හීනෙන්වත් නොදකින කුමරා......

අතීත යොබ්බනෝ පෝසෝ-අනෙති තම්බරුත්ථනිං
තස්සා ඉස්සා න සුපති- තං පරාභව්තෝ මුඛං
ඉක්මගිය තරුණකම ඇති(මහලු ) යම් පුරුෂයෙක්,තිඹිරිඵල වැනි විශාලවූ පයෝදර ඇති,තරුණ බිරිඳක ආවාහ කරගෙන(ඇය වෙනත් තරුණ පුරුෂයකු සමග ලෝකාස්වාදය සඳහා යාදෝයි සැකයෙන්) රාත්‍රිය පුරා නිදිවර්ජිතව සිටීද, එය ඔහුගෙ නියත පිරිහීමේ දොරටුවකි......
( පිරිත් පොත,පරාභව සූත්‍රය,දසවැනි පිරිහීමේ දොරටුව අයත් ගාථාව )
“ස්වාමීන් වහන්ස,ගොඩාක් වයසක සීයලා අතිං කුඩා දරුවන් අපයෝජනයට පත් වෙන්නේ ඇයි.....වයසත් එක්ක එයාලගෙ මනසේ තැන්පත් බවක් ඇතිවෙන්නේ නැද්ද...?"
“මේකනේ මහත්තයෝ....පුද්ගලයන්ට වයස් භේදයක් තිබුනට කෙලෙස් වලට වයසක් නැහැනේ......කෙනෙක් ගතින් දුබල උනත් එයාගෙ සිතේ හටගන්නා හැඟීම් දුබල වෙන්නේ නැහැ...මේ ගැන පරාභව සූත්‍රයේ භාග්යවතුන් වහන්සේ විස්තර කරල තියෙනව ...මහත්තය පොඩ්ඩක් ඒක කියවන්නකෝ...උන්වහන්සෙගේ සර්වඥතා ඤාණයට ඔය හැම දෙයක්ම ගෝචර වෙනවනේ.......”
ඒ 2004 වසරේ සිටම මා දන්නා, මා රෝගීවූ දිනසිටම මා වෙනුවෙන් උන්වහන්සේගේ විශ්වාස කල නොහැකි තරම් විශ්මිතවූ අධිමානසික ශක්තිය යොදවමින් මට පිහිට වෙන හුදෙකලා වනවාසී තේක්ක වත්තේ ඉන්දරතන හිමිගෙ උපදෙස.....
වරක් මා සේවය කළ සමාගමට කොළඹ ගබඩාවක් ඉදි කිරීම වෙනුවෙන් ඉඩම් කීපයක් බැලීමට පෑලියගොඩ ගියෙමි..එක් ඉඩමක් දිවයිනෙ ප්‍රධාන පෙලේ ආයතනයක සභාපතිවරයෙක්ව සිටි ධනවතෙකුගේ විය....ඔහුද තම අධිසුඛෝපභෝගී මෝටර් රථයෙන් පැමිණ සිටියේය...ඔහුගෙ නියොජිතයා මා සමග හිතවතෙකි..ඔහු අපත් සමගම එතැනට පැමිණියේය..
“චාමර මහත්තය,අර ඉන්නෙ අපේ බොස්....”
“ඔහ්..කොල්ල වගේනෙ...දැන් හැත්තෑවකට කිට්ටුයි නේද?....”
“ඔව්… ඔව්… බොස් ගෙ වැඩත් කොල්ලොන්ගෙ වගේ තමයි...”
“මට තේරුනා දැක්ක ගමන්ම........”
“බොස් කලින් බැඳල හිටි ඔරිජිනල් නෝනව ඩිවෝස් කළා....දැන් අලුතෙන් බැඳල ඉන්නේ පොඩි කෙල්ලෙක්.....”
“එහෙමද...එයාලට හොඳනම් අපිට මොකද නෙද...මිනිස්සුනේ......හැබැයි ඉතිං බොස් සභාපති වෙලා හිටිය ...............ආයතනය නම් ආදර්ශමත් කතා නේද හැම තිස්සේම කියන්නේ.....”
“එව්ව එහෙම තමයි මහත්තයා...කියනකොට එහෙමයි..කරනකොට මෙහෙමයි.....”
“ඒත් මම නම් හිතන්නේ ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි කියල...මොකද මිනිස්සු හැමෝටම තමන්ගෙ හැඟීම් ගැන අවබෝධයෙන් ජීවත් වෙන්න බැහැනේ....හොර රහසේ නාඩගම් නටනවට වඩා එලිපිට සම්මතය ඇතුලේ වැඩ කරන එක හොඳයි.......”
“ඔව් චාමර මහත්තය ,බොස් දුවලා පුතාලට දේපල වලින් වැඩිකොටසක් දීල නෝනටත් දීල යුතුකම් ඉටු කරල තමයි අලුතින් බැන්දේ.......”
ගුවන් විදුලි සංස්ථාව බොහෝ අවස්ථාවලදී පාසල් අධ්යාපන චාරිකා වලදී බොහෝ දෙනා නරඹන ස්ථානයකි......මමද වරක් එහි ගොස් ඇත...පාසල් සමයේ දැනුම-මිනුම කණ්ඩායමේ සිටි නිසා රූපවාහිනී වැඩසටහන් වලටද ගොස් ඇත....මාගේ එකම පිරිමි සහෝදරයා දශක දෙකක් තිස්සේ විද්යුත් මාධ්යවේදියෙක් වූ නිසා ඔහු කියන කතාද අසා ඇත්තෙමි....
“අපොයි...ඉස්කෝල ළමයි ස්ටුඩියෝ එකට ආපු ගමන් අපිට දැනෙනවා...”
“ඒ කොහොමද...?”
“ පළාතක ඉන්න බෑ ඒ ලමයින්ගෙ සපත්තු ගලවලානෙ එන්නේ මේස් වල ගඳ මුලු බිල්ඩින් එක පුරාම විහිදෙනවා...ළමයි ගිය ගමන්ම ක්ලීනින් සර්විස් එකෙන් ඇවිත් එයාර් ෆ්‍රෙශ්නර් ගහලා ක්ලීන් කරනවා...”
අතීතයේ දිනයක වෙනදා මෙන්ම ගුවන්විදුලියේ සේවය කල වයලීන් වාදකයෙක් පටිගත කිරීමක් සදහා ගියේය......ටික වේලාවකින් බාලිකා විද්යාලයක සිසුවියන් පිරිසක් ඔහු සිටි මැදිරිය නැරඹීමට පැමිණියේය......මෙය ඔහුට අලුත් දෙයක් නොවීය.....නිකමට මෙන් එම සිසුවියන් පිරිස දෙස බැලූ ඔහු එකවර සසල වී ගල් ගැසුනේය...ඇය කුඩා දඟකාර සිසුවියකි.ඇයටට මේ පුද්ගලයා ගැන ඇත්තේ ගරුත්වයකි...
“සර්, මෙහේ වැඩට ඇවිත් ගොඩක් කල්ද ?”
“ ඔව් ළමයෝ... මම දැන් මේකෙ වැඩට ඇවිල්ලත් අවුරුදු තිස් පහකටත් වැඩියි .....මම මෙහේ එනකොට ඔය ළමයා ඉපදිලත් නැහැ...”
“මම සර්ව TV එකේ දැකල තියෙනව...”
“එහෙමද...?”
“අපිට මේක බලන්න දුන්නට ගොඩාක් ස්තූතියි සර්....."
"මම මේකෙ වැඩ කරනව විතරයි ළමයෝ මේක මගේ එකක් නෙවෙයිනේ...."
එදින ඔහුගේ මනස වික්ෂිප්ත භාවයෙන් පිරී ගියේය......වේලාසනින් ගෙදර ගිය ඔහු කිසිදු වැඩක නොයෙදී කල්පනා කරන්නට විය......අර කුඩා පාසල් සිසුවියගේ කතාව,හැසිරීම,මුහුණ ඔහුගේ සිතේ හොල්මන් කරන්නට විය...
නොබෝ කලකින්ම දයිවයේ සරදමකට වගේ ඇය ඔහුගෙ වයලීන වාදන පන්තියටම එනවා.එය තිබෙන්නේ බස්නාහිර මුහුදුබඩට වෙන්න...ඇය පන්තියේ සිටින දවසට ඔහුගේ මුහුණ මලක් වගේ "පෙම් පාට වෑහෙනවා"...ඇය නොමැති දවසට ඔහුට පන්තිය පවත්වන්න හිතෙන්නෙත් නෑ...පාලුයි..පාලුයි වගේ.ඇය නොමැති දිනයට ඔහු කවුලු දොරින් පාර දෙස බලන්නේ ඇය දැන් නැතුවට දැන් ඒවිදෝ කියලා......
කාලය ගතවෙලා ඇය දවසක් පියා සමග ඔහු හමුවෙන්න එනවා....ඔහු කලබල වෙනවා.....
"ඇයි මේ තාත්තත් එක්ක...?'
"සර්, මම තව මාස දෙකකින් බදිනවා...සර්ට කියල යන්නයි ආවේ"
ඇය බුලත් අත ඔහුට දී බිම පෙරලී වදිනවා...
එදින රාත්‍රියේ ඔහු ඉවසා ගත නොහැකි වේදනාවෙන් වෙනදාටවත් මඩා මධු විත භාවිත කරනව මුහුද අයිනේ ඔරුවක් ලගට වෙලා...එදා ඉදල ඔහු සෑම දවසකම හවස් වරුවේ මුහුදු වෙරළට ගිහින් අධික ලෙස මත්පැන් භාවිත කරනව.....සති කීපයකට පසු දවසක ඔහුගෙ දුක අහන්න එතැනට ඇවිත් ඉන්නේ යහළු නීතිවේදීන් කීප දෙනෙක්.....ඔවුන් සමු ගෙන ගිය පසුත් ඔහු තනිවම තව දුරටත් බීලා නැගිට ගන්න බැරුව ඉන්නකොට වෙනත් උවමනාවකට ධම්මික බණ්ඩාරයන් එතැනට යනවා........
"මොකද අයියේ අද වෙලා තියෙන්නේ...හොදටම වැඩියි නේ......?"
"මට දුකයි...මම උඹට දවසක් මගේ පන්තියෙ හිටි කෙල්ලෙක් ගැන කිව්වුවා මතකද...?"
"ඔව්..."
"ඒකි ගිය සුමානේ බැන්දා මල්ලී.........ඇවිත් මට බුලත් දීල වැදලා කියල ගියා...."
මගේ පුංචි රෝසමලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ නුඹ බැස යන්න
මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනවානම්,
ආසයි මම කවුලු පියන් ඇරලා තියන්න.,
තරහක් නෑ නෑවිත් ඉන්න
පද ගෙත්තම : ධම්මික බණ්ඩාර
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=kcTt1U5YrJs
 

Comments

Popular Posts