මං එනතුරු ඉදි කඩ ලඟ ඉන්නවාද අම්මේ………….

“Single parent child” එහෙම නැතිනම් “එක වැඩිහිටියෙක් සහිත ළමුන්” කියන දේ ලංකාවේ අපිට නුහුරු වුනත් බොහෝ බටහිර රටවල නම් ඉතාම සාමාන්ය දෙයක්....විවාහයෙන් වසර දෙක තුනක් යද්දිම එකිනෙකාගෙන් වෙන්වෙන එකත් ඒ වන විටි ඉන්නා දරුවන් මව පියා දෙදෙනාගෙන් එක් අයෙක් යටතට හෝ එහෙමත් නැතිනම් ළමා නිවාසයකට භාර දීල "ඇඟ බේර ගන්න එක" බටහිර සංස්කෘතියට අනුව නම් ගැටලුවක් නැහැ.....
ඒත් මොකද්දෝ හේතුවකට ලංකාවෙදි නම් තවමත් ඒ තත්වය සුලභ නැහැ......පසු ගිය කාලේ UNESCO එකෙන් කළ සමීක්ෂණයකින් හෙලි වුනේ, දරුවන් සහ දෙමාපියන් අතර ඇති සම්බන්ධතාවයන් අතින් ලෝකයේ ඉහළින්ම ඉන්නේ ලංකාවත් ,මියන්මාරයත්,තිබ්බතයත් කියල.....ඒකට හේතුව මේ රටවල් තුනේ කාලයක් තිස්සේ මුල් බැසගෙන තියෙන "බෞද්ධ සංස්කෘතිය" කියල ඔනෑම කෙනෙකුට අකමැත්තෙන් වුනත් පිළිගන්න වෙනව....මම වසර කීපයකට කලින් මියන්මාරයෙත්,තිබ්බතයෙත් සංචාරය කළ වෙලාවෙදි ඒ බව අත් දැකීමෙන්ම දැක්ක..... ඒත් දැන් දැන් අපේ රටේත් අවාසනාවන්ත සිදුවීම් අතරින් පතර වාර්තා වෙනව..වෙනස්වීම ලෝකයේ ස්වභාවය කොට තියෙන නිසා අපිට ඒ දිහා උපේක්ෂාවෙන් බලන්න සිදු වෙනව....
රජරට මිහින්තලේ පෙදෙසේ දුෂ්කර ගොවි ගම්මානයක කුඩා දරුවෙක් උපදිනව..ඔහුගේ පියා දේශීය වෙද මහතෙක් ...ඊට අමතරව ඔහු ඉඩ ලැබුන වෙලාවට හේන් ගොවිතැන කළේ වෙදකමෙන් ජීවිකාව සරි කර ගන්න අපහසු නිසා ...නුවර කලාවියේ දිළිදු මිනිසුන් විපතට පත්වෙලා රෝගී වුනාම ඔවුන්ට වෙද මහත්තයට දෙන්න තරම් ලොකු මුදලක් කොයින්ද ?..........ප්රථිකාර ගත් රෝගීන්ගෙන් ඔහුට බොහෝ විට ලැබුනෙ බුලත් අතක් විතරයි..ඇතැම් විට සමහර අය පමණක් තමන්ගෙ අස්වැන්නෙන් කොටසක් ලබා දුන්න අවස්ථා නොතිබුනා නොවේ.... වැඩි දවසක් යන්න කලිං මේ ගොවි මහත්තය මේ ලෝකය හැර යන්නේ තමන්ගේ හිරි මල් වයසේ පුතා සහ බිරිඳ තනි කරල දාල.....
ඉතිං මේ දෙදෙනාට තව දුරටත් ජීවිකාව කරගන්න ක්රමයක් නැති නිසා මව තමන්ට හැකි පමණින් හේන් ගොවි තැන කරන්න පටන්න් ගන්නෙ වෙනත් විකල්පයක් නොවුන නිසාමයි.....තරු ණ වියේ සිටි ඇයට වෙනත් විවාහයක් කරගන්න බැරි කමක් නොතිබුනාම නෙවෙයි...ඒත් ඇය තමන්ගේ පුතා වෙනුවෙන් හුදෙකලා වෙලා ඉන්න තීරණය කරනව........ස්වාමියා අහිමිවූ තරුණ කාන්තාවකට දරුවත් හදාගෙන ඉන්නව කියන එක නම් අභියෝගයක්ම තමයි......එක පැත්තකින් "මනමාල පිරිමි" හොර බැල්ම දානව...අනෙක් පැත්තෙන් දරුවට පියෙකුගෙ අඩුව දැනෙනව......තරුණ ජීවිතයක් නිසා "මානව හැගීම්" වලින් ඇතුලතින් කෙරෙන බලපෑමක් වෙනමම තියෙනව......
ප්රශ්නෙ තියෙන මිනිහම පමනයි ප්රශ්නෙ බරපතල කම දන්නේ....
විනේ කටින වුන් තරහක් නොකියාම….
කනේ කොහොඹ මිරිකනවා හැමදාම…..
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම….
වනේ නැතුව උන් දුක දන්නේ කොහොම …..
කියල ප්රදීපා ධර්මදාස මහත්මිය කියන්නෙත් මේ කතාවම තමයි...
මගේ ලඟම හිතවතෙකුගෙ යාලුවෙක් හිටිය.... ඔහු මොරටුව සරසවියෙ ඉගෙනගත් රසායන ඉංජිනේරු වරයෙක්...බැංකු නිළධාරිණියක් සමග විවාහ වෙල මාස තුනක් යනකොටම ඉරාකයේ තෙල් සමාගමක ඉහළ තනතුරක් ලැබුන නිසා ඔහු ඉරාකයට ගියේ තනිවම පසුව බිරිඳ රැගෙන යාමේ අරමුණෙන්...ඒත් හදිසි ගින්නකට හසුවෙලා ඔහු ඉරාකයෙදි මිය ගියා....හුදෙකලා වූ තරුණ බිරිඳ බොහෝ කලක් බලාගෙන ඉදලා මගේ හිතවතා සමග "අනියම් සබඳතාවක්" පටන් ගත්ත...ඔහුත් විවාහකයෙක්.......ඇයට නැවතත් විවාහයක් කරගෙන ඉන්න වුවමනාව තිබුනත් සමාජ සම්මතයෙන් එයට මග ඇහිරිලා ...අවසානේ ඇය තෝරා ගත්තෙ "ඊටත් වඩා අසම්මත පිළියමක්".....
හේන් ගොවිතැනේදි පැලක් අටවන්නෙ රාත්රී කාලයෙදි එන සතුන් එලවන්න...ඒ වෙනුවෙන් රාත්රී කාලය පැල් කොටේ ගත කරන වගකීම තියෙන්නේ ගොවි පවුලේ පියාට.......ඒත් පියා නැති පවුලක හේනට පැලක් අටවලා මොකටද ?
මේ අම්මා තමන්ගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ගන්න මහන්සිය අසීමිතයි.....ඉතින් මේ පියා නැති නිවසේ(පැල නැති හේනේ ) විවිධ ආර්ථික සමාජීය ගැටලු වලින් මේ දරුවා පීඩා විඳින්නේ හරියට අකාල මහ වැසි වැටෙනව වගේ...නමුත් ඇය ඔහුට තෙමෙන්න දෙන්නේ නැතුව තුරුලේ හංගාගෙන ඔහු ආරක්ෂා කරනව...එහෙත් ඇය තෙමෙනව......
කොහොම හරි පළමු වැස්සෙන් ඇය ඔහුව නොතෙමී බේරාගන්නව..ඔහු නීති වේදියෙක් බවට පත් වෙනව.......ටික දවසකින් ඔහු ධනවත් පවුලකින් විවාහයක් කරගත්තත් බොහෝමයක් නොගැලපීම් හමුවේ ඇය ඔහු අතැර දමා යන්නේ ඔහුට "මහා නින්දා" වැසි ඇති කරමින්.....ඒ නිසා දෙවෙනි වර වැස්සට ඔහු තෙමෙනව.....එදා අම්මා ඔහුව නොතෙමී බේර ගත්තට මෙදා ඔහු ලඟ සිටි බිරිද ඔහුව අතහැර යන්නේ ඔහුටත් නොදැනීමයි....ඒක හරියට සැතපුමකට අඟලක බෑවුමක් තියෙන යෝධ ඇලේ බැස්ම වගේ.....
ඔහුට මේ දෙන්නගේ වෙනස දැනෙන අතරෙම ඔහු තවත් උසස් වීමක් ලැබිල කොළඹ එනව...ඒ ඇවිත් ටික දවසක් යද්දිම ඔහුට දැනෙන්න පටන් ගන්නව කොළඹ අහස කළු කරගෙන මූදු හුළඟ අඬලනකොටම තමන් තුන් වෙනි වතාවටත් වැස්සට තෙමෙන්න යන බව.......ඔහුට නොතෙමී ඉන්න තියෙන එකම තැන අම්මගෙ තුරුළ විතරයි....ඒත් දැන් අම්මා ලෝකයෙන් නික්මිලා.....
කොළඹ අහස කළු කරගෙන මූදු හුළඟ හඬලන කොට ......
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ......
මං එනතුරු ඉදි කඩ ලඟ ඉන්නවාද අම්මේ………….
නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුනදා ......
බිරිඳකගේ සෙනෙහේ ගියා යෝධ ඇලේ නැම්මේ...
නුඹෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ ……..
දවසක් පැල නැති හේනේ අකාල මහ වැසි වැටුනා ....
තුරුළේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ......
පායන තුරු හිටි පියවර සිටියා නුඹ අම්මේ………
මේ සටහන ලියන මම වසර එකහමාරකට කලින් පිළිකා රෝගියෙක් වුන දවසේ ඉඳලම මාව බලාගන්නෙ අම්ම....හරි නම් දැන් මම ඇයට උදව් කරන්න ඕන කාලේ...ඒත් දෛවයේ සරදමකට වගේ වයස 68 දී ඇයට වයස 38 පුතා බලාගන්න සිදු වෙලා........කොතරම් ශාරීරික අපහසුතාවයන් මැද උනත් ඇය මට අඩුවක් කරන්නේ නැහැ..සමහර දවසට මට සාත්තු කරල ඇය කාටත් නෑහෙන්න කාමරේට වෙලා කෙඳිරි ගාන හඬ මට ඇහිල තියෙනව.........මේ සටහන ඇය වෙනුවෙන්.......
පද ගෙත්තම : රංබණ්ඩා සෙනෙවිරත්න
සටහන : චාමර වන්නිආරච්චි

Comments

  1. ඔබටත් ඔබේ මවටත් සියළු දෙවි රුකවරණයි ! ඔබට ඉක්මන් සුවය ලැබේවා !

    ReplyDelete

Post a Comment

Popular Posts