නෑනෙ.."
ගහක මලක් හටගන්නව කියන්නේ ඒ ගහ "මල්වර" වුනා කියන එකයි..එක ගහක්, එක මලත් තනන්න දිවා රෑ අව්වේ වැස්සේ කොච්චර නම් වෙහෙස වෙනවද ?..ඒත් එහෙම අමාරුවෙන් පිපුන මලකට එන කළු දෙබරෙකුට ඒ මල විනාශ කරන්න ගතවෙන්නේ කොච්චර සුළු කාලයක්ද ?
අම්ම කෙනෙක් දියණියක් බිහි කරන්න කලිං, දස මාසයකට ආසන්න කාලයක් කුසේ දරාගෙන කොච්චරනම් දුකක් විඳිනවද? ඒ වෙනුවෙන් දස මාසයකට වඩා කොච්චර නම් පෙරුම් පුරනවද ? ඇය එසේ පෙරුම් පුරන්නේ ජීවිතයෙන් ජීවිතයක් ගෙන දෙන්න...ඒ ජීවිතය කොතරම් වටිනාකමක් තියෙන දෙයක් නිසාද ?
එහෙම බිහිකරන දියණියක්, පරිස්සමින් රැක බලාගෙන, තමන්ගේ නෑයන්ගේ ඉදිරියේ ගරු ගාම්භීර ලෙස වැදගත් ස්වාමියෙකුට දීග දෙනකම් ඉන්නේ කොතරම් දෙගිඩියාවකින්ද ? එහෙම බලාපොරුත්තුවෙන් හදන වඩන දියණියක් නොසණ්ඩාලයෙක් එක්ක පැනලා ගියොත්.....ඒක හරියට පෙරුම් පුරලා ....පෙරුම් පුරලා.... විලිරුදාවෙන් බිහි කරන කඳුලු බිඳක් ඇස අගින් බිමට වැටිලා, පයට පෑගිලා නොපෙනී යනව වගේ නෙවෙයිද.....?
ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්
සිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල වුනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවා නම්
සිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල වුනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවා නම්
එක මලක් තනන්නට රුවට රුවින්
ගහවැල දුක් ගින්දර විඳින තරම්
ඒ පිපෙන මලත් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙලා රිදවනාවනම්
ගහවැල දුක් ගින්දර විඳින තරම්
ඒ පිපෙන මලත් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙලා රිදවනාවනම්
දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මවු වරුනි උතුම්
මට කියාදෙන්න ලොව ඇතිද ඉතින්
වෙන අරුතක් මේ ජීවිතය තරම්...
ලොව හදන වඩන මවු වරුනි උතුම්
මට කියාදෙන්න ලොව ඇතිද ඉතින්
වෙන අරුතක් මේ ජීවිතය තරම්...
පද ගෙත්තම : මහින්ද දිසානායක
සටහන : චාමර වන්නිආරච්චි
සටහන : චාමර වන්නිආරච්චි
Comments
Post a Comment