මා භෞතිකවාදියෙක් නොවූයේ ඇයි ?


කාල් මාක්ස් නම් පඬිවරයා "ආගම අබිං" යයි කීවේ බුදු දහම හදාරා නොවේ.ඔහු සිතුවේ එය තවත් එක් ඊශ්වර මැවුම්වාදී විශ්වාසයක් ලෙසයි.ඔහු පටිච්ඡ සමුප්පාදය දැන සිටියානම් එසේ නොකියනු ඇත.
සත්ත්ව පුද්ගල භාවයක් තුල පවතින ආත්මයක් ඇතැයි යන ආත්ම දෘෂ්ඨියෙන් මත්වූ අන්ධබාල පෘථග්ජනයාට කවදා නම් මේ ලෝක සත්ත්ය වටහා ගනු හැකිවේද ?
සංසාරයේ පැවැත්ම යනු පංච උපාදානස්කන්ධයන්ගේ නිරන්තර ඇතිවීම සහ නැතිවීම බව තේරුම් ගැනීම එසේ මෙසේ දෙයක් නොවේ..... සත්ත්වයෙක් ඇතැයිද එම සත්තවයා පංති බේදය නම්වූ සංදර්භය තුළ ක්රීයාත්මක වන්නේයැයි කියනු ලබන මාක්ස් පඬිවරයාගේ න්යායේ ආරම්භක උපකල්පනයම මිත්යාවකි.
ත්රිපිටකයේ පළමු වන සූත්රය වන දීඝ නිකායේ බ්රහ්මජාල සූත්රදයේදී බුදුන් කීවේ ලෝකයේ කිසිවෙක් මේ යථාභූත ස්වාභාවය නිසි ආකාරයෙන් දන්නවානම් මෙලෙසින් නොහැසිරෙන බවත් ඔවුන්ගේ නොදැනුවත් කමේ ඇති අසරණ බව නිසාම තමන් විසින් මවා ගත් සිහින ලෝක තුළ ජීවත් වන බවත්ය.....භෞතිකවාදීව ලෝකය දකින බොහෝ දෙනා තම අවසන් මොහොතේදී තමනට ජීවිත කාලය පුරාම වැරදී ඇති බව තේරුම් ගන්නා නමුත් ඒ වන විට ඔවුන් ප්රමාද වැඩි බව බුදුන් දේශනා කලේ ඔවුන් කෙරෙනි හටගත් අසීමිත මහා කරුණාව නිසාවෙන්මය. කන් වලින් ආවරණය වීම නිසා මහා හස්ති රාජයෙකුට කිසිදා තම ශරීරයේ විශාලත්වය ගැන නිසි අවබෝධයක් නොලැබෙන නමුත්, තම අවසන් මොහොතේදී විඤ්ඤාන ධාතුව සිරුරෙන් නිරුද්ධ වෙද්දී තමන්ගේ ශරීරයේ සැබෑ විශාලත්වයත් තේරුම් ගොස් "අනේ මට මේ තරම් ශක්තියක් තිබුන බව කලින් දැනගෙන සිටියානම් " යනුවෙන් පසු තැවෙන අයුරින්ම තම අවසන් මොහොතේ අන්ධබාල පෘථග්ජනයාට පසුතැවෙන බව බුදුන් දෙසා ඇත…
මගේ ජීවිතයේද වයස අවුරුදු 24 ක් වනතුරුම මාද දැඩි භෞතිකවාදියෙකු විය.....අපේ පාසලේ 10 සහ 11 වසර වලදී අපට සිංහල ඉගැන්වූ මොහොමඩ් ලතීෆ් ගුරුතුමා බොහෝ කාලයක් රිච්මන්ඩ් විදුහලේ ගුරුවරයකුවූ ඒබ්රහම්.ටී කොවුර් ගේ අතිජාත ගෝලයෙකි...සිංහල පාඩමේ ගම්පෙරළියේ හිරි ගල් දේවාලය ගැන කියන විට ඔහු උපහාසයෙන් අපිට කීවේ "ඔව්වට හොඳම උත්තර දුන්නේ කොවුර් සර් තමයි ළමයිනේ" යනුවෙනි...ඔහු කොතරම් හේතුවාදියෙක් වුවත් සෑම සිකුරාදා දිනකම අපේ පාසල ආසන්නයේ පිහිටි කලුවැල්ලේ මුස්ලිම් පල්ලියට යාමට අමතක නොකලේය....එවකට ඔහු සහ කොවුර් මටද වීරයෙක් විය....
සරසවි අධ්යාපනය අරඹන විටම මා තව දුරටත් භෞතිකවාදියෙක්ම විය....පෙරටුගාමී පක්ෂයේ "පුබුදු ජයගොඩ" සහෝදරයා අපේ සරසවියේ ජේෂ්ඨ සිසුවෙකි...ඔහුට අපි කීවේ "ලසිත් අයියා" ලෙස වුවත් එවකටත් "මොලේ පෑදී තිබූ" බහුතරයක් සිසුන් ඔහු හැදින්වූයේ "ගැටලුවා" ලෙසයි...එයට හේතු වූයේ ඔහු යන යන තැන ගැටලු ඇති කරන නිසාවෙනි....කෙසේ වෙතත් මාද "ගැටලුවාගේ සුරංගනා කතා " වලට වශීවී සිටියේය...ගැටලුවාගේ කතා ඇසූ අප "අන්තරයට" සහාය දැක්වීය.....පෝස්ටර් ගෙන ඒමට ජ’පුරට අපි ගියේ රත්තණපිටියේ පැත්තේ "කුරු බිලියෙනි".....2001 පෙබරවාරී 08 වනදා කැලණිය සරසවියේ සිට UGC එකට දියත් කිරීමට නියමිතවූ මහා විරොධතා පාගමනට අදාළ පෝස්ටර් ඇලවීම වෙනුවෙන් අපි කණ්ඩායමක් පිටත්වූයේ අපිට අලුත්ගම සිට කටුබැද්ද හන්දිය දක්වා කොටස බාරව තිබූ බැවිනි.....කරාටේ පංතියක පෝස්ටර් වසා දැමුවායැයි කියා එල්ලවූ චෝදනාවෙන් අපි ගුටි නොකා අලුත්ගමදී බේරුනේ 99 නි.... සමාජවාදී ශිෂ්ය සංගමයේ අනුග්රහයෙන් "හිමිදිරියට පෙර" නමින් අපි කළා උලෙලක් සංවිධානය කලෙමු...මෙහි යටි අදහස වූයේ හුදෙක් කලාව ඔප්නැංවීම නොව ඊලඟ සරසවි නිල වරණයේදී බලය ලබා ගැනීමයි.....මේවාට අදාළ රැස්වීම් සහ සාකච්ඡා වලදී සෑම විටම කියවුනේ "බුදුන් යනු ධනේශ්වර පංතියේ ප්රතිගාමී අදහස් ඇත්තෙකු” බවයි...අවාසනාවට මේවාට කැලණිය සහ ජපුරෙන් භික්ෂූන්ද පැමිණ සිටියහ...ඔවුන්ද සරණ ගොස් තිබුනේ කාල් මාක්ස් විනා බුදුන් නොවේ...සරසවි උප සන්ස්කෘතිය තුළ තිබෙන බොහෝ "අසභ්ය කවි" මගින්ද සියුම්ව උපහාසයට ලක් කරන්නේ බුදුන්ම බව දන්නෝ දනිති....ලෝවැඩ සඟරාවේ,ගුත්තිලයේ,සැළලිහිණි සංදේශයේ කවි ඔවුන් කුණු හර්ප බවට පෙරලා ඇති බව දන්නෝ දනිති....
එවකට අන්තරයේ කැදවුම් කරු වූයේ චමීර කොස්වත්ත සහෝදරයාය...දිනක් ඔහුගෙන් සෘජුවම ප්රශ්න කල බැවින් මා හිතවත් "අන්දරේ සහෝදරයාට" අනෙක් "සමාජවාදීන්ගෙන්" තර්ජන පවා එල්ලවිය..... කාලයාගේ ඇවෑමෙන් මට වැරදී ඇති බව තේරුම් යන්නට විය...කුමක් හෝ වාසනාවකට මට කාල් මාක්ස් සහ කොවුර්ගෙන් මිදී නැවතත් බුදුන් සොය ගැනීමට හැකිවිය...මා අසරණයකු බව හොඳින්ම දන්නා බුදුන් මට සමාව දෙන ලදී....තමනට ගල් පෙරලූ දේවදත්තයනටත් "සුවපත් වේවා ! " යනුවෙන් නොකිළිටි සිතින් කියූ බුදුනට මට සමාව දීම ප්රශ්නයක් නොවීය.... ගොල්ගොදාවේ කුරුස කන්දේදී ඇණ ගැසූ ජේසුස් වහන්සේ, අහස දෙස බලා කීවේ..."පියාණෙනි,මොවුන් නොදැන කරන්නාවූ වරදට මොවුනට සමා කළ මැනැව" යනුවෙනි...එවැන්නෙක් සතු වූ මෛත්රීය කොපමණ දැයි ප්රමාණ කළ හැකිද ?
තම අයිතිවාසිකම් වෙනුවෙන් තරුණයන් සටන් කිරීමේ කිසිදු වරදක් නැත....ගැටලුව ඇත්තේ එවැනි අරමුණු ඔස්සේ යාමේදී තම ආධ්යාත්මය අහිමි නොකරගෙන කටයුතු කල යුතු බව තේරුම් ගැනීමයි.....
පිළිකා රෝගයෙන් අසාධ්යව මහරගම සිටියදීත්,ඉන් පසු අවස්ථා ගනනකදීත් මා අසරණ වූ කළ මට පිහිටට සිටියේ බුදුන් පෙන්වා දුන් විමුක්ති මාර්ගයම පමණි...කොතරම් සවි ශක්තියෙන් යුක්තවූවෙක් වුවත් “කෙසෙල් කදන් කපා බිම හෙලන” අයුරින් කඩා වැටෙන අවස්ථාවන් හටගනී.....තමන් කොතරම් ඇත්තටම ශක්තිමත් දැයි තමනටම මැන ගැනීමට එවැනි අවස්ථා යොදා ගත හැකිය...සියල්ල නිත්ය යැයි සිතා "ණයට ගෙන හෝ ගිතෙල් කාපල්ලා " යැයි කියූ අජිත කේසකම්බලද අවසන් මොහොතේ ලේ වමනය කොට දුක් විද මරණයට පත්වූ ආකාරය පිටකයේ සඳහන්ව ඇත....
තමනට ආත්ම ශක්තිය නොමැති මිනිසුන් දෙවියන් බුදුන් සරණ යන “දුර්වලයන්” යැයි කෙනෙකුට කීමේ අයිතියක් ඇත......එහෙත් ඔවුන් සිතිය යුත්තේ තමනට මෙන් මහා ආත්ම ශක්තියක් එම “අසරණයන්ට” නොමැති බවයි.......එසේ හෙයින් එම අසරණයන්ගේ විශ්වාසයන්ට “පහර ගැසීම” වැදගත් සමාජයේ මිනිසුන් නොකරන්නෙකි......තමන්ගේ විශ්වාසය තුල සිට්නවා විනා අනුන්ගේ සීනි කිරීමට යන්නේ කුමකටද ?
බටහිර උපදේශණයේදී උගන්වන්නේ මිනිසුන්ගේ දුක් ගැනවිලි කියා සිත නිදහස් කර ගැනීමට ඔවුනට අවස්ථාව ලබා දීමෙන් බොහෝ මානසික ගැටලු සුව වන බවයි..."මානසික විරේචනය” ලෙස මෙය හදුන්වයි....අනාදිමත් කාලයක් තිස්සේ "දේවාල, කෝවිල්" තුලට වී මිනිසුන් තම දුක දෙවියන්ට කීමෙන් සිදු කර ඇත්තේ මෙයම නොවේද ? එය “පොෂ් මදි” බැවින් අපි එවැනි දේ ප්රතික්ෂේප කරනවාද ?
බොහෝ රටවල නිරාගමිකයන් යනු වැදගත්, උගත්, බුද්ධිමත් පිරිසකි..ඔවුන් කිසිදා අනෙක් මිනිසුන්ගේ විශ්වාසයන්ට පහර නොගසති..අවාසනාවට අපේ රටේ නිරාගමිකයන් නම් අනෙක් මිනිසුන්ගේ විශ්වාසයන්ට පහර ගැසීමෙන් "කාලකන්නි රසාස්වාදයක්” ලබති .........මිනිසුන් රංගනයේ යෙදෙන්නේ ඉතාම කෙටි කාලයකි..ඔවුනට ඇත්තට මුහුණ දීමට සිදුවන කාලයක් පැමිණෙනු ඇත......
රුසියාවේ මහා ධනපතියෙකුගේ පුතෙකුවූ ලියෝ ටෝල්ස්ටෝයිට අවසානයේ සීතලේ වෙව්ලමින් මිය යාමට සිදුවූයේ “ඇස්ටපෝව්” දුම්රිය ස්ථානයේ බංකුවක් මතදීය...අපිට කවදා කුමක් සිදුවේදැයි කවුරුන් නම් දනීද ??
-- චාමර වන්නිආරච්චි ---

Comments

Popular Posts