අපේ සබඳකම් නෑ රිය සක දන්නේ....

පේරාදෙණිය සරසවියේ ඉගෙන ගන්න මට අවස්ථාව නොලැබුණත් මා උසස් අධ්යාපනය ලබන අතරතුර කීප වතාවක් “පේරෙ” ගිහින් නැවතිලා ඉඳල තියෙනව....හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරය,ජයතිලක නේවාසිකාගාරය වගේම රාමනාදන් නේවාසිකාගාරයත් ඉඳල තියෙනව....සරත්චන්ද්ර එලිමහන් රංග පීඨය(වල),අක්බාර් පාලම වගේම මහවැලිය හරහා තියෙන "යකා පාලමත්" අනෙකුත් සියලුම ස්ථානත් අති සුන්දරයි.......සරසවි හන්දියේ ඉඳල එක දවසක් මම තනියම හැන්දෑවෙ “ගලහ” ගියේ කුඩා ලොරියක නැගල...මගේ පාසල් මිතුරෙක් සේවය කල තේ වත්ත තිබුණෙ බෙල්වුඩ් කලා ගම්මානය අසලින් දිවෙන පාරේ ටික දුර ඇවිද ගියාම...නිල්ලඹ භාවනා මධ්යස්ථානයත් තියෙන්නෙ ඒ හරියෙ සුන්දර කඳු ගැටයක් මත.......මට නම් හිතෙන්නේ ලංකාවේ සුන්දරම පෙදෙස ඒ පැත්ත කියලයි.....

බස්නාහිර පලාතෙ වෙරළ බඩ දිළිඳු පවුලක තරුණයෙක් බොහෝ අපහසුතාවයන් මැද්දේ පේරාදෙණිය සරසවියෙ ඉගෙන ගන්න යනව.......කාලයාගේ ඇවෑමෙන් ඔහුට පෙම්වතියක් හමුවෙනව....ඇය මහනුවර ධනවත් රදළ පවුලක තරුණියක්....ඔහුගේ තිබුණ ආකර්ශණීය බව නිසාම ඇය ඔහුට ආදරය කරන්න පටන් ගන්නව....පේරාදෙණිය සරසවිය ඇතුලෙත් මහනුවර නගරයෙත් බොහෝ තැන්වල ඔවුන් දෙදෙනා වසර හතරක්ම සැරිසරන්නෙ බොහොම සැහැල්ලුවෙන්...වැස්ස දවසට පේරාදෙණියත් මහනුවරත් කඳු අතරෙ මීදුම ගලලා,පාට දේදුනු පායල මවන්නේ අමුතුම චමත්කාරයක්...ඒකට එම පෙදෙසේ පදිංචිකරුවන් මෙන්ම එහි ගොස් ඇති ඕනෑම කෙනෙක් ශාක්ෂි දරනව.....

දෙදෙනාම සරසවියෙන් සමුගන්න දවස් ලංවෙනව...ඇයගේ දෙමාපියො ඇයට මහනුවර ධනවත් රදළ පවුලකින් විවාහ යෝජනවක් ගෙනෙනවා...ඔහුත් කඩවසම් තරුණයෙක්....තමන්ගෙ සරසවියෙ පෙම්වතා ඉතා දිලිඳු පවුලක කෙනෙක් බව හොඳින්ම දන්නා ඇය ඔහුගෙන් වෙන්වෙලා දෙමාපියන්ගේ යෝජනාවට කැමති වෙනව..... සරසවියෙ තරුණයා ඇයට කොතරම් ආදරය කලත් තමන්ට ඇය සමග ජීවිතේ ඉදිරියට යන්න බැරි බව තේරුම් ගන්නවා.......ඔහු ඇයට යන්න දීල හිත හදා ගන්නේ අමාරුවෙන්..... රූපවාහිනියක්,පරිඝණකයක් ප්ලග් එක ගලවල එක පාර නවත්වනව වගේ මානව සම්බන්ධතා එක වර නවත් වන්නේ කොහොමද....?... ඉන් පස්සෙ ඔහු ගෙවන්නෙ හුදෙකලා දිවියක්.. ඒක ඔහුට පීඩාවක් වෙන්නේ වසර හතරක් තිස්සේ ඇයත් සමග සෙංකඩගල සුන්දර පෙදෙසේ ගෙවුන මිහිරි මතකයන් වක්කඩ කැඩුව වගේ ගලා ගෙන ඇවිත් හුදෙකලා සිත රිදවන නිසා.....දැන් ඔහුට අවශ්ය වෙන්නෙ ඉක්මනින් රස්සාවක් හොයාගෙන තමන්ගේ පවුලේ අය ගොඩ ගන්න උදව් වෙන්න.......

එක දවසක් මහනුවර වීදියක කුඩයකුත් ඉහලගෙන මේ තරුණයා යන්නෙ මහ වරුසාවක.... සරසවියේ අවසන් පරීක්ෂණය තවම පවත්වා නැතත් පහු වෙනිදා රස්සාවකට සම්මුඛ පරීක්ෂණයකට කොලඹ එන්න කියල ලිපියක් ලැබිලා ඔහු යන්නේ මහනුවර දුම්රිය ස්ථානය පැත්තට.........වීදිය පුරාම තැනින් තැන වතුර දෝරෙ ගලනව.......ඇඟේ මඩ නොගෑවෙන්න ඔහු ගන්නේ පුදුම උත්සාහයක්....මෙහෙම යන අතරෙ එකපාරටම මහා මඩ වතුර පාරක් ඔහුගේ මුලු සිරුරම නහවමින් එල්ලවනව...මෙයින් කෝපයට පත් ඔහු එක්වරම එම වතුර එල්ල වුන කාර් එක දිහා බලන්නේ රියදුරාට බනින්න හිතාගෙන...ඒත් ඔහුගෙ ආවේගය එම පාරටම නැතිවෙනව……

“......හ්ම්.....ඒකත් එහෙමද ? ”
කාර් එක ඇතුලෙ ඉන්නෙ ඔහුගේ පරණ පෙම්වතිය......තමන්ගේ අලුත් පෙම්වතා එක්ක සතුටින් විහිලු තහලුවේ යෙදෙමින් ඇය ඉදිරි අසුනේ යන්නෙ මහා වැස්ස ගැනවත් ඔවුන්ගේ කාර් එකෙ රෝදයේ මඩ වතුර පහරින් නැහැවුන තරුණයා ගැන කිසිදු තැකීමක් නොකර........ මොකද කාර් එකේ උණුසුම තීරණය කරන්නේ එහි තියෙන වායු සමීකරණය නිසා....ඇයට එයින් පිටත් ගැන කිසිම ගානක් නැහැ...... මඩ වතුරින් තෙමුනු තරුණයා දෙස රිය කවුලු දොරින් බලන ඇය ඔහු කවුදැයි හදුනා ගන්නේ නැහැ.......

"අපි මොනව කරන්නද....අපි හිතල ඌට වතුර ගැහුවෙ නැහැනේ......පිස්සෙක්.......ඔන්න අපි යමු අනේ..ඌ වතුර පිහදාගෙන යන තැනක යාවිනේ.....නොන්සන්ස්........"

රිය ඇතුළේ උණුසුම ඔබට දිදී .....
නහවයි මා.....රියසක මඩ වතුරේ....
නෑ සිත රිදුනේ....අදත් එදා සිහිවේ...
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ....

අදුරු ලලා ..සෙංකඩගල වැස්සේ..
දිය දහරා පාටයි ..දේදුන්නේ....
තෙමී..තෙමී..ආදර මධු වැස්සේ...
ගිය දෙදෙනා ..අද යනවා දෙමන් තලේ...

මුතුකුඩ ඉහළන මල් වරුසාවේ...
උඩ ඉගිලෙන විට වැහි ලේනි..
එබී බලා රිය කවුලු දොරින් යටගිය දවසේ...
දෑස ගියා ඉගිලී....

මේ සටහන ලියන මම තාරුණ්යයේ කඩ ඉමත් පසුවෙලත් තවමත් හුදෙකලා තනිකඩ මිනිසෙක් වෙලා ඉන්නෙත් නිකම්ම නෙවෙයි......

උයන් තෙර තුරු ලතා දාහයෙන් වියැලිලා
පිණි අතුළ තණ නිල්ල අප නැතුව මැලවිලා
ඔබද මා ගමන්ගත් මංපෙතද ඉරි තලා
සුහදිනිය මා වෙතින් වෙනතකට ඉගිලිලා......

මේ කවිය මම ලියුවේ 2003 වසරේ මාර්තු මාසේ 18 වැනිදා සරසවියෙ අවසන් වසරෙදි…...එතකොට මට වයස අවුරුදු 23 යි.....ඒක මම ලියපු අවසන් "ආදර කවිය".......

පද ගෙත්තම : ලූෂන් බුලත්සිංහල
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=Ux5emZ0Lfm8


Comments

Popular Posts