අදහනු බැරි අහම්බය.....

අදහනු බැරි අහම්බය.....
ඊයේ ඉන්ජෙක්ෂන් එක විදින්න ගියාම මට ප්‍රථිකාර කරන විශේ.වෛද්ය සමන් හේවාමාන මහතා කියනව.."චාමරගේ ලෙඩේ(Plasmablastic Plasmacytoma) හැදුන කෙනෙක් ජීවත් වෙලා තියෙන්නේ උපරිම මාස හතරයි..ඒත් ඔයා දැන් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් ඉන්නවා..මම ගිය සති දෙකේම හිට්යේ එංගලන්තයේ ,මම ඔයා ගැන එහෙදිත් කිව්වම එයාලත් පුදුමවෙලා මට කියනව, ඔයා ගැන Case Study එකක් කරන්න කියල"...
"ඩොක්ටර් ඕන එකක් කරන්න,කොහොමටත් මට බෙහෙත් දෙන්නේ Trial & Error Method එකට කියල මම දන්නවනේ....කිසිම ගැටලුවක් නෑ.....අපි කරල බලමු හරි ගියොත් හරි ගියා-වැරදුනත් යන්න අරිමු...අපිට වෙන Alternative එකක් නැහැනේ"..."
විශේ.වෛද්යවරයා වෙනද වගේම සුහදව සිනාසිලා "OK චාමර" කියල යන්න ගියා.....ඔහුත් මමත් අතර විවෘතව හැමදේම කථාවෙන නිසා ඒක අපි දෙන්නටම හරිම ලේසියි...ඔහු මානව ගුණාංඟ වලින් පිරැණු කලාතුරකින් හමුවන මිනිසෙක්....මාතරදී ඉපදුනු ඔහු,කොළඹ ආනන්දයේ වගේම කොළඹ සරසවියේ වෛද්ය පීඨයේ මෙන්ම ලන්ඩන් සරසවියේ ආදි සිසුවෙක්...
උදේ හවස රෑ තිස්සේ, මේ කලබලකාරී ජීවිතේ එක්ක ඔට්ටු වෙන අපිට, අපේ පරණ හිතවත-හිතවතියන් කී දෙනෙක් නම් හමු වෙනවද ? ඒ හැමෝගෙන්ම වගේ දුරකථන අංකය ඉල්ලාගත්තට කීයෙන් කී දෙනාටද අපි ආපසු කතා කරන්නේ..?.බොහෝ වෙලාවට ඒව ලියාගත්තු කොල කෑලිත් කොහේද දන්නේ නෑ......
පාර තොටක බැලුවත් ,දුම්රිය - බස් පොලක බැලුවත්,සුපිරි වෙළද සලක බැලුවත්, ක්‍රීඩා පිටියක බැලුවත්, රෝහලක බැලුවත් හැමවෙලේ මිනිස්සු පිරිලා...අපිට පෙනෙන්නේ ලෝකය හරිම සජීවී කියල...ඒත මීට දශක කීපයකට කලින් ඒ තැන් වල සිටි අය නෙවෙයි දැන් ඉන්නේ.....බොරැල්ලේ කනත්ත දිහා බැලුවම පෙනෙනවා අපිට වඩා කොච්චර "කෙරැංකාරයෝ" රටම හොල්ලගෙන ඉඳල තියෙනවද කියල....ඒත් ඒ හැමදෙනාම "සමාදානයේ සැතපෙනව".....පාසල්වල ඉන්නේ අලුත්ම පිරිසක්..ඉතින්, ඒ හිතේ අමාරුව නිසාම තමයි මිනිස්සු "Back to School "වැඩසටහන් වලට ගිහින් තමන්ගේ හිතම රවටා ගන්නේ...කමක් නෑ ...එහෙම් හෝ සහනයක් ලැබෙනව නම්.....
කොච්චර පිරිවර හිටියත් මේ ඝෝර කටුක සංසාර ගමනෙදි, අපි හැමෝම යන්නේ "තට්ට තනිවම" බිහිසුණු ගමනක්...සමහරු නම් කියන්නේ මේව ගැන කතා කරන එක "අශුභවාදී" කියල...කමක් නෑ..ඕන කෙනෙකුට සිතීමේ නිදහස තියෙනවනේ.......ඇඟේ හයිය තියෙනකම්, අපිට මේ ගැන තේරෙන්නේ නෑ...ඒත කොයි මොහොතකහෝ "මරණය "අපි ලඟට අවාම නම් ඔන්න අපි "තක්කු-මුක්කු වෙනව"...අපි බොහෝ දෙනා බය වෙලා තැති අරගෙන අනෙක් අයට ඒ ගැන කියනව..ඒත් අනෙක් අයට ඒ ගැන ගානක් නැ ..මොකද Ticket එක ඇදුනේ එයාලට නොවන නිසා...ඔය හැමෝම අනුන්ගේ ටිකට් ඇදෙද්දි කිසි ගානක් නැතුව "දාර්ශණික කතා" කිව්වට තමන්ට Ticket එක ඇදිලා යන්න රෙඩි වෙන්න කියල මාරයා කිව්වම ඉතින් "සොරිම තමයි"....ඒත් එදාටත් ලෝකය හරිම සජීවී,මොකද අපි ගියාට අපේ ඊලඟ පරමපරාව ලෝකය සජීවීව පවත්වගෙන යන නිසා...එදාට අපේ කෑගැහිල්ල වේදනාවක් වෙන්නේ අපිටම පමණයි....."වතුර නටන තුරු තමයිලු කකුලුවගේ ජොලිය"......
කොහොම උනත් ජීවිතේ කියන්නේ කිසිවෙකුටත් ලිහාගන්න බැරි අයුරින් නිර්මාණයවූ "මුල -මැද -අග පැටලුණු" අවුල් ජාලාවක් වුන මහා "බ්‍රහ්මජාලයක්" කියල තමයි,ත්‍රිපිටකයේ පලමුවනම සූත්‍රය වන "බ්‍රහ්මජාල සූත්‍රයේදි" බුදු රදුන් එකහෙලා කියන්නේ.....
සෝවියට් සමූහාණ්ඩුවේ තිබුණ සාන්ත සයිබීරියානු දුම්රිය මග තමයි ලොව දිගම දුම්රිය මග වුනේ...60 දශකයේදී මේ මගේ, මෙහා කෙළවර වුන "ලෙනිං ග්‍රෑන්ඩ්" නගරයේ සිට එහා ජපානය ආසනයේ කෙළවර වුන "ව්ලැඩිවොස්ටොක්" දක්වා එවකට තිබුණු සුපිරිම රුසියානු දුම්රිය එංජිම සහිත දුම්රියට සම්පූර්ණ ගමනකට ගතවූ කාලය දින 40 වඩා වැඩි වුනාලු....
රුසියානු ඔක්තෝබර් විප්ලවයෙන් පස්සේ තමයි "ශාන්ත පීටර්ස්බර්ග්" කියන නගරය "ලෙනිං ග්‍රෑන්ඩ් " බවට පත්වුනේ..80 දශකයේ අග භාගයෙදි සිදුවූ "මිහායිල් ගොරබචොප්ගේ" ප්‍රජතන්ත්‍රවාදී ප්‍රථිසංස්කරණ වලින් පස්සේ නැවතත් "ලෙනිං ග්‍රෑන්ඩ් " නගරය "ශාන්ත පීටර්ස්බර්ග්" බවට පත්වුනේ,ලෙනිංගේ අති විශාල පිළිරුව කඩලා ඉවත් කරමින් සහ ශීතකරණයක බහා ජනතාවට නරඹන්න තිබුණ මෘත දේහයත් ඉවත් කරමින්.....
60 දශකයේ දවසක් ලෙනිං ග්රෑන්ඩ්වල තරුණයෙක්, ව්යපාරික කටයුත්තකට ව්ලැඩිවොස්ටොක් බලා යන්නේ තමගේ එම කටයුත්තට මාස ගනනක් ගතවෙන බව කලින්ම දැනගෙන තමයි.....මාස එකහමාරකට ආසන්න කාලයක් ගෙවාගෙන ඔහු නැගෙනහිර කෙළවරේ ව්ලැඩිවොස්ටොක් වලට ලඟා වෙනවා...පළමු දවස පුරා කෙසේ හෝ තමන්ගේ කාරණය ඉටු කරගෙන අහවර වෙනකොට රෑ බෝ වෙනවා.....නොදන්නා පලාතක ලෝකයේ විශාලම රටේ එහා කෙලවරේ රාත්රිය ගත කරන්න තැනක් හොයාගන්න එක හැටේ දශකයේ පහසු කටයුත්තක් නෙවෙයි.....ඉතා අතලොස්සක්වූ තානායම් වලත් ඉඩ නැති නිසා..ඔහු පාලු වීදියක ඇවිදගෙන යන්නේ නිවසක හෝ නවාතැන් ගන්න හැකිවේදෝයි බලාපොරොත්තුවෙන්......මධ්යම රාත්‍රියත් පසුවෙලා නිසා නිවෙස් හිමියන් සුව නින්දේ...දවස පුරා සමූහ ගොවිපොලවල්වල වෙහෙසෙන ඔවුන්, හැන්දෑවට හැමෝම එකතුවෙලා "වොඩ්කා" පානය කරල විනෝදවෙලා නින්දට යන එක සාමන්‍ය දෙයක්...බලාපොරොත්තු සුන්වුන මේ තරුණය, තවදුරටත් ඉදිරියටම ඇවිදගෙන යන්නේ වෙන විකල්පයක් නැති නිසා.....වීදි කෝනේ කුඩා පැල්පතක යාන්තමින් බාගෙට ඇරුණු දොර කවුලුවෙන් කුඩා පහන් එලියක් දකින ඔහු, එම නිවසේ සිටින තරුණ දියණියත්, මහළු මවගෙත් අවසරය ඉතා බැගෑපත්ව ඉල්ලාගෙන රාත්‍රිය පිලේ ගත කරන්න අවස්ථාව උදා කරගන්නවා......පසු දින පාන්දරම අවදිවී, තමන්ට කළ උදව්වට රූබල් කීපයකින් සංග්‍රහ කරන ඔහු, පිටත්ව යන්නේ ව්ලැඩිවොස්ටොක් දුම්රිය ස්ථානයට....ඊට මාස කීපයකට පස්සේ නැවතත එහි පැමිණෙන ඔහු, කෙළින්ම නවාතැන් ගන්නේ අර කලින් නිවසේම තමයි ...එදින ඔහුට ගෙය ඇතුලේ නිදන්න අවසර ලැබෙනව....වසරක් විතර යනකොට ඔහු තම ව්‍යාපාරික අරමුණ වෙනුවෙන් රටේ එහා කෙළවරේ සිට මෙහා කෙළවර පදිංචිය වෙනස් කරමින් එන්න තීරණය කරනව..........මේ විස්තරය තම ජීවිත කතාව ලෙස ලියන තරුණයෙක් ඊලගට කියනව මෙහෙම..."ඒ තරුණයා තමයි මගේ පියා....ඒ ඔහුට නවාතැන් දුන්න තරුණිය තමයි මගේ මව".......
ජීවිතය කියන්නේ හරියටම බැලුවොත් අහම්බයක්.....අපි හිතාගෙන ඉන්නේ නම් අපි හැම දේම ලස්සනට ප්ලෑන් කරල කරනවයි කියල...ඒ ප්ලෑන් ඔස්සේ අපි ගෙනයන්නෙත් අමුතුම රටාවකට.....ජීවිතේ සමහර දේවල් ඒ විදියට සිදුවුනේ කියල හිතල බලල තේරුම් ගන්න හදන එකත් කාලය නාස්ති වෙන මෝඩ වැඩක්.....
සංසාර ගමනෙදි අපි භව චක්‍රය එක්ක නිතර ගැවසුන කර්ම වේග සහිත පුද්ගලයන් ,අපේ නෑයන්,හිත මිතුරන් වගේම හතුරන් බවට පත්වෙන බව තමයි බුදුරදුන් දේශණා කරල තියෙන්නේ....ලේණ කුලේ ඉඳලම තමන් එක්ක එකටම සිටි යසෝධරාව, සිද්ධාර්ථයන්ගේ වැරදි ක්‍රියාවක් නිසා ඔහුගෙන් සංසාරය පුරා සමුගන්න තීරණය කරනව...මේ හේතුව නිසාම කල්ප ගනනක් යනතුරුම යසෝධරාවට -සිද්ධාර්ථයන් මග හැරෙනව..කුස ජාතකයේදි නැවතත් මේ ගැටුම නිරාකරණය වීමෙන් පස්සේ තමයි මේ දෙදෙනා එක්ව නැවතත් සංසාර ගමන අරඹන්නේ.......
මගේ ජීවිතේ ගත්තත් ඔබේ ජීවිතේ ගත්තත් මේ හැම දේම අහඹු සිදුවීම් පෙලක්.....මම අසනීපයකදි මගේ ලඟින් නිරතුරුව දිවි හිමියෙන් ඉන්නවා කියූ (“ ඔයා අසනීප වුනාම ලඟින් ඉඳං බලාගන්නවා චාමර අයියේ “ ) ප්‍රේමවන්තිය මේ වනකොට වෙන කෙනෙකුගෙ බිරිඳක්......ඇයට මගේ අසනීපය ගැන කිසිම ගනනක් නෑ...ඒත් කිසිදා නොදැකපු,නොසිතපු මිනිස්සු සිය ගනනක් මං ව්නුවෙන් කොන්දේසි විරහිතව ඉදිරිපත් වෙනවා......මගෙන් උදව් ලබපු සමහර අය තමන්ගේ උපකාරයන් වචනයන්ට පමණක් සීමා කරල සිටිද්දි,මගේන් වචනයකින් වත් උපකාරයක් නොලබපු බොහෝ පිරිස් මට උපකාර කරනව.....සමහරු "නන් අයුරින්" උපකාර කරන අතරේ තවත් සමහරු "Non අයුරින්" උපකාර කරනව...ඒක ලෝක ස්වභාවය බව මා දන්නා නිසා හැමෝම ගැන "උපේක්ෂාවෙන්" බලනව.....
මේ ඉර හඳ යට හමුවී
කථා කරපු අය
සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ..

අද නුඹ කොතනද අද මා කොතනද
දන්නේ නෑ නුඹ මටත් හොරා....
ජීවන මහ මග සටන් වැදී ඇත
නාදුනනා පෙම්වතුන් වෙලා...

දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා

පද ගෙත්තම : රඹුකන සිද්ධාර්ථ හිමි
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=gC6y3G2VpEs

 


 

Comments

  1. මොකක්ද බන් මේ ටිකක් පැහැදිලි කරපන් උබ ඇත්තටම ලෙඩ වෙලාද??

    ReplyDelete

Post a Comment

Popular Posts