ගොලුවී ඉන්නෙමි මම්......

කුමාරදාස කියන්නේ කලා වැව හදවපු ධාතුසේන රජුගේ අගබිසවගෙ පුත් මුගලන් රජුගෙ පුතා...... කුමාරදාසගෙ සීයා වන ධාතුසේන රජුගෙ දියණිය පාවාගෙන තිබුනෙ මිගාර සෙනෙවියාගේ පුතා වුවත් එම සෙනෙවියාගේ බිරිඳ රජුගේ දියණිය වන ඇයගේ ලේලියට බොහෝ හිරිහැර කළා....නැන්දා සහ ලේලිය අතර ගැටලුව සර්වකාලින වගට එය හොඳ සාක්ෂියක්.....කෙසේ වෙතත් මේ වග දැනගත් රජු ඇයට දඬුවමක් වශයෙන් ඝාතනයට ලක් කළා....රජුගේ ප්රධාන සෙනෙවියා ලෙස කලා වැව ඉදිකිරීම ඇතුළු තවත් බොහෝ දේ සිදුකළ මිගාර, තම බිරිඳට රජු විසින් ලබා දුන් මරණ දඬුවමට කළ පළිගැනීමක් ලෙසයි ඔටුන්න හිමි නොවූ කාශ්යප කුමරුන් රජුට එරෙහි කුමන්ත්රණයක් සඳහා යොමු කරවන්නෙ...මිගාරත් සමග එකතුව කලා වැවේ වැව් කන්දෙදි සිටුවා පස් ගස්වා ධාතු සේන රජු මරණයට පත් කරන්නෙ එහි ප්රථිපලයක් ලෙස.....ඒත් එක්කම රජුගෙ අග බිසවගෙ පුතා වුන මුගලන් කුමරු තම පවුල පිටින්ම භාරතයට පැනල යනව.... බොහෝ කලක් භාරතයේ සිටින මොවුන්ගේ කුඩා කුමාරදාස පුත්රයා ඉගෙන ගන්නේ භාරතීය මහා කවි කාලිදාසයන්ගෙන්........ මේ හේතුවෙන්ම කුමාරදාස කුමරු සංස්කෘත භාෂාවේ කෙළ පැමිණෙන අතරෙම කාලිදාසයන් සිංහල භාෂාවේ කෙළ පැමිණෙන්නේ එකම කාලයෙදි.....කාලයාගේ ඇවෑමෙන් කාශ්යප රජු එලවා දමා මුගලන් රජ වුවත් ඔහුගෙ පාලන කාලය ඉක්මනින් අවසන් කරමින් ඔහු මිය යන නිසා කුමාරදාසයන් ලක්දිව රජ වෙනව.......කාලිදාසන්ගේ විශිෂ්ඨ නිර්මාණයන්වූ රඝු වංශය වැනි පොත් හදාරා තිබූ ඔහු අභාෂයෙන් සංස්කෘත භාෂාවෙන් "ජානකීහරනය " නම් පොත ලියනව.....ටික දිනකින් ඔහු තම ගුරුවරයාවූ කාලිදාසයන්ට ලක්දිවට එන ලෙස ආරාධනා කරන අතර ඒ අනුව ලක්දිවට පැමිණෙන කාලිදාසයන්ට බොහෝ සත්කාර සම්මාන දී ලංකාවේ රජරට සහ රුහුණු රටේ සංචාරය සදහා අවැසි සියලුම පහසුකම් ලබා දෙනවා......

කාලි දාස කිව්වම බොහෝදෙනෙකුට මතක් වෙන්නේ මේඝ දූතය, රඝු වංශය,ශාකුන්තලය, සෘතු සංහාරය,කුමර සම්භවය වගේ ඔහුගේ නිර්මාණ වුනත් මට නම් මගේ සරසවි මිතුරන් කීප දෙනෙකුත් මතක් වෙනව...එකෙක් "කෑම දාස"...ඔහු රාගම ඉපදුනු ආදි ආනන්දීයයෙක්,අනෙකා "සත්ත්ය පාල"....කට ඇරියොත් පට්ටපල් බොරුවක්ම කියන ඔහු මාතර ඉපදුන ආදි රාහුලයෙක්....තුන් වැනියා "කෑලි දාස"....ඔහු රජරට ඉපදුන මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ ආදි සිසුවෙක්....කෑලි දාසගෙ ප්රේම වන්තිය ඉගෙන ගත්තෙ රාගම වෛද්ය පීඨයේ...එහෙම වුනක් ඒකා කොතනක හෝ ලස්සන ගෑනු ළමයෙක් දැක්කොත් බෙල්ල කඩා ගෙන හරි පස්සෙන් යනවා....ඔහු කෙල්ලන් වෙනුවෙන් දාස බාවයට පත්වුන නිසාම තමයි ඔහුට "කෑලි දාස" කියල කිව්වෙ... කෑලි දාස දැන් ලංකාවෙත් නෑ....

රජරට සිටි කුමාරදාස රජු රුහුණේ මාතරත් එක්ක බොහෝ සබඳතා තිබූ කෙනෙක්.....රාජ්ය පාලනය වෙහෙසකර වුනාම ටික දවසකට විවේක ගන්න ඔහු තනිවම මාතරට එන්නෙ එහි සිටි "අභිසාරී" කියන ප්රසිද්ධ අභිසරු ලිය හමුවෙන්න...ඇය සමග ඉන්න ලැබෙන්නේ රාජ රාජ මහාමාත්ය ප්රභූ වංශිකයන්ටම විතරයි....

කුමාරදාස රජු එක දවසක් අභිසාරිගෙ නිවසේ ඇයගේ නිදි යහන ලඟ බිත්තියේ මෙහෙම කවි පද දෙකක් ලියනව......
සිය තඹරා සිය තඹරා සියැසෙ වැනී
වන බඹරා මල නොතලා රොණට වනී

ඇය සොයා එන ඔනෑම ප්රභූවරයෙකුට එය සම්පූර්ණ කල හැකි වුවහොත් ඔහුට වටිනා ත්යාගයක් ලබා දෙන බවට ඔහු අභිසාරිට පොරොන්දු වෙනව........ ලංකාවේ සංචාරයකට ඇවිත් ඉන්න කාලිදාසයන්ට කුමාරදාස රජු රට වටේ යන්න ඕන කරන හැම් දෙයක්ම ලබා දෙන නිසා ඔහු නිදහසේ රට පුරා යන අතරේ සති කීපයකට පස්සේ මාතරට එනව.. ඔහු හඳුනාගත නොහැකි වන අයුරින් භාරතීය වෙළෙන්දෙක් ලෙසයි ඉන්නේ.....ඔහු ලැඟුම් ගන්නේ අභිසාරිගෙ නිවසේ.....බලාගෙන ගියාම කාලි දාසත් නියම "කෑලි දාස" කෙනෙක් තමයි...... ඇයගේ නිදි යනහේනේදී අර කවි පද දෙක දකින කාලි දාස එය මනරම් ලෙස සම්පූර්ණ කරනව.........

සිය තඹරා සිය තඹරා සියැසෙ වැනී
වන බඹරා මල නොතලා රොණට වනී
මල දෙදරා පණ ගලවා ගියෙ කෙවැනී
සියැස පුරා නිදි නොලබා උන්නු වැනී

මේ මනරම කවි දෙපදය දකින අභිසාරි මෙහෙම හිතනව.."දැන් මේ කවිය සම්පූර්ණ කලේ මේ ඉන්දියානු වෙළෙන්දා බව" රජු දැන ගත්තොත් සියලුම වටිනා කියන ත්යාග හිමි වන්නේ ඔහුට...මට කිසිවක් ලැබෙන්නෙ නැහැ...ඒ නිසා මා හෙමින් සීරුවී මොහු මරා දමා කවි ලියුවේ මම බව රජුට දැන්විය යුතුයි...මේ අනුව ඇය ඊට පසුදින රාත්රියේදි කාලිදාසයන්ගේ මධු බදුනට "හලාහල විෂ"දමා ඔහු ඝාතනය කරනව..........ටික දිනකින් නැවතත් රුහුණේ සංචාරය කරන රජුට අභිසාරිගෙ නිදි යහන අසලදි සම්පුර්ණ කවිය දකින්න ලැබෙනව...ඒවා තම ගුරු කාලිදාසයන්ගේ බව අත් අකුරු වලින් දැනගත් රජු සිදුවූ සියල්ල අනාවරණය කරගෙන අවසානයේ ඇයට මරණීය දඬුවම ලබා දෙන්නේ මහා කවි කාලිදාසයන ඝාතනය කිරීමේ වරදට....මේ අභිසරු ලිය ජීවත්වූ සහ කාලිදාස මරණයට පත්වූ ස්ථානය සිහිවෙන්න අදටත් මාතර නගර සභාව විසින් ගාලු පාරේ තියෙන එක අතුරු මාර්ගයක්"කාලි දාස මාවත" නමින් නම් කරල තියෙනව....කාලිදාසටත් වැඩේ දුන්නෙ මාතර අපි තමයි හරිය.......!

භෞතික විද්යාවේ කියැවෙන "අභිසාරී" කාච වලින් ආලෝකය තමන් වෙතට ඇද ගන්නව වගේ මේ අභිසාරිකාවන් පිරිමින්ව තමන්ගේ වසඟයට ගන්නෙත් නිරායාසයෙන්මයි....අභිසරු ලියන්ට පෙම් බඳින එක මාරාන්තික දෙයක් කියල තමයි මේ සිද්දිය දිහා බැලුවම පෙනෙන්නේ.......ඒත් එහෙම වුනත් අභිසරු ලියන්ට පෙම් බඳින මිනිස්සු ඉන්න බැරිද ?

නිතර නිතර අභිසරු ලියක් හමුවෙන්න යන තරුණයෙක් දන්නේම නැතුව ඇයට පෙම් බඳින්න පටන් ගන්නේ ඔහුටත් නොදැනීමයි...කාලයාගේ ඇවෑමෙන් ඇයටත් ඔහු ගැන ආදරයක් හට ගන්නව........දැං ඇයට ඔහු නොදැක ඉන්න බැරි තරමට බන්ධනය වැඩිවෙලා....එහෙම වුනාම ඇය කරන්නේ නිදි යහන ලඟ බිත්තියේ ඇගිල්ලෙන් ඔහුගෙ සටහන් අඳිනව අඩ අදුරේදි.. අඩ අඳුර තියෙනවනම් විතරයි සෙවනැලි පෙනෙන්නේ... නීතියට පිටින් ලෝකයට දැනෙන නොදැනෙන ගානට ජීවත් වෙන අභිසාරිකාවන් ඉන්නේ කොහොමටත් අඩ අඳුරේම තමයි.......මේ අඩ අඳුර කියන්නේ මානව සන්තානයේ සෘංගාරය ඇති කරවන පරිසර තත්වයක්...සඳ එලිය තියෙන වෙලාවට මිනිස්සුන්ගෙ "පිස්සු තද වෙනව පුතේ" කියල මගේ ආච්චි දවසක් මට කිව්ව මතකයි.....ලතින් භාෂාවෙන් "ලූනා" කියන්නෙ හඳට....පිස්සන් කොටුවට කියන්නේ "ලූනටික් අසයිලම්" කියල......ඉතින් හඳ දැක්කම පිස්සු හැදෙන එක ශුවර්......ඇය හමුවෙන්න එන ඔහුට දැන් ආපහු යන්න හිතෙන්නේ නැහැ...ඔහු හිතනව අනේ මේ රාත්රිය තව දිගු වෙනව නම් මට තව කොච්චර වේලාවෙක් මෙහෙම නෙලුම් මලක් මත කරදරයක් නැතුව තියෙන පිණි බින්දුවක් වගේ ඉන්න පුලුවන්ද....උදේ පාන්දර හිමිදිරියට පෙර සඳ බැසගෙන යන වෙලාවට අහසේ අමුතුම චමත්කාරයක් තියෙනව...ඒ වෙලාවට යාන්තමට ඉරේ එලිය හඳට වැටෙන නිසා හඳ පෙනෙන්නේ දම් පාටට....ආකාසේ රංවන් පාටට...ඒත් තව මොහොතකින් සමුගෙන යන්න සිදුවෙලා....

දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි.....
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි.....
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන්වී යන මොහොතක් නෑඟෙයි....
දෑසට ලංව තවත් මේ මොහොතේ ගොලුවී ඉන්නෙමි මම්......

සෙවනැළි නොමැකේ නම් එලිය කළු නොවේ නම් බිත්ති පුරා ඔබෙ සෙවනැළි ඇන්දේ.......
තනිය මකා ගන්නයි එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා......

රෑ කල දිගු වේ නම් ලා සඳ නොමැකේ නම් නෙළුම් පතක රැඳි පිණි බිඳුවක්සේ.......
ලමැද තලා යහනේ ඉන්නම් පමා වෙල හිරු නැගෙන තුරා......

පද ගෙත්තම : ලූෂන් බුලත්සිංහල
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=p4R3DlfuTG4

Comments

Popular Posts