පාර මතක නම් තවමත් ගේ ලඟයි දුවේ…………

දක්ෂිණ අධිවේගී මග නිම වන්නට කලින් බද්දේගම යනු ගාලු දිසාවේ මුහුදින් ටිකක් ඈත සුන්දර ගම්මානයක් විය...ගීත රචකයන් වන ධර්මසිරි ගමගේ,රත්නශ්රී විජේසිංහ,භද්‍රජී මහින්ද ජයතිලක මෙන්ම පොත් කතුවරුන් වන ගුණදාස අමරසේකර,ලීලානන්ද ගමාච්චි ,පියසේන කහඳගමගේ , රංජිත් අමරකීර්ති පලිහපිටිය රංග ශිල්පීන් වන ධම්ම ජාගොඩ,බුද්ධි වික්රම ,සිනමාවේදීන් වන අමරසිරි කලංසූරිය, D.B.නිහාල්සිංහ,උදයකාන්ත වර්ණසූරිය ,සිළුමිණ ආදි කතෘ D.B.ධනපාල(නිහාල්සිංහ මහතාගේ පියා ) ,නන්දසේන සූරිආරච්චි ( දිවයින ආරම්භක කතෘ ) ඇතුලු තවත් කලාකරුවන් බොහෝ දෙනෙක් බද්දේගම ආශ්රිතව ඉපදුන කලා කරුවන්ය....ජයවර්ධන පුර සරසවියේ ආදි කතෘ වැලිවිටියේ සෝරත, බද්දේගම විමලවිංශ ,අකුරටියේ අමරවිංශ ,මාපලගම විපුලසාර,ගනේගම සරණිංකර වගේ මහා පඬිරුවන් වු යතිවරුනුත් බද්දේගම ආශ්‍රිතව ජන්ම ලාභය ලැබීය...

රත්නශ්රී විජේසිංහයන්ගේ ගම වූයේ බද්දේගම ආසනයට අයත් තෙල්ලඹුර නම් ගම්මානයයි...මෙම ගම්මානය ආශ්රිතව තේ වගාව අතීතයේදී බහුල කොට සිදු කෙරින........ මේ සටහන ලියන මගේ ගම මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රන් සහ මහාචාර්ය සිරි ගුනසිංහයන් ඉපදුන අක්මීමන පිහිටියේ ඊට සැතපුම් පහලොවක් පමණ මෙපිටිනි……

ගාල්ල නගරයේ විදුහලක් අසල නැවතී අධ්යාපනය හැදෑරූ ඔහු සිකුරාදා සවස නිවස බලා යන්නට පුරුදුව සිටියේය...ඔහුගේ නිවස ආසන්නයේ වැවිලි සංස්ථාව විසින් අත හැර දමා තිබූ අබලන්වූ කුඩා ලැයිම් කාමර කීපයක් විය.....තම බිරිද තරුණ වියේදීම අහිමිවුන දුප්පත් වඩු කාර්මිකයෙක් මින් එක් ලයිම් කාමරයක් යාන්තමින් පිළිසකර කොට ගෙන තම එකම දරුවා වූ වයස අවුරුදු පහලොවක දියණියත් සමග වාසයට පැමිණියේ..... ඇය ග්රාමීය පාසලේ අධ්යාපනය ලැබුවේ මේ වඩු මඩුවේ ජීවත් වෙමින්ය........කොතරම් අපහසු වුවත් වඩුවා තම දියණියට කිසිදු අඩුවක් නොකලේය.....එම ස්ථානය පසුකර යන බොහෝ දෙනා වැස්සෙන් බේරිමට නවතින්නේ මේ වඩු මඩුවේය......

රත්නශ්රී මෙම ස්ථානය පසු කරමින් යද්දී..... “කොහොමද මහත්තයෝ.....දැන්ද එන්නේ...පරිස්සමින් ගිහින් එන්න” යනුවෙන ඉතා යටහත් පහත්ව ඇමතීමට එම දිලිදු වඩු කාර්මිකයා පුරුදුව සිටියේය....
ඉරිදා සවස නිවසින් පිටත්ව ගාලු යනවිටත් සිකුරාදා සවස නැවත එන විටත් මේ පුද්ගලයා ඔහු සමග වචනයක් දෙකක් හෝ කතා කිරීමට පුරුදුව සිටියේය.....

එම ලයිම් කාමරයේ වහල සෙවිලි කර තිබුනේ ටකරං කොල කීපයකිනි...ආලෝකය ලැබුනේ භූමිතෙල් ලාම්පුවකිනි.....ඔහුගේ වඩු මඩුවේ බොහෝ විට ප්රථිසංස්කරණය කරනු ලැබුවේ කරත්ත වැනි දේ නිසා එතරම් ලොකු ගාස්තුවක් අය කර ගැනීමටත් නොහැකි විය...අනවසර පදින්චි කරුවෙක් වූ නිසා කීප වතාවක්ම ඔහුට එම ස්ථානයෙන් පිටව යන ලෙස වැවිලි සංස්ථාවෙන් දන්වා තිබිණ.....

එක් සිකුරාදා දිනයක රත්නශ්රී සවස එන විට ලයිම් කාමරයේ තිබුණ වඩු මඩුව අක්රීයව පැවැතිණි.....වඩුවාද පෙනෙන්නට නොවීය ,සෑම දිනකම විවෘත පවතින වඩු මඩුව වසා ඇත්තේ කිමදැයි සැකයක් ඇතිවූ රත්නශ්රීට මදක් විපරම් කොට බලන්නට සිත්විණ...වට පිට බැලූ විට දක්නට ලැබුනේ වඩුවා කුඩා බංකුවක් මත හිද ගෙන මඩුවේ ලී කනුවකට බර දී කල්පනා කරමින් සිටින බවයි.......

ඔහුගේ දෑසම කඳුලින් තෙත්වී තිබින...බොහෝ දිනකින් රැවුල කපා නොතිබූ නිසා මුහුණද වල්බිහිවී තිබිණ......

වඩුවා බර කල්පනාවක සිටි බැවින් ඔහු ලඟටම ආවත් කිසිදු ප්රතිචාරයක් නොවීය....

"මොකද බාස් උන්නැහේ බර කල්පනාවක?...ගොඩක් දවසකින් වැඩක් කෙරුන පාටකුත් නෑ වගේ........"
“මගේ ලාම්පුව නිවුනා මහත්තයෝ......දැං මට එලියක් නැහැ....කියමින් ඔහු අඬන්නට විය.......”
“මොකද උනේ කියන්නකෝ.........?”

“පහු ගිය දවස් වල බයිසිකල් එකක නැගපු රස්තියාදුකාරයෙක් මෙතනින් නිතරම එහා මෙහා ගියා මහත්තයෝ.......ඌ කමීසේ උඩ බොත්තම් ඇරගෙන සුදු යකඩ මාලයක් එහෙමත් දාල හිටියේ.......වයසත් තිහක් විතර ඇති මහත්තයෝ......”

“ඌ තමයි මගේ ලාම්පුව නිව්වේ මහත්තයෝ.........”

“හරි…. හරි….. මොකද උනේ කියන්නකෝ බාස් උන්නැහේ.....”

  “මට හීනෙකින් වත් හිතුනේ නැහැ මහත්ත්යෝ ඌ ආවේ ඒකට කියල...කෙල්ලට තවම වයස පහලොවක් වත් නැහැ මහත්තයෝ............ ඌ කෙල්ල අරං ගිහිං මහත්තයෝ......තවමක් ඒකිට මුකුත් තේරෙන්න නැහැ මහත්තයෝ..........කොහේ හරි ඉන්න තැනක දැක්කොත් කියන්න මහත්තයෝ තාත්ත තාම මග බලාගෙන ඉන්නව කියල.........”

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරනේ
පාර මතක නම් තවමත් ගේ ලඟයි දුවේ…………

ලාභ රත්තරං දිලිසෙන පාලු වීදියේ
ගෑනු ලමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ…….

චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුනසේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් රත්තරං දුවේ…….

"ගොවියාගේ අස්වැන්න ගවයාට තවත් එක් ආහාරයක් පමණි"

පද  ගෙත්තම : රත්නශ්රී විජේසිංහ
 සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=C5QkmFloCdM


Comments

Popular Posts