ලස්සන,සුවඳ මල් උයනෙන් ඉවත් කිරීම....


මේ සටහන ලියන්නට හිතුනේ දක්ෂ නිවේදකයකුවන නලීන් කරුණාරත්න මහතාගේ අකල් සමු ගැනීමත් සමගය...වයස අවුරුදු 55 දී සමු ගැනීම "අකල්" ලෙස යෙදීම දැන් නම් එතරම් සාධාරණ නොවන්නේ බලා සිටිද්දී මිනිස් ආයුෂ අඩුවීගෙන යන නිසාවෙනි.....
ඉස්සර අපේ පවුලේ සහෝදර සහෝදරිය හතර දෙනෙක් සිටි නිසාත් පියා රාජ්‍ය සේවයේ රැකියාවක නිරතවූ නිසාත් 1987 වසරේදී අපේ නිවසට එතරම් මිල අධික නොවූ කළු- සුදු රූපවාහිනියක් ගෙනෙන ලදී....
අපිට මුල් කාලයේ පෙනුනේ "රූපවාහිනිය" පමණක් වුවත්, එයින් අප ලබාගත් දැනුම බොහෝය....ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ "ආයුබෝවන්" වැඩසටහන මෙන්ම,ටයිටස් තොටවත්ත මහතාගේ මෙන්ම මහැදුරු නන්දදාස කෝදාගොඩ මහතාගේත්, තුසිත මලලසේකර මහතාගේත් අධ්‍යාපනික වැඩසටහන් ද අති විශිෂ්ඨ විය.....අපේ පවුලේ හතර දෙනාටම උසස් අධ්‍යාපනය ලබාගත හැකිවූයේත්, පසු කාලීනව අයියා ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් වූයේත් ටී වී එකෙන් ලද යම් පිටු බලයකින් යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ.....
මා පාසල් සමයේ ITN එකේ විකාශය වූ "දැනුමයි වාසනාවයි" තරඟයට යාමෙන් පළමු සජීවී රූපවාහිනී අත්දැකීම ලැබූ අතර පසු කාලීනව අයියාගෙන් බොහෝ දේ ඉගෙන ගත්තේ ඔහු 1999 දී සිරසට එක්වූ නිසාය...ඊට පෙර ඔහු කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ ඉගෙන ගන්නා කාලයේ ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයකු වශයෙන්ද කටයුතු කළේය....මගේ පියාගේ කළ්‍යාණ මිතුරෙක්වූ ගාල්ලේ බර්ලින් කවියා බොහෝ කලක් ගුවන් විදුලියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අතර, පියා හැත්තෑව දශකයේ සිට ගුවන් විදුලියට සම්බන්ධවී සිටියේය...අපේ පවුලේ ලගම ඥාතියකු වන ක්‍රිෂාන්ත දයානන්ද අයියාද අනූව දශකයේ මුලදීම ITN එක හා සම්බන්ධව සිටියේය..
ඉහත හේතුන් සියල්ලක්ම නිසා විද්‍යුත් මාධ්‍ය මට එතරම් ආගන්තුක නොවීය...
අනූව දශකයේ රූපවාහිනියේ විකාශයවූ "නමයයි පහ" වැඩ සටහන පුදුමාකාර ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියවූයේ එය සමස්ථ ප්‍රේක්ෂක පරාසයටම එකවර ඇමතිය හැකි එකක් වූ නිසාත් එය ඉදිරිපත් කළ නලීන් මහතාගේ තිබූ මනරම් හඬත් නිසාය....අප එම වැඩසටහනෙන් බොහෝ දේ ඉගෙන ගත්තෙමු...
කලා වැඩ සටහන්වල පසු බිම් කථනයට සමන් අතාවුදහෙට්ටි මහතාගේ හැකියාවන්ට ලංවීමට හැකි වූයේ ක්‍රිෂාන්ත දයානන්ද අයියාට පමණක්වූ සේම, වාර්තා වැඩ සටහන් වලදී නලීන් මහතා දැක්වූ දස්කම් වලට ලඟාවීමට අදටත් කිසිවෙකුත් නැතැයි මට සිතේ.... ලඟාවී සිටී නම් ඒද ක්‍රිෂාන්ත දයානන්ද අයියාම පමණි......
පසු කාලයේ නමයයි පහ අනුකරණය කරමින් "අටපට්ටම" නම් විහිළු වැඩසටහනක් ඇරඹුන අතර එහි පෙන්වූයේ ලංකාවේ දිගම කෙසෙල් කැණ,මහතම බණ්ඩක්කා කරල වැනි "සිල්ලර" දේවල්ය...එය අපේ රටේ ගැලරියට පමණක් කතා කල වැඩසටහනක් බවට පත්වීම නවතාගත හැකි නොවූයේ එහි පෙන්වූ දේවල් තිබූ "ලාමකබව" නිසාම විනා වෙනත් කෙනෙකුගේ බලපෑමකින් නොවේ...එම වැඩ සටහන ප්‍රේක්ෂක ප්‍රථිචාරවලින් ඉහළටම පැමිණි නමුත් හසන්ත මහතාම බොහෝ වෙහෙසවී ඉදිරිපත් කළ "දොරමඬලාව" වැඩසටහනට එතරම් ප්‍රථිචාර ලැබුනේ නැත....එමගින් අපේ රටේ ප්‍රේක්ෂකයන්ගේ "චින්තන පරාසය" ගැන වටහා ගත හැකිය....
නලීන් මහතා ඉදිරිපත් කළ කලා වැඩසටහන් එතරම් ජනප්‍රිය නොවූ බව නොරහසකි...කෙසේවුවත් අදටත් නලින් මහතාගේ "නමයයි පහට" සමානව විකාශයවූ වැඩ සටහනක් නැත,එසේම ඔහු පසුබිම් හඬ මුසු කළ වාර්තා වැඩසටහන් තරම් මනරම් ඒවා තවත් නැත....
ලස්සන සහ සුවඳවත් මල් ඉක්මනින්ම උයනෙන් ඉවත් කෙරෙන්නේ ඒවාට බොහෝ දෙනා ලොබ බඳින නිසාවෙනි...නලින් මහතාද ඉකමනින්ම මනුසත් උයනෙන් ඉවත් කෙරින...ඔහුට නිවන් සුව....!


Comments

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete

Post a Comment

Popular Posts