ආරාම රෝපා වන රෝපා......
චීවර,පිණ්ඩපාත,සේනාසන,ගිලානපච්චය කියන්නේ බුදුන් විසින් භික්ෂූන් වෙනුවෙන් අනුදැන වදාළ සිවුපසය...
ඉහත ගාථා ඛණ්ඩයෙදි බුදුන් කියන්නේ "වනයක් රෝපණය කිරීම" ආරාම පූජාවකට සමානයි කියල...බුද්ධ කාලෙ සිටම විමුක්ති සුවය වෙනුවෙන් ජීවිත කැප කළ සුවහසක් මිනිසුන් ජීවත් වෙන්න තොරා ගත්තේ වනාන්තර....බුදුන් පවා පාරිලෙය්ය වනය, සින්සපා වනය, අන්ධ වනය ඇතුළු තවත් නොයෙක් වනභූමි වල විවේකයන් කල් ගෙව්වා....ගෞථම බුදු සසුනේ පළමු ශ්රාවකයා වුන කොන්ඩඤ්ඤ හිමි වගේම බුදු සසුනේ ආරක්ෂකයාවූ මහ කසුප් හිමියන්ගෙ මුලු ජීවිත කාලයන්ම ගෙවුනේ වනයේම තමයි....... මහා මාළිගා උරුම කරගත් බුදුන් ඉපදුනෙත් බුදුවුනෙත් පිරිනිව්නෙත් ගස් යටම තමයි.....
අතීතයේ ඉඳලම බටහිරටත් වඩා පෙරදිග මිනිසුන් ගහ කොලට ආදරය කරන බවක් පෙනුනා...බුදු දහම,ජෛන දහම,හින්දු දහම,ජපානයේ ෂින්ටෝ දහම වගේම කොරියාවේ සහ චීනයේ ජීවන පදනම වුන තාඕ දහම තුලිනුත් හැම වෙලේම ස්වාභාවිකත්වයට සමීප වීම ගැන ඉගැන්වීම් සිදුවීම මේකට හේතු වුනා...
ඒත් අවාසනාවකට වගේ පසු ගිය සියවස් කීපය තුළ යුරෝපයෙන් ඇරඹුන කාර්මික විප්ලවය වගේම හරිත විප්ලවය වගේ ඊනියා දියුණුවත් එක්ක මිනිස්සු ක්රමයෙන් පරිසරයෙන් ඈත් වෙන්න පටන් ගත්ත...පසුගිය දශක කීපයේ ලංකාවේ මිනිස්සුන්ට පෙන්වලා තිබුනෙ කොතනක හෝ ගස් ටික කපල බැකෝ යන්ත්රයක් යොදවලා පස් කපන එක "සංවර්ධනය" කියල...
බිරිතානි පාලන සමයේ අපේ රටේ මධ්ය කඳුකරය ,සබරගමුව,දුම්බර මිටියාවතෙන් පමණක් නොනැවතී දකුණු පළාත දක්වාම වැවිලි බෝග වැවීම නිසා වන සම්පත ශීඝ්රයෙන් අපිට අහිමි වුනා.....දුම්රිය සිල්පර සහ විදුලි කණු වෙනුවෙන් ෆයිනස් ,යුකැලිප්ටස් වගේ ගස් හිටවන්න ගත්තු නිසා සිදුවුන හානිය කිසිදා මුදලින් ගනනය කරන්න බෑ..බිරිතානින් අපේ රට හැර දාල ගියේ පරිසරයම හපයක් කරල.....බොහෝ බිරිතානින්ට අපේ රට විනෝද භූමියක් වුනා.....අහිංසක අලි ඇතුන් හත් දහසකටත් වඩා තනිවම ඝාතනය කළ බේකස් නම් "ඝාතකයාගේ නමින්" හෝටන් තැන්නේ තිබෙන දිය ඇල්ල නම් කිරීමෙන්ම නිදහස ලබා වසර හැත්තෑවකට පසුත් අපේ “ධීන භාවය” පෙන්නුම් කරනව...
නිදහසින් පසු ඇරඹි බොහෝ සංවර්ධන ව්යාපෘතීන් වලදි අපිට අහිමි වුන වන සම්පත් අති විශාලයි...ලෝකයේ අනෙක් බොහෝ රටවල එවැනි සංවර්ධන ව්යාපෘතී වලදී පරිසර හානිය අවම වන ලෙසින් ගස් වැල් වලට සිදුවන හානිය අවම වන ලෙසින් සිදු කලත් අපේ රටේ පවට පහළවූ "ඊනියා දියසෙන් කුමාරවරු" විසින් සංවර්ධන ව්යාපෘතී දියත් කරන්නේ වැඩිපුර ගස් ටිකක් කපාගන්න හැකිවන ලෙසයි...
මහවැලිය,ගම් උදාව පමණක් නොව පසු ගිය කාලේ හම්බන්තොට ආශ්රිත සිදුවුන බොහෝ සංවර්ධන ව්යාපෘතීන් වලදී නිසි පරිසර අධ්යන වර්තා මත පදනම් වෙලා කටයුතු නොකල බව මා පෞද්ගලිකව දන්නේ මා කලින් සේවය කළ පුත්තලම සිමෙන්ති කම්හලේ නිළධාරියකු ලෙස ඉහත සියලුම භූමින් වලට බොහෝ වාර ගනනක් ගොස් ඇති නිසා...
අද වන විට මුලු රටටම “මහා ඛේදවාචයක්” වෙලා තියෙන මහ දවල් සිදු කෙරෙන "විල්පත්තු වන සංහාරය" පසු ගිය රජය සමයේ ඇරඹී වත්මන් රජයේ ආශිර්වාදයෙන් කෙරීගෙන යන බව අපේ රටේ ජනාධිපතිගෙ සිටම දන්නව වුනත් කිසිම ගානක් නැතුව ඉන්න හැටි දැක්කම නම් හිතෙන්නේ "ලාංකික අපි කොතරම් අවාසනාවන්තද? "කියල...ඒකටම හරියන NGO නඩයක් සහ ඊනියා මධ්යවේදෙන් කියා ගන්නා කණ්ඩායමක් ඒ මහා විනාශය සාධාරණීකරනය කරන හැටි දැක්කම හිතෙන්නේ එයාල ලඟදීම අඟහරු වල පදිංචි වෙන්න හිතාගෙන ඉන්නවද කියල.....
කොහොම උනත් දැං ඉතින් ඔව්ව ගැන කතා කරල වැඩක් නෑ......
අපි, අපිට හැකි දේ වත් කරමු.....!
අතීතයේ ඉදලම මී ගස කියන්නේ අපේ මුතුන් මිත්තන් හොඳින් හඳුනාගෙන තිබුන වටිනා ගසක්….
මී ගසේ හැදෙන ගෙඩි ආහාරයට ගන්නා වවුලන් විසින් හෙලනු ලබන බෙටි ඒ වගේම පස ඉතා සාරවත් කරන පොහොරක් වග ඔවුන් දැන සිටි නිසා කුඹුරු ආශ්රිතව මී ගස් සිටුවීම ඔවුන් පුරුද්දක් කරගෙන හිටියා..
මීගොඩ,මීපේ,මීමුරේ,මීගහතැන්න,මීපිලිමාන,මීවන පලාන,මීතලාව ඇතුළු තවත් බොහෝ ග්රාම නාම නිර්මාණය වුනේ මේ නිසාමයි......ඒත් කාලයාගේ ඇවෑමෙන් මේ මී ගස් වඳ වීමත් එක්කම වවුල් ගහණයත් අඩු වෙන්න පටන් ගත්ත.... බටහිර දැනුමෙන් උදම්වෙලා පාරම්පරික දැනුම බැහැර කළ අපේ රටේ "ඊනියා විද්වත්තු" මී ගස් ඉවත් කරල ඒ වෙනුවට "සංක්රමණික ශාඛයන්වූ" ඇකේශියා,ඉපිල් ඉපිල්, පිහිඹියා හිටවන්න පටන් ගත්ත.....ඇකේශියා මල් පැණි බොන්න පටන් ගත්තු මී මැස්සෝ වඳ වෙන්න පටන් ගත්තෙ මුළු පරිසර සමතුළිතතාවම බිඳ හෙලමින්.....
අපේ මිනිස්සු මේ අලුත් දේවල් පස්සෙ ගිහිං තමන්ගෙම "අක්- මුල් සිඳ ගත්තත්" අද වෙනකොට ඇමෙරිකානු රාජ්ය වන සම්පත් සහ පරිසර අංශය ඇමෙරිකාවේ ප්රාන්ත කීපයකම මී ගස් අක්කර දහස් ගනනින් වවන බව ඔවුන්ගෙ නිළ වෙබ් අඩවියට ගියාම දැක ගන්න පුලිවන්...සමහර ප්රාන්ත වල වවුලන් මිලියන ගනනින් ඉන්න විශාල ගුහාවන් "අධි රක්ෂිතයන්" බවට පත් කරල තියෙන්නේ අපේ අතීත මුතුන් මිත්තො දැන සිටි “මී ගසේත්-මහ වවුලන්ගෙත් එකමුතුකමින් ගොඩ නැගෙන පරිසර පද්ධතිය” ගැන ඔවුන්ටත් දැන ගන්න ලැබුන නිසාම වෙන්න ඇති....
බටහිර රටවල් අද වෙනකොට තමන්ගේ උපරිම ශක්තියෙන් ගස් සිටුවීම කරගෙන යනවා....ඒ විතරක් නෙවෙයි බුරුමය,නේපාලය,තායිලන්තය,වියට්නාමය වගේ රටවල් පවා ගස් ගැන දක්වන්නේ පුදුම සැළකිල්ලක්...
වියට්නාම්යේ දෙවැනි අග නුවර වන “හෝ චි මිං සිටි” කියන්නේ මහා රූස්ස ගස් වලින් පිරුනු “හරිත නගරයක්”...නේපාලයේ භූතානයේ පවා සමහර මහා විශාල ගස් කපද්දි හෙලිකොප්ටර් පවා යොදා ගන්නේ අනෙක් කුඩා ගස් වලට සිදුවන හානිය අවම කරන්න...අපේ රට නම් කවදා එතනට එවිද ?
මම කුඩා කලෙ ඉඳලම ගස් වලට ආදරේ කලා...පස්සේ තරුණ කාලෙදිත් ලංකාවේ බොහෝ වනාන්තර වල දින ගනන් නැවතිලා අමුතුම ආශ්වාදයක් ලබපු නිසා මට හැකි අයුරින් වටිනා කියන ගස් වර්ග බොහෝමයක් සිටුවා අනාගත පරපුර එනුවෙන් රැක බලාගන්න හැකිවුනා...
තේක්ක,බුරුත,නැදුන්,හල්මිල්ල,මිල්ල,කොස්,හොර ඇතුළු හැම වර්ගයකින්ම ගස් කීපය බැගින් මම මගේ ඉඩමේ සිටෙව්වේ අඩුම තරමින් අනාගත පරපුරට දැක ගන්නවත් ලැබෙවි කියලා....
අපේ රටේ දේශපාලකයෝ කවදාවත් අපි වෙනුවෙන් ගස් සිටුවයි කියල නම් හිතාගෙන ඉඳල පසු තැවෙන්න එපා..තියෙන විල්පත්තුවත් කපනව මිසක්......
ඉහත බුදුන්ගේ අවවාදය ගැන සහ අපේම අනාගත පරපුරේ ඔක්සිජන් අවශ්යතාව ගැන හිතල අපිට පුළුවන් විදියට එක ගහක්වත් හිටවන්න බලමු..නැතිනම් අපිට අනාගතේ ඉතිරි වෙන්නේ පසු තැවීමක්ම විතරයි......
අඩුම තරමින් අපි හැමෝම එකම එක මී පැලයක් හෝ කුඹුක් පැලයක් සිටුවලා පරිසරය වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු......!
අඩුම තරමේ සේනාසන පූජාවක් කලා කියල අවසන් මොහොතේ හෝ මතක් වේවිනේ......
---------- චාමර වන්නිආරච්චි -----------
Comments
Post a Comment