සිටුවරයෝ ලොව සිටිය යුතුය....


මා ලියන සටහනට බොහෝ දෙනා විරැද්ධ වන බව දන්නා නමුත් ඔබේ නිදහස් අදහස් වලට ගරැ කරමින් මෙය ලියමි...
පසු ගියදා කෝටි ගනනක් වටිනා අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මෙරට දැනට සිටින අංක එකේ ව්යවසායකයා වන ධම්මික පෙරේරා මහතා මිළදී ගැනීම ගැන ප්රවෘත්තිය මෙම ලිපියට වස්තු විෂය විය....
ගෞතම බුද්ධ ශාසනයේ අග්ර දායකයාවූ සුදත්ත හෙවත් අනේපිඬු සිටුවරයා වෘත්තියෙන් මුදල් පොලියට දෙන්නකු හෙවත් බැංකු කරැවෙකි...බුදුන් කිසිදා ඔහුගේ ව්යාපාර වලට සම්බන්ධ නොවීය...ඔහුගෙන් ලබාගත් ණය නොගෙවීම නිසා වරක් ඔහු බංකොලොත්වී බුදුන් ඇතුළ මහා සංඝයාට "කාඩි හොදි" නම්වූ කටුක ආහාරය සමග බත් , දානය ලෙස ලබා දුන්නද බුදුන් එය නිහඬව පිළිගත්තා විනා කිසිදා ඔහුගේ පෞද්ගලික ව්යාපාර වලට අත නොතැබීය....ඒ බුදුන්ගේ මහා ප්රඥාව නිසාය....
මීට පෙර ලොව පහළවූ කාශ්ෂප බුදුන්ගේ අග්ර දායකයා වූ "ඝටීකාර" නම් වෙළඳ සිටුවරයා එවකට සිටි අංක එකේ වලං ඇතුළු ගෘහ උපකරණ ව්යාපාරිකයෙකි....කාශ්ෂප බුදුන් කිසිදා ඔහුගේ ව්යාපාර වලට අත නොතැබීය......
කලුතර දීස්ත්රික්කයේ ගමක උපත ලබන ධම්මික පෙරේරා හොරණ තක්ෂිලාවෙන් ද්වීතීක පාසල් අධ්යාපනය ලබා මොරටුව සරසවියේ NDT Electral Engineering Technology (විදුලි ඉංජිනේරැ තාක්ෂණය ) තෘතීක අධ්යාපනය වෙනුවෙන් හැදෑරෑවෙකි.....ඔහු සරසවි අධ්යාපනය ලබන අතරතුරද කටුබැද්ද හංදියේ බත් කඩයක් කළ බවත්,එම කඩයෙන් ආහාර ගැනීමට ඔහුගේ ජේෂ්ඨ සිසුන් පැමිණි නිසා නවක වදය වැනි දේ වලින් ඔහු නිදහස් වූ බව වසර කීපයකට කලිං වරලත් ගණකාධීකාරීවරැන් අමතමින් ඔහු කීය.....
තමන් පාසලේ හය වන ශ්රේණියේදී ගෙවත්තේ හට ගත් වට්ටක්කා වැලක් රැක බලාගෙන එයින් ලද පළමු ගෙඩිය රාත්තල් අටක් තම පියාට අලෙවියෙන් තම ජීවිතයේ පළමු ආදායම ලබා ගත් බව ඔහු එහිදී වැඩි දුරටත් කීය.....
තෘතීක අධ්යාපනයෙන් පසු විවිධ රැකියා සහ ව්යාපාරවලට සම්බන්ධවූ ඔහු මෙරට මධ්යම පංතියෙන් නිදහස් අධ්යාපනය හරහා ඉහළට ගිය කෙනෙකි......
ඔහු සතුව පවතින්නේ කැසිනෝ වලින් උපයාගත් කළු සල්ලි බවට ඇතැමුන් චෝදනා කරති.....
ලෞකික ලෝකයේ කිසිදා පෘථග්ජනයන් අතුරින් පරමාදර්ශී චරිත බිහි නොවන බව අප අකමැත්තෙන් හෝ පිළිගත යුතුය......එසේ නොවුන හොත් අප කිසිදා බිහි නොවන දසරාජ ධර්මයන්ගෙන් රට සහ ව්යාපාර පාලනය කරන පරමාදර්ශී චරිත පැමිණෙන තුරැ අහස දෙස බලාගෙන කල්ප ගනං සිටිය යුතු වන්නෙමු.....
ධම්මික පෙරේරාගේ වත්කම් සහ දේපල ගැන කථා කරන බොහෝ දෙනා මහජන මුදල් මහ දවල් මංකොල්ලා කමින් මඩි තර කරගන්නා ඊනියා දියසෙන් කුමාරවරැ ලෙස පෙනී සිටින මෙරට අති මහත් බහුතරයක්වූ තක්කඩි දේශපාලුවන්ගේ වත්කම් ගැන මුණිවත රකිති......
මීට වසර කීපයකට පෙර ධම්මික පෙරේරා කොළඹ ජාතික රෝහලේ ස්නායු ශෛල්ය විශේ.වෛද්ය සුනිල් පෙරේරා මහතා සමග එක්ව සිදුකළ මහා සත්ක්රියාව ගැන බොහෝ දෙනා නොදනී...වසරකට රෝගීන් 500 ක් පමණ මිය යන එම වාට්ටුව මිලියන ගනනක් මුදල් යොදවා ධම්මික මහතා විසින් නවීකරණය කර වසරකට මියයන ප්රමාණය 275 තෙක් අඩු කළ අතර ඒ ගැන ජන මාධ්යවල එතරම් කතා නොවිනි...
වසර දෙකක සිට මා පිළිකා රෝගියෙක් නිසා අපේ රටේ පිළිකා රෝගීන් කොතරම් අසරණ දැයි අත්දැකීමෙන් දනී.......පිළිකා රෝගීන්ට දෙවන උපදෙසක් හෙවත් Second Opinion එකක් ගැනීම ඉතා මිල අධික සේවාවකි.......ධම්මික පෙරේරා මහතා මේ වනවිට එම සේවාව ලංකාවේ සියළුම පිළිකා රෝගීන්ට නොමිලයේ ලබා දීමට කට යුතු කරමින් සිටී......එවැන්නක් කොතරම් ආගය කළ යුතුද ? වසර දෙකකට පෙර ජනතා ආධාර වලින් මහරගම පිළික රෝහලට ලබා දුන් Pet Scanner යන්ත්රය තවමත් ක්රීයාත්මක කර ගැනීමට බැරිව දඟලන ඊනියා සෞඛ්ය ඇමතිවරයා සතු වත්කම් ගැන කිසිවෙක් පරශ්න නොකරති...
මාක්ස්වාදීන්ට අනුව ධනපතියන් ලොවෙන් තුරං කළ යුතු වුවත් බුදු දහමේ එවැන්නක් සඳහන් නොවේ....කිසියම් පුද්ගලයෙකුට සමාජයේදී "මහේෂාක්ය" බවක් හිමි වන්නේ ඔහුගේ පෙර පිං බලය මෙන්ම උත්සාහය සහ කැපවීම තුළින් බව ව්යග්ඝපජ්ජ සූත්රයේදී බුදුන් පැහැදිළිව දෙසා ඇත...උට්ඨාන සම්පදා,ආරක්ඛ සම්පදා,සමජීවිකතා වැනි වචන වලින් බුදුන් ඒ ගැන වදාරා ඇත.....
ලෞකික ලෝකයේ පැවැත්ම උදෙසා සිටුවරැන් සිටිය යුතු බව පෙරදිග මෙන්ම බටහිර (මාක්ස්,එංගල්ස්,හෙගල් හැර ) දාර්ශණීකයෝ පිළිගනී...
තෘතීක අධ්යාපනයෙන් පසු මා පළමු වසර දෙක මෙරට 100%ක් දේශීය සමාගමක්වූ DSI සමූහ ව්යාපාරයේ සේවය කළ අතර ඉන් පසු වසර දහයක්ම ස්විස්ටර්ලන්තය මූලික කරගත් 100%ක්ම බහු ජාතික සමාගමක්වූ හොල්සිම්හි සේවය කළ නිසා ව්යවසායක්වය යනු කුමක්දැයි හොඳින් තේරැම් ගත්තෙමි......
කිසිදු ඉදිරි දැක්මකින් තොරව රටේ ආර්ථිකය දිනෙන් දින අත්තනෝමතිකව විනාශ කරන අපේ රටේ පාලකයන් දුටුවිට සිතෙන්නේ අපේ රටේ ව්යාපාරිකයන් නොසිටින්නට රට මේ වන විට යන එන මං නැති අනාථ දේශයක් වන බවයි....
කොමියුනිස්ට්වාදය තවමත් පවතින චීනය,වියට්නාමය වැනි රට වල්ද මේ වන විට පෞද්ගලික ව්යාපාරිකයන්ගේ ආයෝජන දිරිමත් කරමින් පවතී...හොන්ඩා සහ ටොයෝටා සමාගම්වල විශාල කර්මාන්ත ශාලා කොමිනුනිස්ට් වියට්නාමයේ ඉදිකිරීමම මෙයට හොඳම සාක්ෂියකි....
රතු පස්වලදී ධම්මික පෙරේරාගේ සමාගම ජනතා විරෝධී ලෙස අප ද්රව්ය පරිසරයට බැහැර කළ බවට බොහෝ දෙනා චෝදනා කළත් එහිදී සිදුවුයේ සාකච්ඡා කර ගොඩිං විසඳා ගත යුතුව තිබූ ගැටළුවක් දේශපාලන වාසී ගැනීම වෙනුවෙන් මහා බරපතල ගැටළුවක් බවට පත් කර ගන්නට අවස්ථාවාදී දේශපාලුවන් ගත් උත්සාහයකි.....
රටක ව්යාපාරික ස්ථාන එක රැයින් වසා දැමීම ඉතා පහසු වුවත් නැවතත් එවැන්නක් ආරම්භ කිරීම කිසිසේත් පහසු කටයුත්තක් නොවේ....
රටේ පරිසරයට සහ ජන ජීවිතයට ව්යාපාර සහ කර්මාන්ත වලින් සිදුවන හානි අවම කිරීමට රජය සතුව බොහෝ නියාමන ආයතනය ඇති අතර ඒවා මගින් අදාළ කර්මාන්ත ගැන සොයා බැලිය යුතුය...නමුත් ලංකාවේ බොහෝ නියාමන ආයතන අල්ලසට යටත්ව ඇති බව මම අත්දැකීමෙන් දනී.....
මෙම නියාමන ආයතන සමහරක් නිදි කිරා වැටෙද්දී,පරිසරය සහ තිරසාර සංවර්ධනය(Sustainable Development ) ගැන තමන් විසින්ම කැපවෙන ආයතන ලංකාවේ අදටත් ඇති බව මා අත්දැකීමෙන් දනී.....ඇතැම් කාර්මික අපද්රව්ය සෙල්සියස් අංශක 1000 ට වැඩි උෂ්ණත්වයක් තුළ පූර්ණ දහනයකට ලක්ව විනාශ කළ යුතු අතර,Unilever,Brandix, MAS,Colombo Dockyard, Lanka Hospitals ඇතුළු තවත් බොහෝ ආයතන තම කාර්මික අපද්රව්ය පුත්තලම සිමෙන්ති කම්හලේ සෙල්සියස් අංශක 1400 සිමෙන්ති උඳුන තුළදී මුදල් ගෙවා නිසි පරිධි විනාශ කරන බව මා අත්දැකීමෙන් දනී.....අනෙකුත් ආයතනද එවැනි විධිමත් පරිසර හිතකාමී ක්රමවේදයන්ට යොමු කිරීම රජයේ වගකීමකි.....
සංස්ථා සිමෙන්ති සමාගමේ පුත්තලම,ගාල්ල,කොළඹ,අරැවක්කාරැ සහ ත්රිකුණාමලය වැඩ බිම් සහ අවට ගම්මාන යා කරමින් ජනතා උපදේශණ කමිටු(Public Advisory Committee ) පිහිටුවා නිරතුරැ ගම සමග සංවාදයේ යෙදෙන අතර එමගින් කිසිදා රතු පස්වල මෙන් සිදුවීම් එහිදී සිදු නොවේ.......අනෙක් කර්මාන්ත ආයතන වලටද එවැනි දේ හඳුන්වාදීම රජයේ වගකීමකි.........
අපේ රටේ බොහෝ මිනිසුන් ඉරිසියාවෙන් සහ කුහක බවින් යුතු බව අකමැත්තෙන් වුවද පිළිගත යුතුව ඇත.....මහජන මුදල් කෝටි ගනං නාස්ති කරමින් සැප වාහන ගෙන්වන රටට සත පහක වැඩක් නැති දේශපාලුවන් ගැන කතා අඩුවෙන් කියමින් තමා උපයාගත් මුදලින් වාහනයක් ගෙන්වා ගත් ධම්මික ගැන බොහෝ දෙනා කතා කරන්නේ ඒ නිසාය..........
අවසන් වශයෙන් රඹුකන සිද්ධාර්ථ හිමිගේ ගීතයක් මතක් විය....
"ඔටුනු පලං රජවරැන්ද සිටු මාළිග ඇති එවුන්ද නෑ....අපිත් එක්ක එකට හිටිය ගමේ ළමයිනේ...අද කාල බීල ඇඳල හොඳින් යහතින් ඉන්නේ...සතුටු වෙයල්ලා...ඉරිසියාව අතහැර පල්ලා..."

Comments

Post a Comment

Popular Posts