මං නිදි පැදුරේ.....

හුදෙකලාව කියන එක දෙ ආකාරයි..එකක් තමන් කැමැත්තෙන් ලබන හුදෙකලාව...අනෙක බලහත්කාරයෙන් විඳින්නට සිදුවෙන හුදෙකලාව...... කාලෙකට කලිං ලංකාව පුරා වනගතව හුදෙකලාව ඉන්න කැමැති භික්ෂූන් හමුවෙන්න යන එක මගේ එකම විනෝදාංශය වුනා....Annual Leave දාලා දවස් කීපයකට ගෙදරින් පිට වුනාම ආපහු එන්නේ කැලේ දවසක් දෙකක් ගත කරල..ඒ ගමන් වලදි මට බොහෝ දුර්ලභ පැවිද්දන් වගේම ගිහියනුත් හදුනා ගන්න ලැබුනා.....මම නිතරම ගිය ප්රදේශයක් තමයි වස්ගමුව වනෝද්යානයට මායිම්වූ ලග්ගල ,හසලක,පල්ලේගම වගේ කැලෑවන්.... ලේල් ඔය කියන දුෂ්කර ගමේදි මට හමුවුන පුංචි බණ්ඩා මහතා තමයි මගේ කැලෑ ගමන් වලට උදවු කලේ......

ඩෙන්මාක ගුවන් සේවයේ ගුවන් නියමු තනතුරක් අත හැරල දාල ඇවිත් ලේල් ඔය ඉදන් 13km ක් කැලේ ඇතුලෙ වැඩ ඉන්න ඩෙන්මාර්ක් ජාතික ඤාණදීප හිමියනුත් , ඕක්ලන්ඩ් සරසවියේ වෛද්ය උපාධිය අත හැරල දාල ඇවිත් 4km ක් කැලේ ඇතුලෙ වැඩ ඉන්න නවසීලන්ත ජාතික ගුත්තසීල හිමියනුත් ඒ අතුරින් විශේෂයි.. ගුත්තසීල හිමිත් සමග මී මුරේ කුටි පූජාවකට ගිය එක නම් හරිම දුෂ්කර වගේම සුන්දර අත්දැකීමක්...... මහරහතුන් වැඩි මග ඔස්සේ ලිපි ලියපු රාජගිරියේ අරියඤාණ හිමි ජනමාධ්ය වල පෙනී සිටින්න කලින් මට මුලින්ම හමුවුනේ 2011 දි බූන්දල වනෝද්යානයේ හුදෙකලාව ඉන්නකොට..... අලි දිවි වලසුන් පිරැණු ඝන වනාන්තරේට වෙලා තට්ට තනියම උන්වහන්සේලා ඉන්න හැටි දැක්කම ඔනෑම කෙනෙකුට මහා පුදුමයක් දැනුනත් සීලවන්තයන් සීලය විසින්ම රකින බව දන්නා අයට එය අරුමයක් නෙවෙයි.....මගේ ජීවිතෙත් මම ඒ සොඳුරු හුදෙකලාව(ideal solitidue) ප්‍රිය කළ කෙනෙක්.....ඇත්තටම කිව්වොත් අපිට කොතරම් බැදීම් තිබුනත් මේ ඉමක් කොනක් නොපෙනෙන අනවරාග්‍ර සංසාර ගමනෙදි අපි තනිවෙලා තමයි ඉන්නේ.....මොකද අවසන් මොහොතට අපිට මුහුණ දෙන්න වෙන්නෙ "තට්ට තනියම" නිසා....

එක් වරක් මා ඊසාන දිග ඉන්දියාවේ සංචාරය කරන කොට ගොරක්පූර් වලට නුදුරින් පිහිටි ගයා ශීර්ෂයට යන්න අවස්ථාව ලැබුණ..ගයා ශීර්ෂය අතීතයේ බුදුන් වැඩ සිටි සුන්දර ගම්මානය බොහෝ දුරට නොවෙනස්ව අදටත් පවතිනව...සේනානි නියම් ගම..අනෝමා නදිය වගේම සුජාතාවන් කිරි පිඬු පූජා කල කුඹුරු යාය දකින්න ගියාම මට මතක් වුනේ එදා බෝසතානන් වහන්සේ මේ ඉස්සව්වෙදි ගෙවූ හුදෙකලා නිරාමිස ජීවිතය කොයිතරම් නම් සුන්දරද කියල...ඒත් ගිම්හාන කාලේ නිසා අනෝමා නදිය සිඳිල.... දැවැන්ත බ්රහ්ම පුත්ර නදිය හැරුනාම ඉන්දියාවේ අනෙක් සියලුම නදීන්ට තියෙන්නෙ කාන්තාවන්ගෙ නම්...ගංගා,යමුනා,අචිරවති,සරභූ,නර්මදා,අනෝමා,නේරංජනා,ගෝදාවරි,සබර්මති,රෝහිනී ආදී වශයෙන්..... හිමාලයේ ඊසාන දිගින් ඇරඹිලා සැඩ පහර නංවමින් ටිකක් "නොසන්ඩාල" ලෙස හැසිරෙන නිසා බ්රහ්ම පුත්ර නදියට පිරිමි නමක් දැම්මා වෙන්නත් පුලුවන්....

විනය ප්රශනයක්ට භික්ශූන් දෙපිලකට බෙදිල කෝල හාල කරගත්ත වෙලාවේ බුදුන් කාටත් නොකියා පාරිලෙයිය වනයට පිටමං වෙලා යනව.....ආනන්ද හිමියන පස්සෙන් යනව...."ආනන්ද,මම යන මාවතේ යොදුනක් දුරට ඉදිරියෙනුත් පසුපසිනුත් එක මිනිහෙක් වත් එන්නේ නැතිනම් මම ඒ තරම් සතුටුයි...මොකද එතකොට මට නිදහසේ වැසිකිළි කැසිකිළි යන්නවත් පුලුවන්"......ආනන්ද හිමි ආපසු හැරිල යනව.....පාරිලෙයිය වනයේ හුදෙකලා විවේකයෙන් ඉන්න බුදුන්ට උපස්ථාන කරන්නේ "පාරි ලෙයිය ඇතා"..... කැලේ ඉන්න වදුරෙක් මේ සිද්ධිය දැකලා බුදුන්ට උපස්ථාන කරන්න උත්සාහ කලත් ඌ බුදුන් ලඟටම එනකොට ඇතා ඌව එලවල දානව........ඒත් එක දවසක් ඇතා නොමැති වෙලාවක ඒ වදුරා බුදුන්ට මී වදයක් ගෙනත් දෙනව....ඌට අනුග්රහ පිණිස බුදුන් එය පිළිගන්නව.....එයින් ඒ වදුරා කොයිතරම් සතුටු වුනාද කිව්වොත් "ජොලිය වැඩිවෙලා" නටන්න ගිහින් ගලක් පල්ලෙ වැටිල එතනම මැරෙනව.....වහාම දිව්ය තලයක් උපදින ඔහු අරඹයා බුදුන් දහම් දෙසනව.....

සූත්ර පිටකයේ බොහෝ සූත්ර වලදි බුදුන් හුදෙකලා විවේකය අනුදැන වදාරල තියෙනව... සංයුත්ත නිකායේ අනුරුද්ධ සූත්රය,භද්දේකරත්ත සූත්රය,සනමාන සූත්රය ඉන් කීපයක්...

සංසාර විමුක්තිය සොයන යෝගාවචරයන්ට හුදෙකලාව සුවයක් වුනත් කෙලෙස් සහිත පෘථග්ජනයන්ට නම් හුදෙකලාව දරා ගන්න බැරි වේදනාවක්.......

කාත් කවුරුවත්ම නැති සරල ජීවිතයක් ගෙවූ ගොවි තරුණයෙක් හුදෙකලාව නැති කරගන්න ගෙවි ලියක් ගෙදරට කැන්දාගෙන එනව.....ඔහුගේ ජීවිතය කෙටි කලට බොහෝ සුන්දර තැනක් බවට පත්වුනත් නොබෝ කලකින්ම ඒ සතුට ඔහුටත් නොකියා එක්තරා හැන්දෑවක පෑල දොරින් පිටමං වෙලා යනව. හයියෙන් වැස්ස වැටුන දවසකට පස්සේ දවසේ උදේ පරිසරය හරිම පැහැදිලියි.....ඒ වගේ දවසක ගස් අතුරින් "ඉරි ඉරි"වගේ හිරු එලිය වැටෙන "ඉරිමා උදෑසන" කියන්නෙ සුන්දරම අත්දැකීමක්.......ඔහුගේ බිරිඳ විවිධත්වය සොයාගෙන වෙනතකට ගියේ ඒ වගේ සුන්දර දවසක හැන්දෑවේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවුන මොහොතක......... දොල පාර අසබඩ උණ පදුර ආසන්නයේ ඉදි කල ඔහුගේ කුඩා පැල් පත දැං ඔහුට වේදනාව පිරුන තැනක් වෙලා… අමාවක දවසට පස්සෙ දවසේ "පෑල වියේ" සඳ හරිම සෞම්යයි.... එදාට සද පෙනෙන්නේ යාන්තමින් ...පෙනෙන නොපෙනෙන ගනනට...ඔහුගෙ තනියට ඒ සඳ ඇවිත්....ආවත් නාව වගෙයි.......… රාත්රියේදී නිස්කලංක මේ පරිසරයෙදි ඔහුට දොලේ වතුර ගලන "ජල තරංඟ හඬ" ඇසෙන්නේ අමුතුම රිද්මයකට......ඒ රිද්මය භාවනාවක් වගේ උනත් ඔහුගේ හිතේ තියෙන පාලුව නිසාම ඔහුට හිතෙනව පාලුව දෙවනත් කරල හඬලන උල ලේනගෙ හඬ ඊට වඩා තමන්ට සමීපයි කියල... තැනිතලාවේ පිහිටි මේ කුඩා නිවසට ජීවයක් දෙමින් සිටි බිරිඳ ඔහු හැරදමා ගියාට පස්සෙ ඔහුට පෙනෙන්නේ හැම දෙයක්ම අක්රීය වෙලා වගේ.....අඩුම තරමේ උණ පදුර වත් දොලේ රිද්මයට සෙලවෙනවනම් ඒකත් ඇති ඔහුගෙ සිතේ තියෙන මලානික බව නැතිවෙන්න............. බොල් ඉපනැල්ලෙන් පිරුනු කෙත් යාය වගේම ඔහුගේ දිවියත් නිස්සාර වෙලා.......ඔහුටත් නොකියම නෙතින් කදුලක් වැටෙනව......ගොන්නුන් තණ බිමේ ඉඳං නැවතත් නවාතැනට එන්න මගට බහින "ගොම්මනේම" හෙමින් සැරේ පිල මත තියෙන පහන නිවා දමන ඔහු නිදි පැදුරේ වැතිරෙනව...

පෑල වියේ සීතල සඳ ඇවිත් මගේ තනි රකින්න
දොලේ හඬට උණ පදුරේ වැනියන් මට බලා ඉන්න
කාගෙත් දුකට හූ මිටි ලන උල ලේනෝ හඬා යන්න
මගේ තනිය ලඟට වරෙන් තුරුලු වෙලා නිදාගන්න.....

කාටත් එකට උණුහුම දෙන ඉර පිපුනේ ඉරිමාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි සුවද තියේ පිපී සුසුම් මල් යායක
හිතේ දුකට දෑස හඬයි කඳුලු ගල ගංගාවක.......

පිලේ පහන නිව්වා මං ගොංමං අඳුරේ
තනිකම වරෙං ඉදිකඩ පැන මං නිදි පැදුරේ.....

පද ගෙත්තම : කුමාරදාස සපුතන්ත්රී
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=9fSjRJQTHGo

Comments

Popular Posts