මගේ එලිය අද ඔබ පමණි.....

" දරුවනි,තම අසල්වැසියාට ප්‍රේම කල මැනව" යනුවෙන් ජේසුස් වහන්සේ විසින් කියන්න ඇත්තේ සියලුම මානව ප්‍රජාවට අසීමිත දයාව දැක් විය යුතු පුළුල් අර්ථයෙන් මිසක් අල්ලපු ගෙදර මිනිහත් එක්ක හෝ ගැහැනියත් එක්ක අයථා ගනු-දෙනු සිදු කළ යුතුයි කියන ලාමක අදහසින් නම් නෙවෙයි.....
ඔබ අමාවක දවසක විදුලි පන්දමක් වත් නැතුව ගෙයින් පිටත අන්ධකාරය තුළ ගමන් කරල තියෙනවද......? ඒක බොහොම අපහසු අත්දැකීමක් නේද....විශේෂයෙන්ම කටු කම්බි වැටකින් පැනල අල්ලපු වත්තට යන එක මධ්යම රාත්‍රියේ කොතරම් අනතුරුදායකද? ඒත් අපේ හිතේ ඊට වඩා උත්තේජයක් කිරියාත්මක වුනොත් එහෙම අනතුරුදායක දේ සිදුකිරීම සදහා අපි ඉදිරිපත්වෙන්න පුලුවන් නේද ?
අලුත විවාහවුන එක්තරා තරුණයෙක් කොළඹ කුලී නිවසක් තම පදිංචියට තෝරා ගන්නව....ඉතින් මේ නිවසේ ඉන්නෙ ඔහුත් ඔහුගෙ තරුණ බිරිඳත් පමණයි...කාලය කෙමෙන් ගෙවීගෙන යන අතර එක දවසක් ඔහුට තමන්ගේ වෘත්තියට අදාළව වැඩසටහනක් වෙනුවෙන් කොළඹින් දුර බහැර යන්න සිදු වෙනව...එදා හරියටම අමාවක දවසක් ...සඳ එලිය වැහිලා ගිය.....උදේ කාලයේ තමන්ගේ කළ්යාණ මිතුරෙකුගේ වෑන් රථයෙන් මිතුරාත් සමග පිටවන ඔහු බිරිඳගෙන් සමු ගන්නෙ පසුවදා උදේ නිවසට එන පොරොන්දුවෙන්......ඔහුට බිරිඳගෙන් සමුගනිද්දි දුකක් හටගන්නේ "අනේ මගේ තරුණ බිරිඳ , අද අමාවක දවසේ මේ ගෙදරට වෙලා පාලුවේ තට්ට තනියම ඉන්නෙ කොහොමද ?ඇය තනිකම ඉවසා ගන්නෙ කොහොමද ?" සිතමින්....ඒ දිනවල ඔවුන් ගිය ප්‍රදේශයේ ඇතිවුන යම් නොසන්සුන්කාරී තත්වයක් නිසා එම වැඩ සටහන අතර මග නතර කර දමා එදිනම සවස නැවතත් කොළඹ එන්න ඔවුන් දෙදෙනාට සිදුවෙනවා..කොහොම වුනත් ඒ ගැන නම් ඔහුට හිත යටින් සතුටුයි ,මොකද තමන් නිවසේ තනිකර දමා ආ බිරිඳගෙ තනි රකින්න තමන්ට මධ්යම රාත්‍රිය වන විටවත් ගෙදර යන්න පුලුවන් වෙන නිසා....
මිතුරා සමග ඔහුගේ වෑන් රථයෙන් නිවස ඉදිරියට එන ඔහු බිරිඳගෙ නම කියමින් දොර අරින ලෙස කීප වරක් කියූවත් ගෙය තුළින් කිසිදු ප්‍රථිචාරක් නැති නිසා මිතුරා සමග වටපිට ටිකක් සෝදිසි කරනව...අතේ තිබුන එක බැටරියක් පමණක් යොදන කුඩා Pen torch එකේ එලියෙන් ඔහු දකින දෙයින් දෙදෙනාම නිරුත්තර වෙනව.....අසල්වාසියාගේ නිවසේ ජනේලයකින් කළුවරේම පිටතට ඔහුගේ අධාරයෙන් එන ඇය ඝණ කලුවරේම කටු කම්බි වැටෙන් රිංගලා තමන්ගෙ නිවසේ පසුපස දොරින් ගෙය තුලට එනවා....ඇවිත් කිසිදු දෙයක් සිදු නොවුන අයුරින් මවා ගත් නිදි බර මුහුණින් යුතුව දොර අරිනව........
තම මිතුරාගෙ මුහුණ දෙස බොහෝ වේලා තැති ගැන්මෙන් බලා සිටින ඔහු..."මචං මේක අපි දෙන්න මැරෙන තුරුම රහසක් හැටියට තියාගනින්...මට විලි ලැජ්ජාවේ බෑ බං මේව දකිනකොට....."......හරි මචං උඹ දැන් ඕකට ප්‍රශ්න ඇතිකර ගන්න එපා.....හෙමින් සැරේ සෝදිසි කරල කල්පනා කරල මොනවහරි කරපන්...අපි දෙන්න උඹගෙ ගෑනි අල්ලපු වත්තෙ ඉඳළ එන බව දැක්ක බව එයාටවත් අඟවන්න එපා..මම යනවා..."
කිසිදු කතා බහකින් තොරව දාඩියෙන් පෙඟී ගිය සිරුරින් යුතුව ගෙට ඇතුවන ඔහු බිරිඳ සමග කිසිවක් කතා කරන්නෙ නැහැ......
සඳ කැන් වැසිලා ඝණ අන්ධකාරයේ වෙලුන මේ රාත්‍රියේ ස්වාමියා රහිත නිවසේ මට තනිකමක් නොදැනෙන්නේ මාගේ අසල්වාසියාවන ඔබ මා තුරුලේ සිටින නිසාය.......ඇය එසේ සිතන්නට ඇත.....
මා නිවසේ නැති අතරේ මාගේ පණ මෙන් ආරක්ෂා කළ බිරිඳ අසල්වාසියාගේ පහස සොය ගොස්ය...මා කිසිදා මෙලෙස අනාචාරයේ හැසිරී නැත...... එහෙත් මේ සියල්ල ජීවිතාන්තය දක්වාම රහසක් මෙන් තබාගෙන අවසන් හුස්මත් සමගම වාතලයට මුසු කොට දැමිය යුතු වන්නේ එය එතරම්ම අමිහිරි අත්දැකීමක් වන නිසාය...ඔහු එසේ සිතන්නට ඇත.....
මේ සිදුවීම පස්සෙ කාලෙක දැනගත් ප්‍රේමකීර්ති මෙහෙම ලියනව.....
සඳ කැන් වැසිලා-අඳුරේ එතිලා
ඝණදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගනදුර තරු නිවලා
මගේ එලිය අද ඔබ පමණි.....
ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරහක වෙලෙනු දැනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියකු සොයනු පෙනේ....
මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැදගෙන ඉදිමි බලා
මේ ලොව යම් දවසක වෙන්වෙමු අපි
රහස් අහස් තලයට පවරා........
පද ගෙත්තම : ප්රේමකීර්ති ද අල්විස්
සටහන : චාමර වන්නිආරච්චි

Comments

Popular Posts