අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා...

මරණය හමුවේ මිනිසුන් කොතරම් අසරණද කියන එක මම දන්නේ අත්දැකීමෙන්මයි...ගිය වසරේ මැයි මාසේ අග දවසක මේ සටහන ලියන මම මාරාන්තික පිළිකා රෝගියෙක් කියල නිගමනය කරන කොට මගේ වයස අවුරුදු 36 යි මාස 06 යි...ඊට පස්සේ සති ගනනක් මහරගම පිළිකා රෝහලේ 04 වන වාට්ටුවේ 19 වෙනි ඇඳ මත බාගෙට සිහියෙන් මහා වේදනාවෙන් සිටිද්දි මගේ ඇඳට දෙපැත්තෙන් ඉන්න රෝගීන් දවස ගානේ මරණයට පත්වෙද්දි මම නොසැලී හිටියේ කොහොමද කියල ඇතැමුන් මගෙන් ඇහුවා....positive thinking කියන්නෙ බොරැවට උඩ පනින එක නෙවෙයි.......ධනාත්මක චින්තනය අපිට ඇත්තටම කියල දුන්නෙ සර්වඥයන් වහන්සේ...වයස අවුරැදු 32 දී ගොල්ගොදාවේ කුරැස කන්දේදි ජේසුස් වහන්සෙට ඇණ ගහනකොට උන් වහන්සෙ අහස දිහා බලාගෙ තමන්ට ඇණ ගසන අයට සමාව දෙන්න කියල දෙවියන්ට කියනව...."ස්වාමීනි,මොවුන් නොදැන කරන්නාවූ වරදට මොවුනට සමා කල මැනව" කියල...ඒක තමයි සැබෑම මෛත්රී භාවනාව...වෙන කාටද එහෙම කියන්න පුළුවන් ?

පිළිකා රෝහලේ බොහෝ දෙනෙක් මිය යන්නේ පාන්දර...ඒකට හේතුව නම් මම දන්නේ නැහැ...බෙහෙත් සැරට අඩ සිහියෙන් බාගෙට නින්ද යන මට හැම පාන්දරකම වාගේ කවුරු හෝ රෝගියෙකුගෙ මරණ විලාපය ඇහිලා තමයි ඇහැරෙන්නේ....ඊලඟ දවසෙ මට එය ලැබෙන බව තේරුම් අරං මම හිතා හදා ගන්නව...
මගේ අවට ඇඳන් වල සිටි සියලුම රෝගීන් මේ ලෝකය හැරදාල ගිහිල්ලත් මාස 17 ක් තිස්සේ තවමත් මම ජීවත් වෙන්නේ කොහොමද කියන එක මටත් වඩා සමහර වෙනත් අයට ප්රශ්නයක්………

ජවහර්ලාල් නේරු තුමා නම් කිව්වේ කලාව සාහිත්ය නොතිබුනා නම් මේ විශ්වයේ ඉන්න මිනිසුන්ට ජීවිතයේදී දැනෙන අනේක විධ ධරථයන් හමුවේ ඉවසා වදාරා සිටිය නොහැකිවනු ඇති බවයි.........
දේශපාලන පළිගැනීම් මාරුවක් ලබා ප්රේමකීර්ති ද අල්විස් මහතා කොලඹ සිට රජරට සේවයට යන්නෙ 80 දශකයේ මුල් භාගයෙදි......දිනක් ඔහු ගමන්ගත් යතුරු පැදිය අනතුරට ලක්වෙලා ඔහුගෙ දකුණු අත කැඩෙන නිසා අනුරාධපුර රෝහලේ ඔහුට බොහෝ කලක් ඉන්න සිදුවෙනව...එක තැනක ඉන්නෙ නැතුව බොහෝ කාර්යවල නිරත වුන ඔහු වගෙ කෙනෙකුට මෙහෙම රෝහල් ඇඳකට වෙලා ඉන්න සිදුවීම දරා ගන්න අපහසුයි....සතියකට විතර පස්සෙ ඔහු තමන්ගෙ දිනපොතේ මෙහෙම ලියනව......

අරමුණු හැඟුම් පොදි ඉහිරුනු අවකාස...
දුරු රට ඇවිත් ගතවුනි දින සති මාස...
රෝහල් ඇඳක සතියක් කෙරුවෙමි වාස...
මට සිහිවුනා ගම් පෙරළියේ ජිනදාස……..

ඔහු ගම්පෙරළිය කියවා තිබූ නිසා ජිනදාස "සිංහලේ" ගිහිං මැලේරියාව හැදිලා කාත් කවුරුවත් නැතුව බිබිලේ රෝහලේදි මැරිල ගිය හැටි දන්න නිසා සහ ඒක ලෝකයේ පොදු අත්දැකීමක් බව තේරුම් ගෙන සිටි නිසා හිත හදාගෙන ඇත්තට මුහුන දෙන්න පුලුවන් වුනා....

ලංකාවේ ප්රසිද්ධ කවියෙක් වුන විමලරත්න කුමාරගම වෘත්තියෙන් උප දිසාපතිවරයෙක්...ඔහුට සේවක කරන්න ලැබුනෙ නුවර කලාවියේ,වන්නියේ,ගිරුවා පත්තුව,බිබිලේ ,මන්නාරමේ,මුලතිව් වගේ බොහෝ දුෂ්කර පළාත්වල….. වයස අවුරුදු 42 දී මැලේරියාව වැළඳිලා ඔහු ආපසු මහනුවර නාරංපනාවේ ඔහු ඉපදුන ගමට ඇවිත් ටික දිනකින් මිය යනව...මිය යන්න දවස් තුනකට කලිං ඔහු දින පොතේ මෙහෙම ලියනව......

මිදුලේ ගහේ පීදෙන රන් තැඹිලි වලු....
අම්මා අරක් ගත් කුස්සියෙ අඟුරු අළු.....
අලියා වැටුන වැව අසබඩ අගුණ දළු......
මේවා නොදැක මං හෙමිහිට මැරෙණවලු.....

බුද්ධ ශාසනයට මහත් සේවයක් කළ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර ජීවත් වුනේ අවුරුදු 35 යි....ඔහු මිය යන්නෙත් පිළිකා රෝගයෙන්.....

වයසට ගිහිං එක් තැන් වෙලා අපේ ගෙදර අනෙක් කාමරයේ ඉන්න රාජ්ය සම්මාන ලාභී කවියෙක් වුන මගේ පියා 1979 මම ඉපදුන වසරේ ගුවන් විදුලියෙ "පද්යාවලී" වැඩ සටහනට මෙහෙම ලියනව....
උපතක් ලබාගෙන මම මෙම මිරිඟු දියේ.....
පදවමි ඔරැව එන සාගිනි වලට බියේ......
ඔරැ කාරයින් මුහුදෙන් කොතනටද ගියේ.....
එතැනට යන්න ඕනෑකම මටද තියේ......

88/89 භීෂණ සමයේ අපේ රටේ වටිනා ජීවිත 70,000 ක් විතර අකාලයේ අහිමි වෙලා ගියා...එතකොට මට වයස අවුරුදු 09 යි...මගේ අයියට 17යි...අයියා ගාලු ගිහිං ගෙදර එනතුරු අම්මා ඉන්නේ මහා ගින්දරක...මොකද ඒ වෙන කොටත් අපි දන්නා කියන කීප දෙනෙකුටම ජීවිත අහිමි වෙලා......
ගුණදාස කපුගේ කියන්නේ ඒ දිනවල වැඩියෙන්ම මරණ තර්ජන තිබුණ කලා කරුවා කිව්වොත් ඒක වරදක් නෙවෙයි...නන්දා මාලිනියත් මහාචාර්ය සුනිල් ආරියරත්නත් ජීවිතේ බේර ගන්න රටින් පැන ගත්තත් කපුගේ ගියේ නැත්තේ ඔහුගේ කුමක් හෝ සාධාරණ හේතුවක් නිසා වෙන්න ඇති...කොහොමවුනත් එක්තරා අවස්ථාවකදි ඔහුගේ මාරයා ඔහු අසලටම එනව..වාසනාවට ඔහුට ඊට මොහොතකට කලින් ඒ පණිවුඩය ලැබෙනව...හදිස්සියේ කළ යුත්තේ කුමක්දැයි සිතා ගැන්න බැරි වන ඔහුට හුණු පිටියේ ගංඟාරාමය සහ එහි බොහෝ කාලයක් වැඩ සිටින රඹුකන සිද්ධාර්ථ හිමියන් මතක් වෙනවා...සිද්ධාර්ථ හිමි මාතර දෙනියායේ රඹුකන කියන ගමේ ඉපදුන කෙනෙක්...කපුගේ ගාල්ලේ ඇල්පිටියේ.....දකුණේ කෙනෙක් සාමාන්යෙන් තවත් දකුණේ කෙනෙකුට අසරණ මොහොතකදි කොන්දේසි විරහිතව උදව් කරන ගතියක් මම අත්දැකීමෙන් දන්නව.....එදා ඔහුගෙ ජීවිතය ගලවා ගන්න හැකිවෙන්නේ ඒ නිසා....මොකද එවකට පැවති රජය හුණුපිටියෙ ගංඟාරාමයට අත තියන්නෙ නැති නිසා.....කොහොම වුනත් මේ සිද්ධිය රඹුකන හිමියන්ගේ සිතේ මහත් සංවේගයක් ඇති කරන්නේ මිනිස්සු මරණය හමුවේ කොතරම් අසරණද කියල.....පස්සේ කාලෙක හිමියන් එදා කපුගේ අසරණවෙලා සිටි ආකාරය සිහි කරමින් මෙසේ ලියනව....

පිහිටක් නැති…..සරණක් නැති
සතුටක් ඇති …….මුහුණක් නැති
මේ සසර දනව්වේ...අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා...
බුදු හාමුදුරුවනේ.........
හබලක් නැති ......ඔරුවක් ඇති....... මිනිසුන් වෙති වෙරළක් නැති...
මේ සසර දනව්වේ...අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා...
බුදු හාමුදුරුවනේ.........
නිවනක් ඇති .......ගෙදරක් නැති .......ගමනක් වෙති බෙර සක් නැති
මේ සසර දනව්වේ...අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා...
බුදු හාමුදුරුවනේ.........

"නත්ථිමේ සරණං අඤ්ඤං - බුද්ධෝ මේ සරණං වරං"
"නත්ථිමේ සරණං අඤ්ඤං - ධම්මෝ මේ සරණං වරං"
"නත්ථිමේ සරණං අඤ්ඤං - සංඝෝ මේ සරණං වරං"

පද ගෙත්තම : රඹුකන සිද්ධාර්ථ හිමි
සටහන : චාමර වන්නිආරච්චි
(පළමු කවි දෙක සදහා අනුග්‍රහය : රත්න ශ්‍රී විජේසිංහ මහතා )


https://www.youtube.com/watch?v=8l_dMiR23w0


Comments

Popular Posts