පවුකාරයාට ගල් ගැසීම...........

ඊයේ කොලඹ ගිහින් chemotheraphy injection එක විදගෙන ආපහු එනකොට හවස් වුනා....හැමදාම වගේ මගේ සහයට ගියේ පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස කලුතර පොලිස් අභ්යාස විදුහලේ සේවය කරන පාසල් කල්යාණ මිතුරෙක්වුන ප්රභාත් නිශාන්ත සහෝදරයා........අපි දෙන්නා විවිධ විෂයයන් ගැන කතා කරමින් එනකොට මහරගම බුවනෙකබා විදුහල ඉදිරිපිට යකඩ වැටට හේත්තුවෙලා කාන්තාවන් දෙදෙනෙක් සිටියා...මා ඒ ගැන අවධානයක් නොවුනත් ප්රභාත් එකපාරම කිව්ව....

" චාමර ,පොඩ්ඩක් වම් පැත්ත බලන්නකො...ෂුවර් එකටම ............ දෙන්නෙක්...."

"උඹ කොහොමද එහෙම හරියටම කියන්නේ"......

"යකෝ, මම හබරාදුව පොලීසියේ OIC වෙලා ඉන්න කාලේ උණවටුනෙ ඉදං කොග්ගලටම යනකං වෙරළ අයිනේ ඔය වගේ cases කීයක් නං handle කරල තියෙනවද ?"

ඉන් එක් කාන්තාවක් මැදි විය ඉක්මවා තිබුණු අතර අනෙක් කාන්තාවට තවමත් අවුරුදු විස්සක්වත් නැති තරම්ය....සමහර විට මව සහ දියණියදැයි මම නොදනිමි....

2012 සිට 2015 නොවැම්බර් දක්වා මා සේවය කළේ කොල්ලුපිටියේ British Counsil එක ලග Holcim Head Office එකේය......meetings,conferences,workshops,trainings etc.....ඇතුළු තවත් බොහෝ දේ අවසන් වී මා බොහෝ විට car එකේ තනිවම යන්නේ රෑ බෝවීය...ගාලු පාරෙදී සහ තවත් බොහෝ මාර්ග වල car එක නවත්වන තුරු රාත්‍රියට බලා සිටින ලස්සන කාන්තාවන් ඔනෑ තරම් සිටි බව මට මතකය...

රජගහ නුවර අඹ වනයක ලස්සන පොඩි කෙල්ලෙක් අනාථ දරුවෙක් ලෙස උපදිනව...එහි දිවි ගෙවපු අභිසාරිකාවක් ඇය හදා වඩා ගන්නව...එම අභිසාරිකාව ලඟ සිටි මෙම දැරිවිය නව යොවුන් වියට පත්වූ වහාම ඇය මගධයේ රජුවූ බිඹ්බිසාර නම් තරුණ රජු විසින් කලක් තමාගේ අන්තහ් පුරයේ තබාගෙන ඉඳල පසුව එලවා දමනව...ඇයට යන එන මන් නැතිවෙන නිසා විශාල මහනුවරට ගිහිං අභිසරු ලියක් බවට පත්වෙනව...පස්සෙ කාලෙදි සෝවාන් වුනත් බිම්ඹිසාර රජුගේ "කිල්ලොටෙත් " ටිකක් "හුණු" තිබුණ.....

කාලයාගේ ඇවෑමෙන් ලිච්ඡවීන්ටත් වඩා බලවත් වන ඇය ජීවිතය තේරුම් අරගෙන බුදු සසුනේ මහණ වෙලා රහත් වෙනව....බුදු සසුන තියෙන්නෙ වැරදිකාරයන් නිවැරදි කරන්න මිසක් "පවු කාරයන්ට ගල් ගසන්න නෙවෙයි".....පසුව ඇය විසින් දෙසන ථේරී ගාථාවන්ගේ මේ සිදුවීම් තියෙනව.......බුද්ධ ශාසනයේ විනයගරුකම භික්ශුණීන් අතුරෙන් අග තැන් පත් වෙන්නේ "අම්බපාලි රහත් මෙහෙණිය"...බලන්න බුදුන්ගේ "පුරුස ධම්මසාරථී ගුණයක අරුමය "....(ඛුද්ධක නිකාය,ථේර-ථේරී ගාථා පාලි,අම්ම්බපාලී ථේරී ගාථා)
දිනක් ජේසුස් වහන්සේ කදුමුදුනකට වී විවේක සුවයෙන් සිටින අතර ටික දුරක් ඉන් ඔබ්බට සක්මන් කරන්නට විය.....එකවර කෝලහාල හඬක් ඇසුන නිසා ඒ දෙසට ගමන් ගත් ජේසුස්ට දකින්න ලැබුනේ අත්වල කලු ගල් අමෝරාගත් පිරිමින් කණ්ඩායමක් සුන්දර තරුණ පෙනුමැති කාන්තාවකට තම අතේ ඇති ගල් එල්ල කරගෙන සිටින බවයි....සිදුවන්නට යන දෙය තේරුම් ගත් ජේසුස්.......

"දරුවනි,ඔබලා කුමක් සදහා සැරැසෙන්නේද ?"

“ස්වාමීනි,මැය පවිටු ස්ත්රියකි....ප්රසිද්ධ ගණිකාවකි....මැයගේ පාපකාරී හැසිරීම නිසා අපේ තරුණයින් නොමඟ යති......මැය සමාජයටම මහත්වූ පිළිලයකි..."

"ඉතිං ඔබලා කුමක් සදහා සැරසෙන්නේද දරුවනි ?"

“අප මැයට ගල් ගසා මරාදැමීමට සැරසෙන්නෙමු පියාණනි..."

"එය ඉතාම අගනේය දරුවනි...එසේ නම් ඔබලා අතුරින් කිසිදු පාපයක් සිදු නොකළ තැනැත්තා ඇයට පළමු ගල ගැසිය යුතුයැයි මම යෝජනා කරමි දරුවනි...."........

පිරිස එකිනෙකාගේ මුහුණු දෙස බලන්නටත් ,හෙමින් සීරුවේ තම අත්වල ඇති ගල් බිම දමා ආපසු හැරී යන්නටත් විය...ඇයට ජීවිත දානය ලැබිණ.... ඇයගේ කුඩා දරුවාගේ මුහුණුවර තිබුණ පිරිමියෙක් මෙන්ම නිතර ඇය හොර රහසේ හමුවෙන්න එන පිරිමිනුත් එතන සිටියේ දෛවයේ සරදමකට වාගේය....

අම්බලංගොඩ් ඉපදුන දක්ෂ ගායකයෙක් වන ඉමාන් පෙරේරා ගායනා කරන මේ ගීය ලියල තියෙන්නේ බ්යිබලයේ "පවුකාරයාට ගල් ගැසීම" කතාව ඇසුරින්....

ලොවට හොරා නුඹ අම්මවූ වග
ලොව දැනගත් දවසේ......
අහස කඩා වැටුනා......
නුඹ හිස මත අහස කඩා වැටුනා....
පහස සොයා නොව අහර සොයා ගිය
ගමනක අවසානේ.....
කුසට බරක් දුන් අත හිත පෑවුන්
සැගවුනි නෙත් මානේ…….
පවිටු ලඳට ගල් ගසනුය මොර ගෑ
නොමිනිස් අධිකරණේ....
පියෙකු නොමැති නුඹෙ බිළිඳුගෙ රුව සතු
කෙනෙකුත් උන්නානේ……..

රජරට මිහින්තලේ ඉතාම පිටිසර ගම්මානයක උපදින කුඩා කාලයේම පියා අහිමිවුන තරුණයෙක් මවගේ අධික වීර්යය නිසාම බොහෝ දුෂ්කරතාවන් මැද්දේ උසස් අධ්යාපනය වෙනුවෙන් මහනුවර ඇවිත් නවතින්නේ පහසුකම් අඩු විවිධ දේවල් වල නිරත තරුණයන් පිරිසක් ඉන්න බෝඩිමක........නිතර නිතර "බෝතල් පාටි" වලින් අඩුවක් නුවුන මේ බෝඩිමේ එක අයෙක් වෙනස් යෝජනවක් කරනව......එක් දවසකට අභිසාරිකාවක් ඔවුන්ගේ බෝඩිමට රැගෙන එන්න...තමන්ගේ අම්මා තමන් වෙනුවෙන් ගෙවපු කටුක ජීවිතයත් එවැනි තවත් බොහෝ අම්මාවරුන් විදින පීඩාවනුත් ගැන හොඳින් දන්න මේ රජරට තරුණයා පමණක් එම යෝජාවට විරුද්ධ වුනත් අනෙක් සියලුම අයගේ "ඒකමතික තීරණයෙන්" එය ස්ථීර වෙනව....සෙනසුරාදා දිනෙක ඔවුන්ගේ ඉල්ලම අනුව මැදිවිය නොයික්මවූ කාන්තාවක් බෝඩිමට එනව...සියල්ල සිදුවෙන විට අර තරුණය පැත්තකට වෙලා ඉන්නව...තරුණයන්ගේ සියලුම කටයුතු අහවර වූ විට ඇය දකිනව මේ තරුණයා පිටතට වෙලා ඈත බලාගෙන ඉන්නව......

"ඇයි මහත්තය එන්නේ නැද්ද ?......"

"නෑ මට එපා"......

"වැඩේ ඉවර නම් මෙතනින් ඉකමනට යන්න...තවත් කරදර නොකර"...

"සමාවෙන්න මහත්තයා...මම ගිය කිසිම තැනකදි මහත්තය වගේ කෙනෙක් නම් හමුවෙලා නෑ...තරහ නැතුව මට වතුර ටිකක් දෙනවද...උදේට කෑවට පස්සේ තවම මුකුත් නෑ මහත්තයා......"

“ඔතන පිටිපස්සේ කෑල්ලෙ ගැලුමක තියෙනව අරගෙන බොන්න”

"තමුන් ගැන කැමති නම් මට විස්තර ටිකක් කියනවද.."

"අපොයි මට බයයි මහත්තය..මහත්තයා පොලීසියට කිව්වොත් මගේ ළමයි දෙන්නම අනාථ වෙනව..."..
"නෑ ....නෑ .....කියමු බලන්න...තමුන්ට මම ගැන වෙනසක් දැනුනෙ නැද්ද මම තමුන් ලඟටවත් ආවෙ නැති නිසා...."

“ඒ නිසා තමයි මහත්තයෝ මම වැඩියෙන්ම බය....මොකද ලේසියෙන් පිරිමියෙකුට එහෙම ඉන්න බෑ.....මට බයයි මහත්තයා පොලීසියෙද කියල..."

"හරි තමුන්ට කැමති නම් කියන්න...නැත්තම් ඉකමනින් මෙතනින් යන්න..."

"මම මෙහෙ හිටියට මුල ගම මහියන්ගණේ මහත්තයා..... මම පුංචි කාලේ තාත්ත වස්ගමුවෙන් ගං වැදුන අලියෙක් ගහල ලග්ගලදි නැතිවුන නිසා අම්මගෙ දෙවෙනි කසාදෙ කරගෙන හසලකට ආව..ඒකෙන් මට බාප්පගෙන් ගොඩාක් කරදර උනා...ඊට පස්සෙ මන්ත්රී කෙනෙක්ගෙනුත් එයාගෙ යාලුවොන්ගෙනුත් මට පුදුම දුකක් ලැබුණ .....ඒව වුනෙත් බාප්ප දැනුවත්ව එයාට සල්ලි හම්බුන නිසා...පස්සේ බාප්ප මාව ගෙදරින් එලව ගත්ත...ඊට පස්සෙ තව බොහෝ දෙනෙක් මාව හපයක් කළා මහත්තයෝ..."

"ඒව ගැන කියනකොට මගේ පපුව හිරවෙනව වගෙ..."

"හරි හරි..... ඒ ඇති වතුර ටික බීල ඉක්මනට යන්න...මෙතන රුපියල් පනහක් තියෙනව මේක මගේ සතියක වියදම..මේකත් අරගෙන යන්න..ළමයින්ට මේකෙන් ඉගෙන ගන්න මොනව හරි අරන් දෙන්න......ඕක මට එව්වෙත් මගේ අම්මා හේන් ගොවිතැනෙන් ලැබුණු සල්ලි වලින්...උන්දැටත් පිනක් වෙන්න ඕක ගන්න.."

"අනේ පොලීසියට කියන්නනම් එපා බුදු මහත්තයෝ... එක දරුවෙක් මොන්ටිසෝරියෙ.....පළමු වැනියා තුනේ පංතියෙ මහත්තයො...මට රෑට මේ රස්සාව කරගන්න බැරි එයාල දෙන්නා නිසා තමයි මහත්තයෝ.....කොහේ ගියත් මම හවස් වෙන්න කලිං ගෙදර යන්න ඕන..දැන් මගේ අම්මත් ඉන්නෙ මා එක්ක...ළමයි දෙන්න බලාගන්නේ අම්ම.....මම කරන්නේ මොකද්ද කියල එයාල දන්නේ නැහැ මහත්තයෝ...දැනගත්ත දවසක එයාලා මට බැනල එලවා ගනීවි.....ඒත් එයාල කොහොමහරි ලොකු මහත් කරන්න ඕනනේ.අම්මනන් දන්නව..ඒත් එයාත් පාරට වැටෙනව මම මේක නැවැත්තුවොත්.......මෙහෙම හරි මගේ ජීවිතේ ගැන ඇහුවෙ මහත්තයා විතරයි......මම යන්නං..."

මේ සත්ත්ය සිදුවීම ගුවන්විදුලියේ වැඩසටහනකදි මා මුලින්ම දැනගත් දවසේ මට මතක් වුනේ දකුණේ තවත් සුවිශේෂී කලාකරුවකු වන දෙනගම සිරිවර්ධනයන් විසින් හම්බන්තොට දිවි ගෙවූ අසරණ යුවතියකගේ සත්ත්ය ජීවිතය ඇසුරින් ලියූ අනුවේදනීය නවකතාව වූ "අයෝමා"ය...මේ කියන තරුණිය තවත් අයෝමා කෙනෙකි....

ජීවිත කාලයේ තනිකඩයෙක් ලෙස මම බැංකොක් ,හොංකොං,හැනොයි,ටෝකියෝ,මුම්බායි,දිල්ලි,කත්මණ්ඩු,ශැන්හයි,ඔසාකා,යොකෝහාමා,හිරොෂීමා,නගෝයා,නාරා,කෝබේ,චෙන්නයි,අහමදාබද්,ධරම්සාලා,ශ්‍රී නගර්,ශිම්ලා,මනාලි,බෙයිජින් ඇතුළු නගර වලතවත් බොහෝ "විවෘත කාමයන් සහිත" නගර වලත් ඇවිද ඇතත් කිසිදා අභිසාරිකාවන් හමුවට නොගියේ මේ අයෝමාවන් දෙදෙනා මගේ සිතේ මුද්රාවක් මෙන් සටහන්වී තිබූ නිසා යැයි කිව්වොත් එය නිවැරදිය.

මා තායිලන්තයට ගියේ අජාන් මුං සහ අජාන් මහබූවා හිමිවරුන් වැඩසිටි “වට් පා බාං තාඩ්”,අජාන් චා හිමි වැඩසිටි “වට් බා පොං” සහ අජාන් සුමේධෝ,අජාන් ජයසාරෝ සහ අජාන් බ්රහ්මවංසෝ හිමිවරුන් වැඩසිටි “වට් පා නනචට්” මෙන්ම ලක්දිව සියම් නිකායේ ආදිකතෲවූ උපාලි හිමියන් වැඩසිටි “වට් මහාතාට්,නකොං පතොං,අයූත්යා” නැරඹීමටය ..බොහෝ දෙනා "පතායා" යනවිට මම යන්නට සිතුවේ ඉහත ආරණ්ය වලටය...
එක දවසක හන්දෑවේ මා තනිව්ම බැංකොක් නගරයේ අතුරු වීදියක ඇවිද යද්දි පාර දෙපසවූ මසාජ් සෙන්ටර් වල තරුණියන්ගෙන් මට පණ බේරාගත හැකිවූයේ අනූනමයෙනි.. “මසාජ්...මසාජ්” යනුවෙන් හයියෙන් කියන ඔවුන් ලඟට ඇවිත් “බුං ..බුං” යැයි කියති......ඔවුන් දුටු විට අවිවාහක ,ඒ වන විටත් "බ්රහ්මාචාරීයකුවූ" මගේ හදවත බොහෝ සෙයින් තිගැස්සිණ..... මා එම වීදිය දිගේ ගියේ ලාංකිකයකු විසින් පවත්වාගෙන් යන "මානෙල් හොටෙල්" එකෙන් රෑ කෑම ගැනීම සදහාය...ඒ වනවිට තායි කෑම මට එපා වී තිබිණ…..

මා නැවතී සිටි "බැංකොක් පැලස් හෝටලයට" ඉක්මනින් පැමිණි මම පැයක් පමණ යනතුරු "මහා දෙගිඩියාවකින්" පීඩා වින්දෙමි....යනවද ? නැද්ද ?......යනවද ? නැද්ද ?........මා අවිවාහක තනිකඩයෙකි....බැංකොක් වලට ගියේද තනිවමය......කාගෙන් අවසර ගන්නද ?........එහෙත් කාමරයේ දොර හරින්නට හදනවාත් සමගම මට බුදුන්ගේ මා ගුරුකොටගත් අවවාදයක් සිහිවිය....”අවෙප්ඵඨිසාරත්ථං ආනන්ද කුසළාණි සීලාණි”...”ආනන්ද, ඔබ දිනයෙක විපිළිසරව අසරණවූ මොහොතක ඔබට පිහිටට එන්නේ ඔබ විසින් කරන ලද කුසළයත් ඔබ විසින් රකින ලද සීලයත්ම පමණි”...මම දොරවසා නිදාගත්තෙමි...... රෝගීව එක්තැන්ව ගතින් ගිලන්ව සිටින මාගේ සිත ගිලන් නොවූයේ ඒ නිසාවෙන් යැයි මට සිතේ... ඒ ගැන සිතෙන විට මට දැන් අත්තේ පුදුම සතුටකි....

සිග්මන් ෆ්රොයිඩ්ගෙ,එරික් ෆෝම්ගෙ, කාල් ජුං වගේම නිරුවත් වානරයා(The Naked Epe) සහ මනුසත් උයන(The Human Zoo) කියන පොත් ලියපු ඩෙස්මන් මොරිස්ට අනුව නම් කාන්තාවන්ට පිරිමින් බාහිර ආකාර්ෂණය වන්නේ ඔවුන්ගේ ලැම පෙදෙසටත් පසු පෙදෙසටත් තමයි බහුලකොටම...ඒත් එහෙම හැඟීමක් ආපු වෙලාවකට මහරගම පිළිකා රෝහලේ කාන්තා වාට්ටුවල පියයුරු පිළිකාවන්ගෙන් අනන්ත දුක් විදින අය දකින්න යන්න කියල මම ඔබට යෝජනා කරනව......බුදුන් කියන්නේ කාන්තාවන්ගෙ සිරුරේ තිබෙන 'වක්ර" හැඩැති රූපයන් තමයි පිරිමින් මෝහනය කරන්නෙ කියල...කවදා හෝ "සැබෑම විරාගය" අත් විඳින්න නම් එම වක්ර සියල්ල "සරළ රේඛා" බවට පත් කොට දකින්න කියලයි උන්වහන්සේ දවසක් ආනන්ද හිමියන්ගෙ "රොඩී ගෑනු හුටපටෙන් පස්සේ" උපදෙස් දුන්නේ…….

ඒත් මේ අභිසාරිකාවන්ගෙ උඩින් තියෙන ලැම විතරක් දකින ලය නොදකින පිරිමින්ගෙ පාප කඳට අවසනදී කරගහන්න වෙන්නෙත් දෝස විදින්න වෙන්නෙත් ඇයටම තමයි....

පසුවදා සවස මේ රජරට තරුණයා දළදා මාලිගාවට යන්නෙ සිතේ ඇතිවුන කම්පනය නිසා ටිකක් නිසංසලේ ඉඳලා සංසුං වෙන්න හිතාගෙන…… ඔහු මාළිගාවේ තාප්පයට හේත්තුවෙලා ඉන්නකොට සුපුරුදු මුහුණක් දකිනව....හොඳින් ලංවෙලා බැලුවම ඒ අර කලිං දවසේ සන්ධ්යාවෙ තමන්ගෙ නවාතැන්පොලේදි හමුවුන කාන්තාව...ඔහුගෙ සංවේගය දෙගුණ තෙගුණ වෙනව.....ඇය සුදු පාට නෙලුම් මල් ටිකක් ,හදුන්කූර සහ කුඩා පොල් තෙල් බෝතලයකුත් අරගෙන බිම බලාගෙන බුදුන් වදින්න යනව........

බොහෝ වේලාවකින් පසු මාළිගාවෙන් එලියට එන ඇය වෙතට ඔහු ලංවෙනව....

“අනේ මහත්තයා මා එක්ක කතා කරන්න එපා...ඔබ තුමාටත් මිනිස්සු කතා හදාවි.....”

ඔබේ දෑස දැක ගත්තෙමි- සැඳෑ කලෙක ලඳුනේ
දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නෑකම් නොකියන වීදි සරන ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා මුනි කුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි- සැදෑ කලෙක ලඳුනේ
බුදුන් දැක නිවන් දකිමැයි දෙවුරම යන පාර අසන
ඔබද පටාචාරාවකි,ඔබද කිසා ගෝතමියකි
පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ
අදුරේ පවු කරන් දනා එලියෙ රවන ලඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ....
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලදුනේ……

"සියළු සත්වයෝ ,නිදුක් වෙත්වා..නීරෝගී වෙත්වා.සුවපත් වෙත්වා.........! "

පද ගෙත්තම : රංබණ්ඩා සෙනෙවිරත්න
සටහන : චාමර වන්නිආරච්චි

https://www.youtube.com/watch?v=gwHBJVrQ564

Comments

  1. ඔබ අද දින පටන් ගත් ඔබගේ බ්ලොග් අඩවියට මා ඉත සිතින් ආශිර්වාද කරනවා. සංවේදනීය භාෂා විලාශයක් සහිත ඔබගේ ලිපි මේ වන විටත් මා කියවා ඇත. ඔබට නිරෝගී සුවයත් චිත්ත ධෛර්ය්‍යත් ප්‍රාර්ථනා කරමි

    ReplyDelete
  2. මගෙත් සුබපැතුම් සමග නිරෝගීමත් කායික සුවයකින් ද ඔබ දැකීම අපගේ පැතුමයි. බ්ලොග් අඩවිය තුළ ලිපි වඩා පහසුවෙන් කියවීමට බාධාවකින් තොරව ඉඩ සැලසෙනවා ජයවේවා

    ReplyDelete
  3. ඔබේ ලිපි කීපයක්ම මා නෙත් පැහැරගත්තා. එබැවින් ම හිතවතුන් හා බෙදා හදාගෙන රහ බැලුවෙමි.
    ලේඛන ලීලාව මනබඳනා සුලුයි. ලියා ඇති දෑ නැණ වඩනා සුලුයි.

    බ්ලොග් කෙරුවාව අනර්ඝ ය.
    තව තවත් ලියන්නට ශක්තිය ලැබේවා.
    සම්බුදු සරණින් නිදුක් නිරෝගී සුව දිඝාසිරි ලැබේවා කියා මුලු හදින් පතමි.

    ReplyDelete
  4. බ්ලොග් පෝස්ට් එක හොඳයි. ඒත් දිගට කියවන්න ගියාම එපා වෙනව. පෝස්ට් එකක් වුනාම කෙටියෙන් රසවත්ව ලියා තියෙන්න ඕනෙ. නැත්නම් කියවන ජනයා ටිකෙන් ටික ඈත් වෙනව. එතකොට ලියන එක එපා වෙනව. .... ඉදිරියට යාමට සුභ පැතුම්.

    ReplyDelete
  5. සුභ පැතුම්! අප හට මගහැරුණු පරණ ලිපි කියවීමට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete

Post a Comment

Popular Posts