සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹෙ බබලනා...

ලංකාවේ අපේ බොහෝ දෙනාගේ වාසගම හෙවත් Surname එක දිහා පරීක්ෂාකාරීව බැලුවම ඔවුන්ගේ අතීත මුතුන් මිත්තන් රජ්ජුරුවන්ට කළ සේවාව මොකද්ද කියල හොයා ගන්න අපහසු නැහැ......මගේ වාස ගම වන්නිආරච්චි කංකානම්ගේ........

ඒත් මේ අතීත වාසගම් වර්තමානයට කොයිතරම් ගැලැපෙනවද කියල අපිට නැවතත් සිතන්න සිදුවෙලා.....මම වන්නිආරච්චි කංකානම්ගේ වුනාට දන්න කාලෙක වන්නියෙ කිසිදු "ගොවි කර්මාන්තයක කංකානම්" කෙනෙක් වෙලා නැහැ..අඩුම තරම මගේ පියාගේ පියාවත් එහෙම් ගිය කෙනෙක් නෙමෙයි...මගේ සීයාගෙ පියා සබරගමුවෙ කලවානෙ ඉඳං දකුණට ඇවිත් "බින්න බැහැපු කෙනෙක්"..........ඒත් ඉරිදා පත්තරේ "මංගල යෝජනා තීරය" දිහා හොඳින් බැලුවම නම් මොකද්දෝ වෙනස්ම දෙයක් කියැවෙනව.....

ගොවි,කෞරව,සලාගම,දුරාව ඇතුළු තවත් නොයෙක් කුලයන්ගෙන් මංගල යෝජනා තීරුව පිරිලා....මිනිසා උපතින්ම බෙදී වෙන්වෙන්න තියෙන කැමැත්ත නිසා මෙහෙම වෙනව කියලයි විද්වතුන් නම් කියන්නේ.....ඒකට ටිකක් බර වචනයකුත් යොදා ගන්නව "භින්න රුචික බව" කියල.......

ඒත් මේ වගේ දේවල් තව දුරටත් පවත්වා ගත යුතුයැයි කෙනෙකුට තර්ක කරන්න නිදහස තියෙනව.....ඒ ඔවුන්ගේ අයිතිය......කොහොම උනත් බුදුන් නම් කියන්නේ “මිනිසෙක් උපතින් බ්රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙන්නේ නැති අතර ඔහුගේ ක්රියාවන් නිසා ඔහු කවුදැයි නිගමනය වන” බවයි....

වසර දෙකකට කලින් මම ගුජරාට් ප්රාන්තයේ අහමදාබාද්හි ඉන්දියානු කළමණාකරන සරසවියේ අධ්යාපන පාඨමාලාවකට ගිය දවසක “ආඩම්බරකාර බ්රාහ්මණ වංශික” ඉන්දියානු රාජ්ය නිළධාරියෙක් සමග කතා බහකට පැටලුනා...ඔහු කර්ණාටකයෙන් පැමිනුනෙක්...ඔහු තමන්ගේ කුල මානයෙන් කොයිතරම් දුරට ඉදිමිලා හිටියද කිව්වොත් බොහෝ පිරිසක් ඉදිරියේ තමන්ගේ කමීසය ගලවල ඇඟ වටා ඔතා තිබූ බ්රාහ්මණයන්ට ආවේණික "පූන නූල" මට පෙන්නුවේ මහා තේජසකින්...ඒක නිකම්ම නිකන් “අවපැහැ ගැන්වූ හඩු ගඳ ගහන කපු නූලක්” විතරයි..... මට එක පාරටම මතක් වුනේ බිභූතිභූශණ බන්ධොපාද්යගේ නව කථා වල සිටි “හරි හර” සහ තවත් එවැනි "හම්පඩ ගැහුනු" නූල් පැළද ගෙන "වංශෙ කබල් ගාන" කුලීනයෝ.....

මට මහරගම පිළිකා රෝහලේදි කීපවතාවක් "රුධිර පාරවිලයනය" හෙවත් පිටතින් ලේ දෙන්න සිදුවුනා...මගේ ලේ වර්ගය “B නෙගටිව්”...ටිකක් දුර්ලභයි...කොහොම වුනත් පසුවෙලා හෝ මට ලේ ලැබුන...ඒත් අදටත් මම දන්නේ නෑ ඒ රුධිරය "ගොවිද,කරාද,දුරාද ,සලාගමද"...එහෙම නැත්තම් වෙන එකක්ද කියල.........සිංහල මිනිස්සුත් "හලාල්" වුනානම් තත්වය මීට වඩා බරපතල වෙනව...වාසනාවට අපි තවම ටිකක් ඉදිරියෙන්......

රත්නශ්රී විජේසිංහයන් උණවටුනේ ගුරු විදුහලේ සේවය කරන කාලෙ 1988 පළමු වන පළාත් සභා මැතිවරණයෙදි ස්ථානභාර නිළධාරියෙක් ලෙස සේවයට යන්නේ ගාලු දිස්ත්රික්කයේ ටිකක් මුහුදින් ඇතුලට වෙන්න තියෙන් "කරන්දෙණිය" මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද මධ්යස්ථානයකට...ඒ දිනවල තිබුණ භීෂණයත් එක්ක බොහෝ නිළධාරීන් සේවයට වාර්තා නොකල නිසා ඔහුට සිදුවනව අනෙක් අයගේ වැඩ කොටසට උදවු වෙන්න...ඔහු භාර ගන්නේ "ඡන්ද හිමියන්ගේ නම් කියවන්න"....ඉතින් ඔහුට කිවන්න සිදුවෙන නාම ලේඛණයේ තිබෙන බොහෝ නම් වල වාසගම එක්ක කියවද්දි එම මිනිසුන් ඔහු දෙස රවා ඔරවා බලනව...මුලදි මෙය ඔහුට නොදැනුනත් මෙහෙම වෙන්නේ ඇයි? කියල ඔහු තේරුම් ගන්නව…..ඔවුන් එසේ ඔහුට රවන්නේ ඔවුන්ගේ වාසගම හැමෝටම ඇහෙන්න හයියෙන්ම කියවන නිසා.....ඔහු මෙහෙම හිතෙනව...මේ “සර්වජන ඡන්දය” කියන්නේ මිනිසුන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතියක් වුනත් එය තුළ තියෙන මේ කරමවේදයත් එක්ක මිනිස්සු අපහසුතාවට පත්වෙනව නම් එය කොයිතරම් දුරට "මානව හිතවාදීද….?”
කරන්දෙණියට ආසන්න ඇල්පිටියේදි ඉපදුන ඔහුගෙ කල්යාණ මිත්රය වුන ගුණදාස කපුගේ සහෘදයා ඔහුට මතක් වෙනව......ඔහු "කපුගේ" වුනාට ඔහු "කපු රෙදි වලට සම්බන්ධ" සේවාවක් කරන්නේ නැහැ...ඒ සේවාව කරන අයත් ලෝකයට කරන්නේ කොච්චර අමාරු දෙයක්ද ?....අනුන්ගේ "කුණු තමන්ගේ අතින් හෝදන එක"....අපේ සමාජයට කොතනකදි හරි වැරදිලා.......

තමන් උසස් කොටත් අනුන් පහත් කොටත් සලකන එකෙන් මේ "හද්දා පෘථග්ජන" මිනිස්සු අමුතුම "කාලකන්ණි සතුටක්" ලබනව...බුදුන් නම් එයට කිව්වේ "අත්ථුකංසනය-පරවම්භනය" කියලා......
මේ ගැන ඔහුගේ හිතේ යම් කණගාටුවක් ඇති වෙනව...එක දවසක් ගිං ඟග පහුකරගෙන බද්දෙගම පැත්තට යන ඔහුට තොටු පොලක් ලඟ රෙදි ගොඩක් ගොඩ ගසාගෙන තම අත් දෙකෙන් අතුල්ලමින් සෝදමින් ඉන්න තරුණ කාන්තාවක් දකිනව...ගොඩාක් හවස් වෙලත් ඇය තවමත් "අනුන්ගෙ රෙදි වල කිළුටු යවන්න” ගන්නේ පුදුම මහන්සියක්…..

අනුන්ගෙ රෙදි වල කිළුටු යන එක කොහොමවුනත් සිතේ කිළුටක් නැතුව යටහත් පහත්ව තමන්ගේ කාර්යභාරය කරන ඇයගේ අත් දෙක නම් හොදටම සේදිලා පිරිසිදු වෙලා...ඒත් මේ "ලාමක මිනිස්සුන්ගෙන් " හිත් වල තියෙන "කිළුටු" නම් කවදා ඉවත් වෙයිද ?

පිංවතුන් සැම ඇන්ද සළු පිළි සේදුවා නුඹ සේදුවා……
තාම නෑ කිළි කුණු ගිහිං එහි මන්ද නොදැනේ කාරණා…..
සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹෙ බබලනා...

පෙට්ටරේ ලඟ පැං තොටේ ගම්මානයේ පවු සෝදනා…..
රත්තරං වී කළු වළාකුළු චන්ද්රයාසේ පායනා…..
ලෙංචිනා දැං වැඩ කළා ඇති ගෙදර යං කළුවර වුනා….

ලෙංචිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ……..

කාගේ හෝ සිත රිදුනා නම් සමාවන සේක්වා...!

පද ගෙත්තම : රත්නශ්රී විජේසිංහ
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=Op9tmuBaXJg

Comments

Post a Comment

Popular Posts