හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ……

බස්නාහිර වෙරළබඩ රත්මලාන පෙදෙසේ පැල්පත් වාසීන් අතර පවුලක් වාසය කළේය...කොතරම් අග හිඟ කම් තිබුණත් එම පවුලේ සාමාජිකයන් අතර කිසිදු අසමගිකමක් නොවීය....
මේ පවුලේ වැඩිමහල් පුතා ඉගෙනීම සහ තවත් බොහෝ දේට දක්ෂයෙක් විය.......ඔහුට අඳින්නට ලැබුනේ ඔහුගේ ඥාති පවුලක ලොකු අයියා කාලයක් භාවිත කළ ඇඳුම්ය.....ඒ කාලයේ රජයෙන් පෙළ පොත් ලබා නොදුන් අතර බොහෝ විට වෙනත් අය භාවිත කළ පොත් සොයාගෙන ,ඒවා ඉල්ලාගෙන ඉගෙන ගැනීමට ඔහුට සිදුවිය....... මේ කියන්නේ පනහේ දශකය ගැනයි……

එම පැල්පතේ සෙවිලි කර තිබූ පොල් අතු මුහුදු සුලඟ නිසා නිතරම සෙලවුන අතර වැසි දවසට හිරිකඩවලින් අඩුවක් නොවීය...නිරාහාරව සිටීමට සිදුවූ දවස් එමටය...ඇතැම් දිනක ඔහුට උදෑසන ආහාරයට ලැබෙන්නේ ලුණු කැඳ ටිකක් පමණි...එහෙත් කිසිදා ඔහු මේ අපහසුතාවන් වෙනුවෙන් තම මවටත් පියාටත් එක වචනයකින් වත් දොස් නැගුවේ නැත...

ඉඳහිට මොලවන ලිපත් දනී පුත
කැඳ රස සුණු සහලේ
දිව බොජුනක් මෙන් දිව ගා හැල්මෙන්
අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා
හඬවාපන් මේ රෑ යාමේ…………

තම පුත්රයාගේ මෙම හැසිරීම මවට මහා දුකක් ගෙන දුන්නද ඇයට ඔහු ගැන ආඩම්බරයක් සහ මහා විශ්වාසයක් තිබුනේ ඔහු කවදා හෝ මෙම දරිද්රතාවයෙන් තමන් මුදවා ගනු ඇති බවටයි.....
වෙනත් කුඩා දරුවන් ඉල්ලා අඬන සෙල්ලම් බඩු ,රස කැවිලි විකුණන කඩ අසලින් ඔහු යන්නේ අහක බලාගෙනය…. මක්නිසාදයත් ඒවා තමන්ට මිලදීගෙන දීමට තම දෙමාපියන්ට මුදල් නැති බව හොඳින්ම දන්නා බැවිනි....

පුංචි පැටික්කන් මග දිග හඬවන
සිල්ලර රස කැවිළි
දිවයන ඉගිලෙන විසිතුරු
සෙල්ලම් යානා පෙනී
අහක බලාගෙන මඟදිග යනවිට
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ……..

මේ සටහන ලියන මටද මෙවැනිම සිද්ධි මගේ ජීවිතයේද තිබුණ බව මතකය...05 වසර ශිෂ්යත්වය සමත්ව මා නගරයේ පාසලට ඇතුළත් විය....පෙරදිග සංගීතය මගේ ආසම විෂයයක් විය...වයලීනය වාදනය කිරීමට ආශාවක් තිබුණත් මට වයලීනයක් මිලදීගෙන දීමට තරම් දෙමාපියන්ට නොහැකිවූයේ මගේ අක්කලා දෙන්නා සහ අයියා ඒ වනවිටත් අධ්යාපනයේ යෙදෙමින් සිටි නිසා ඔවුන්ගේ අවශ්යතාවන්ද සපුරාලීමට මගේ දෙමවුපියනට සිදුවූ නිසාය...කෙසේ වෙතත් මට බට නලාවක් ලැබිණ.... මා එයින් සතුටු විය.... පා පැදියකට මා ඉතා ආසාවෙන් සිටියත් මට පදින්නට සිදුවූයේ පියාගේ අබලන්වූ පා පැදියයි....පසුව බ්රෑන්ඩ් නිව් හයිබ්රිඩ් කාර් භාවිත කරන විට එම අතීතය සිහි නොවෙනවා නොවේ....

මෙම දරුවා කොතරම් ඉගෙනීමට උනන්දු වූවත් යහලුවන් සමඟ අවට පිහිට් ඇලේ තෙප්පම් පැදීමටත් වෙරළේ සෙල්ලම් කිරීමටත් ගියේය......මෙවැනි දේ නිසා ඇතැම් විට ඔහු නොමඟ යයිදෝ හැඟීමක් මව තුළ තිබුණත් ඔහු කවදා හෝ ශිල්ප හදාරා සක්විති රජෙක් මෙන් වැජඹෙනු ඇති බවට පියාගේ සිතේ විශ්වාසයක් තිබිණ......

පුතුනේ අකුරට යන්න පමාවේ
ගුරු සිත රිදිලා වේවැල හඬවාවි
ඇලේ දොලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩුවූ දා
දුක් වේවවී අම්මා....

කොතරම් අඩුපාඩුකම් තිබුණත් ඔහුගේ මුහුණේ තිබුණ ශ්රීයාවන්ත බව ඔහු අනාගතයේ ලොවට වටිනා කෙනෙක් වනු ඇති බවට පියාගේ සිතේ විශ්වාසයක් ඇතිකිරීමට සමත්වූ පෙර නිමිත්තයි....
වේල දෙවේලේ කුස ගිණි නොබලා
කඩ මලු ඇන්දත් පිං කඳ බැබැලෙනවා
කලට රුවන් වැසි වස්සන කාලේ ශිල්ප උගත් දා
නුඹ සක්විති වෙනවා…

බොහෝ දුෂ්කරතාවයන් මැද පාසල් අධ්යාපනය නිම කරන මෙම තරුණයා පේරාදෙණිය සරසවියට ඇතුල් වෙන්න වරම් ලබා ගත්තේය.....පසු කලෙක ලංකාවේ විශිෂ්ඨ නිර්මාණකරුවකු වන ඔහු තමන්ගේ අතීතය ආවර්ජනය කරද්දී තමන්ගෙ මව තමන් ගැන සිතූ අයුරු,

රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹ සිරියහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ……

ලෙසත්,පියා ඔහු ගැන සිතූ අයුරු,

පිණි බර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වට කර ලිප ගිණි මෙලවෙනාවා
කොලඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා……….

ලෙසත්,වෙන වෙනම ගීත දෙකක් ලෙස මුදා හැරියේය.....

මට නම් සිතෙන්නේ ඔහු කියන්නේ මමත් ඇතුළු අපේ රටේ පහල මධ්යම පංතියේ මීට දශක කීපයකට පෙර පොදු කතාව බවයි.......

පද ගෙත්තම : ලූෂන් බුලත්සිංහල
සටහන : චාමර වන්නිආරච්චි

Comments

Popular Posts