විපත සැපතක් කර ගැනීම........


එක්තරා කම්කරුවෙක් තාවකාලික සේවයේ යෙදිලා සිටියේ වීදුරු සිහිවටන විකුණන කඩයකලු..එක දවසක් ඔහුගේ අතින් ඉතා වටිනා භාණ්ඩයක් බිම වැටී බිදුනලු...ආයතනයේ අයිතිකරු ඔහුට කිව්වලු "තමුසේගේ පඩියෙන් මේක මම වසර දහයකින් කපා ගන්නවා" කියලා...ඔහු ඉතා සතුටින් ගෙදර ඇවිත් කිව්වලු "මට අවුරුදු දහයකට ජොබ් එක ශුවර්" කියලා....
අල්ලා ගැනීම හෙවත් ඇලීම තමයි සියලුම සත්ත්වයන් සංසාරයට බැඳ තබන්නේ.මවගෙත් පියාගෙත් සෛල දෙකක් එකතුවෙලා යුක්තානුවක් හැදුන මොහොතේම ඒක ගර්භාෂ බිත්තිය අල්ලා ගන්නවා.දැන් එතන එයාගේ වෙලා.මාස අටක් නමයක් යනකොට එයාට තවදුරටත් එතන ඉන්න ඉඩ මදි නිසා පිටතට එන්න වෙනවා.එහෙම එනකොට අඬාගෙන එන්නේ එයාගේ තැනින් වෙන් කළා කියලා.ඊට පස්සේ කොහොමහරි අලුත් තැනට හුරුවෙලා ඉන්නකොට මවු කිරි ලබා දෙනවා.ඊට පස්සේ ටික දවසක් යනකොට මවගේ පියවුර අල්ලාගන්නේ එකත් එයාගෙමයි කියලා.ඝණ ආහාර දෙන්න කිරි ලබාදීම නවත්වන්න හදනකොට එයාගේ අයිතියෙන් වෙන් කලා කියල අඬනවා.ඊට පස්සේ තොටිල්ල,මොන්ටිසෝරිය,පාසල,සරසවිය,බිරිඳ,ස්වාමියා,දරුවන්,මව,පියා,නිවස,මෝටර් රථය ,තනතුර,රස්සාව ඇතුළු මෙකී නොකී සියල්ලක්ම අල්ලා ගන්නේ ආපහු අත හරින්න බලාගෙන නෙවෙයි..මේ හැම තැනටම අපි මුල් දවසේ යන්නේ චකිතයකින්...ඒත් අවසන් දවසේ දාල එන්න බෑ කියලා අඬනවා...මෙහෙම මට දීර්ඝව කරැණු කියුවේ රාජගිරියේ අරියඤාණ හිමි 2011 සැප්තැම්බර් මාසේ බූන්දල වනෝද්‍යානයෙදි හමුවූ වෙලාවේ.....කථාව නං හරියටම හරි...මම පෙර පාසල් ගිය කෙනෙක් නෙවෙයි..මා මුලින් ඉගෙනගත් උපනන්ද විද්යාලයේ එක වසර පංතියෙදී මුල් මාස තුනම ඇඬුව හැටි මට මතකයි ගෙදර යන්න ඕන කියලා...ශිෂ්යත්ව විභාගය සමත් වෙලා නගරයේ පාසලට යන්න වුන දවසෙත් මම ඒ වගේම ඇඬුවා මතකයි පාසල දාලා යන්න බෑ කියලා.....
සූත්‍ර පිටකයේ අභිනන්දන සූත්‍රයේ දි බුදුන් කියන්නෙ "මහණෙනි,කෙසේදයත්, රත්වූ තැටියක් මතට දමන මස් කැබලි "තහ්-තහ්" යන හඬින් යුතුව එහි පතුල අල්ලා ගන්නාක් මෙන් ලාමක පෘථග්ජනයන්ද එන එන අරමුණ දැඩිව අල්ලා ගන්නවා" කියලයි....
කුසගින්න කියන්නෙ අපට තියෙන සදාතනික ගැටලුවක්..ඊට අපි ලබාදෙන තාවකාලික විසඳුම තමයි ආහාර..අවාසනාවකට අපි ආහාර වලට කොච්චර බැඳෙනවද ? පිපාසය කියන්නෙත් ඒ වගේම සදාතනික ගැටලුවක්..ඒත් අපි ඊට අපි ලබාදෙන තාවකාලික විසඳුම සිසිල් බීම වලට කොච්චර ඇලෙනවද? දහදිය කියන්නේ ඒ වගේම සදාතනික ගැටලුවක් ඊට අපි ලබාදෙන තාවකාලික විසඳුම වායු සමීකරණ,විදුලි පංකා..අපි ඒවයින් ලැබෙන සිසිලසට කොච්චර ඇලෙනවද ? අපි හැමදාම ගැටළුව නොදැක ඊට ලබාදුන්න පැලැස්තර විසඳුමටම ඇලුනා.....
බුදු රදුන් දෙසන්නේ මේ දුක ගැන තිබෙන නොදැනුවත්කම හෙවත් "අවිජ්ජාව" නිසාම අපි ගැටලුවට මුල්වූ හේතුව සිඳින්නේ නැතුව ඊට ලබා දෙන පැලැස්තර විසඳුමට ඇලෙන බව තමයි....
මම මහරගම අපේක්ෂා රෝහලේ සිටි ඇඳට එහා ඇඳේ සිටිය තරුණයා කිව්ව කතාවක් ඇහුවම මට පුදුමත් හිතුනා..ඔහුගේ ගමේ ඉතා කඩ්වසම් තරුණයකුට ලියුකේමියාව හැදිලා ප්‍රථිකාර ගන්න ඇවිත් ඉන්න කාලෙ ඔහු එම වාට්ටුවේ තරුණ හෙදියක් සමග හාද වෙලා ටික දිනකින් විවාහත් වුනාලු..ඊට නොබෝ කලකින්ම ඔහු මිය ගියාලු...එක පැත්තකින් පෘථග්ජන චින්තනයෙන් බැලුවම නම් ඔහු "විපත සැපතක් බවට පත්කරගන්න" තමයි උත්සාහ කරල තියෙන්නේ....
සතර අපාය කොතරම් දුක් සහිතවුවත් එහි වැටී ඉන්න සත්ත්වයන් පවා අපායට ඇලෙන බවත් එය දමා යන්නට බෑ කියමින් හඬන බවත් තමයි බුදු රදුන් දෙසන්නේ...මේක මුලින් මට තේරුම් ගියේ නෑ....ඒත් හාවෙක්,මුවෙක් වගේ සතෙක් කියන්නේ සතර අපායෙන් එකක්වුන තිරිසන් අපාය...බලන්න එවැනි ඕනෑම සතෙක් ඝාතනය කරන්න හදද්දී උන් කොතරම් වැලපෙනවද ? ඒ කියන්නේ උන් ඒ අපාය දාල යන්න තියෙන අකමැත්ත නේද? එතකොට බුදු රදුන් කියූ කතාව සපුරාම ඇත්ත නේද ?
මා දන්නා වැඩිහිටියෙක් 1977 දී දේශපාලන හේතුන් මත මිනිසෙක්ව ඝාතනය කරලා වැලිකඩ සහ බෝගම්මබර හිර ගෙවල් දෙකේම ඉඳලා බොහෝ කලකට පස්සේ නිදහස් වෙනවා...ඔහු මා සමග කියු හැටියට නම් ඔහුට නිදහස ලැබුන දවසේ ආපහු ගෙදර එන්න හිරගෙදර අතාරින්න බැරි තරමට ඔහු එයට බැඳිලා තිබුනලු.....අපේ හිත දකින-දකින, අසන- අසන, දැනෙන-දැනෙන,දැනගන්නා- දැනගන්නා දේ අල්ලාගන්නේ අන්න එහෙමයි.....බුදු රදුන් එය හදුන්වන්නේ "තත්‍ර-තත්‍රාභිනන්දනී" කියල...
දවසක් එක මිනිසෙක් මීයක් කඩන්න වනයට යනවා..ඔහු මීයක් තිබුන ගසකට නගින්න හදද්දී එක්වරම ලිස්සා ගොස් අසල් තිබුන ප්‍රපාතය දෙසට වැටෙනවාත් සමගම ඔහු එහි තිබූ මුල් කැබැල්ලක එල්ලිලා යාන්තමින් ගැලවිලා ඉහළට එන්න හදනකොටම ඔහු දකිනව බඩගින්නේ වියරුවෙන් ඉන්න කොටි දෙනක් ඉහළට වෙලා ඔහු එනතුරු බලා ඉන්නවා...ඒ අතරේ ඔහු තවත් බිය සන්ත්‍රාසයට පත්වෙන්නේ හෙමින් හෙමින් ඔහු අල්ලාගෙන ඉන්න මුල් කැබැල්ල දෙසට ඇදෙන මහා පිඹුරෙක් දැකලා...දැන් ඔහු ඉහළට ගියොත් කොටි කටේ දිගටම මුලේ එල්ලිලා සිටියොත් පිඹුරු බඩේ.... එය අත හැරියොත් මහා ප්‍රපාතය පාමුල වැටී කැබලි වලට බිදෙනවා..ඔහු දැන් ඉන්නේ මරණ තුනක් එක්ක...මෙහෙම ඉන්නකොට එකපාරටම ඔහුගේ මුහුණට තෙතබරිත යමක් වැටෙනව දැනිලා එය අතගා බැලුවම අර මීයෙන් කුඩා මී පැණි බිංදු කීපයක් වැටිලා.....ඔක්කොම අමතක කරන ඔහු හිමින් සැරේ අර මී පැණි වල රස බලනවා......
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය .....කියන කතාව ජනප්‍රවාදයට ආවේ එහෙමයි.....එක පැත්තකින් බැලුවම ඒකාට වෙන කරන්න දෙයකුත් නැති එකේ අවසන් මොහොතේ හෝ පොඩි "ජොලියක්" ගත්ත එක වැරදිමයි කියන්නත් බෑ....මොකද ඒ මොහොතේ ඔහුට චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්න තරම් හැකියාවකුත් නැති නිසා.....බුදු රදුන්ට අනුව නම් එය අවබෝධ කළ යුත්තේ අතපය හොඳින් තියෙන කළු කෙස් තියෙන නීරෝගී කාලයෙදි මිසක් අසරණ භාවයට පත්වෙලා විපිළිසර වුනාම නෙවෙයි.....ඒ වගේ විපිළිසර වුනාම කෙනෙකුට පිහිටට එන්නේ තමන් වැඩූ සීලයත් කුසළයත්ම පමණක් බව තමයි බුදු රදුන් දිනක් අනද හිමියන්ට කියන්නේ.."අවෙප්පඨිසාරත්ථං ආනන්ද කුසළානි සීලානි" කියල.....
ජීවිත කාලයෙම හොරකමේ යෙදුන කෙනෙක් රාජ අණින් හිස ගසා දමන්න වදක බෙර වයමින් ,වද මල් මාලා දමා,කස පහර දෙමින් දං ගෙඩියට ගෙනයනවා..ඒ අස්සේ ශේප් එකේ මේ හාදයා ඇහැ ගහගෙන ඉන්නේ කොයි වෙලාවක හෝ අර වදක බෙරේ හොරාගන්නේ කොහොමද කියල...ඔහු බලන්නේ විපත සැපතක් කරගන්න......
මුගලන් හාමුදුරුවෝ නිතර පිණපාතයේ වඩින වීථියේ ඉන්න මහා සිටු වරයෙකුට පැණි කැවුම් කන්න ආසාවක් එනවා...ඒත් කොයි මොහොතේ කවුරුහෝ බුද්ධ පුත්‍රයෙක් පිණ්ඩපාතයේ වැඩලා තමන්ගේ කැවුම් ටික දෙන්න වෙයිද කියලා බයේ මේ හාදයා තමන්ගේ සත් මහල් ප්‍රාසාදයේ ඉහළම මහලට වෙලා හොර රහසෙම කැවුම් හදනවා......ඔහු බලන්නේ කොහොමහරි පිටි හැන්දක් හරි ඉතුරු කරගන්න.....නිකන් මොකටද එක එක්කෙනාට අපි පිණට කැවුම් දෙන්නේ නේද ?
තව දවසක්, දවස ගානේ කරටි කැඩෙන්න ගහන පට්ට බේබද්දෙක් වෙරිවෙලා ගල් තලාවක ඇවිදගෙන යනකොට පය පැටලිලා පහළ තියෙන ප්‍රපාතයට වැටෙන්න පාවෙලා යන තත්පර කීපයට මේකා හිතනවා.."ෂාහ්..මෙහෙම ආතල් හුළං පාරක්" කියල…………….
ඔන්න ඕකයි තත්වේ....
සොර දෙටුවෙක්... කස තැලුම් කකා
දං ගෙඩියට ගෙනයන ගමනේ
වදක බෙරේ දැක.... සොරා ගන්න එය
කදිමයි ලොබ සිතුවාලු
අනේ මෙහෙම තණ්හාවක්..
අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
බුදු පුතෙකුත් ....පිඬු සිඟා වැඩියහොත්
දෙන්නට වේයැයි සැක සිතලා
මහ ඉසුරෙක්...... උඩූ මහලේ සැඟවී
පැණි කොමු පිස කෑවේලු
අනේ මෙහෙම තණ්හාවක්..
අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
සුරා සොඬෙක් .....ගිරි කුළකින් විසිවී
මහපොලොවට පාවී එද්දී
ගත දැවටෙන මේ.... සීත පවන් රැළි
අහෝ සැපයි කීවාලු
අනේ මෙහෙම තණ්හාවක්..
අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්....
(මේ වටිනා ගීය ලියුවේ අපිත් එක්ක බොහෝ කලක් හොල්සිම් සමාගමේ ඝණකාධිකාරීවරයෙක් ලෙස කටයුතු කොට දැන් මැද පෙරදිග සේවය කරන රවී කොඩිතුවක්කු සහෘදයාගේ ආදරණීය පියා විසින්..රවීවත් මේ වෙලාවේ මතක් වෙනවා )
පද ගෙත්තම : පරාක්‍රම කොඩිතුවක්කු
සටහන : චාමර වන්නිආරච්චි


Comments

Popular Posts