යමු යමු යමු අපි ඇවිද යමු ප්රේමියේ....

ස්ත්රී පුරුෂ සම්බෝගය එහෙම් නැතිනම් ලෝකාස්වාදය කියන්නේ විශ්වයේ මිනිසා ඇතුලු අනෙක් සතුන් බිහිවූ දා සිටම ලෝකයේ පැවැත්ම උදෙසා සොබා දහම ඇට්වූ අමුතුම උගුලක්.....ඒක හරියට ඇටේ පැල කරවන්න ඕන කමට පළතුරක වටේට රසවත් කොටසක් එක් කලා වගේමයි.......වටේ තියෙන පලයට රැවටෙන කුරුල්ලො කාටත් නොදැනීම බීජය ව්යාප්ත කරනව....බටහිර ජීව විද්යාවෙන් කිව්වොත් නම් DNA/RNA ටික පවත්වා ගැනීම තමයි සොබා දහමේ අරමුණ.......අවසනදී අපි හැමෝම සොබා දහමට "දාස බාවයට" පත්වෙනව.....බුදුන් එය හැදින්වුවේ "මාර බන්ධනය" කියල....දස මාර සේනාවන්ගේ පලමුවෙනි සේනාවත් "කාමය"...කාමාථේ පඨමා සේනා දුතියා අරථි වුච්චති....කියලයි අලගද්දූපම සූත්රයේ කියන්නේ....බයිබලයේ උත්පත්ති කතාව කියෙව්වත් එහි අදහසත් ටිකක් දුරට සමානයි...ආදම් සහ ඒව තහනම් ගහේ ගෙඩි කෑම.... කාල් මාක්ස් දාස් කැපිටාල් වල පන්ති භේදයක් ගැන කියනව හේගල් ගේ රූපික න්යාය අනුසාරයෙන්...ඒත් මම නම් හිතන්නේ ලෝකය එච්චර සංකීර්ණ කරගන්න ඕන නැහැ කියල.... ඉතිං මේ ස්ත්රී පුරුෂ ආසක්ත බව කියන මානව හැඟීමට කිසිම භේදයක් නැහැ....ජාති,ආගම්,කුල,ධනපති-නිර්ධන ආදී වශයෙන්...ඒත් පසුකාලීනව සංස්කෘතිය විසින් විවිධ සීමාවන් පනවා ගෙන තියෙනව…යමක් කමක් තියෙන මිනිස්සු ප්රේම කරන්න ලෝකයේ ලස්සන තැන් වලට යන අතරෙ කිසිම දෙයක් නැති මිනිස්සු බස් එකේ පස්සේ සීට් එක යොදා ගන්නව.....

ප්රේමවන්තයෙක් ලෙස 1999 සිට 2003 දක්වා සිටි මම නම් නිතර ගිය තැනක් වුනේ ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උධ්යානය...ඒක සුන්දර තැනක්…. අයිනෙන් අත්තනගලු ඔය ගලාගෙන යනව....පේරාදෙණිය හග්ගල හැරුනාම ලංකාවේ තියෙන තුන්වැනි උද්භිද උධ්යානය.... උසස් අධ්යාපනය වෙනුවෙන් මම නැවතිලා හිටියේ මොරටුව සරසවියේ ඉදිරියේ තියෙන වීර පුරන්අප්පු ගමේ බෝඩිමක....හොස්ටල් එකේ ඉන්න එක කරදරයි..... … ඇය මගේ පාසල් මිතුරෙකුගේ නැගනියක්....පියාගේ රැකියා ස්ථාන මාරුවත් එක්ක ඔවුන් ගාල්ල අත හැරලා අලුතින් පදිංචිවෙලා හිටියේ රද්දොලුගම ආසන්නයේ කොටුගොඩ නැදගමුව කියන ප්රදේශයේ.. ප්රේමවන්තිය හමුවෙන්න මට අවස්ථාව ලැබෙන්නේ මාස හතරකට විතර සැරයක්…...

අවස්ථාව ලැබුන දවසට අනෙක් සියලුම වැඩ පසෙක දමන මම කටුබැද්ද හංදියෙන් බස් එකකට නගින්නේ උදේ පාන්දර...පිට කොටුවෙන් අංක 05 පාරේ බස් එකක නැගලා කොටුගොඩ බැහැලා ඊට පස්සේ එතනින් තවත් බස් එකක් අරං නැදගමුවට යනව...ඊට පස්සේ අපි දෙන්නම නැදගමුවෙන් පිටත්වෙලා හෙනරත්ගොඩට යනකොට දවල් එකොලහ විතර වෙලා.....ගිනි අව්වේ පයින්ම ඇවිදගෙන පාක් එකට යනකොට හොදටම දාඩිය දාලා.. හිරු තාපය කොච්චරද කියනව නම් තාර දියවෙලා පාරේ තියෙන කහ ඉරිත් රැලි වැටිලා....මෙහෙම යනකොට අලුත්ම කාර් වල නැගල ඇය දිහා බැල්ම දාපු තවත් පිරිමින් නොසිටියා නොවෙයි....ඈය ඒ තරම්ම සුන්දර ලලනාවක්...ඒත් ඒ කාලෙදි ඇය ඒවට රැවටුනේ නැහැ.... දවල් කාලයට වලාකුලුත් ඉරිතැලෙන තරමට රස්නෙයි ගම්පහ නගරය...ඒත් ඉතිං අපිට තිබුන එකම උඩු වියනත් ඒ වලාකුලු විතරමයි.....ඇය පාර දෙපැත්ත බල බල "ඉක්මනින් යමු චාමර අයියේ" කියල කියන්නේ කවුරුහරි දැකල ගිහින් ඇයගේ පියාට කියාවි කියන බයෙන්....හැම තැනම විදුලි ඇස් වගේ මිනිස්සු බලාගෙන ඉන්නව.....ඒ මදිවට කලු පාට තාර පාර හරිම රස්නෙයි....

කොහොමවුනත් මේ කාලයේ three wheeler හයර් කරන්න තරම් මුදලක් අතේ තිබුනෙ නැති නිසා ඉතිං අව්වේම රත්වුන තාර පාරවල් දිගේ ඇවිද ගෙන යන්න සිදුවුනා... ඒ මදිවට වාහන වේගයෙන් යනකොට ඇවිස්සෙන දූවිල්ල........එක දවසක් ඇයට බේබි වූල් ගන්න මහ දවාලේ ගම්පහ ටවුමේ ගිනි රස්නෙත් එක්ක ඇවිද්ද හැටි මතකයි.........පාක් එකේ ඉන්න ලබෙන්නේ පැයක් විතර තමයි මොකද ඇයට ගෙදරින් අවසර දීල තිබුනෙ ඉතාම කෙටි කාලයකට පමණයි..... පැයක් වගේ කෙටි වේලාවක් ඇයත් සමග ඉන්න මම මුලු දවසෙම කාපු කට්ට මතක් වෙනකොට නම් තනියම හිනාත් යනව...... ඒත් පුංචි වේලාවකට සිතට දැනෙන ආස්වාදයක් වෙනුවෙන් මේ සංසාර සත්ත්වයා සොබා දහමට දාස භාවයට පත්වෙලා කඹුරන හැටි එදා මට තේරුනේ නැහැ.....වසර හතරකට පස්සේ ඇයගේම තනි වුවමනාවට මා හැර යද්දි මම මහා දුකින් තැවුනේ මම වසර හතරක් පුරාම කාපු කට්ට වතුරේ ගිය නිසා…..ඒ සත්ත්ය එදා මට නොවැටහුන නිසා..ඒත් කාලායේ ඇවෑමෙන් මට බුදුන් හමුවුන දවසේ ඇතිවුන සතුට අපමණයි.....”චාමර,ඔබ දාසභාවයෙන් මිදුනා......දැන් ඔබ නිදහස් මිනිසෙක්...දැන් ඔබට බැදීම් වලින් නිදහස් වෙන්න පහසුයි”......ඒ ගෞතමයන්ගේ හඬ.......

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්රේමියේ....
සිවු දෙසින් හමා එන මොටෝ රථ රඟ සෙනග රවටමින්.....

වට පිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවි....
නොරැවටී යන්න යමු කහ ඉරෙන් එතෙරවීලා.....

රිය පෙලේ කිරුළු හිමි රජ වරුන් අත වනාවි....
බිම බලන් යන්න යමු කහ ඉරත් රැලි වැටිලා....


පද ගෙත්තම : සමන් ආතාවුදහෙට්ටි
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=GedEULp8smo

 

Comments

Popular Posts