කච්චේරියේදී........


ග්‍රාමීය පාසලක දර්ශණී කියල පොහොසත් පවුලක,ලස්සන ,ඉගෙනීමේ දක්ෂ ගැහැණු ළමයෙකුත්,චන්ද්‍රරත්න කියල ටිකක් දිළිදු පවුලක ඉගෙනීමේ එතරම් දක්ෂ නොවූමුත් හිත හොඳ පිරිමි ළමයෙක් ඉගෙන ගන්නවා.....
මේ චන්ද්‍රරත්න අර දර්ශණී ගැන තියෙන්නේ ගෞරවයක් වගේම සැළකිල්ලක්...ඒ නිසාම ඇයට අනෙක් පිරිමි ළමුන්ගෙන් එල්ලවන නොයෙක් කරදරවලදී ඔහු ඉදිරිපත් වෙලා ඒ සියල්ලක්ම නතරකරනවා....
කාලයාගේ ඇවෑමෙන් දර්ශණී ගමේ පාසලෙන් අස්වෙලා අග නගරයේ පාසලකට යනවා...වොක්ස් වැගන් කාර් එකේ නැගල ඇය අවසන් වරට ඉගිල ගිය හැටි චන්ද්‍රරත්නගෙ හිතේ බොහෝ කලක් හොල්මන් කරනවා......ඊට පස්සෙ වොක්ස් වැගන් කාර් දකින හැම වෙලේම ඔහු බලාපොරොත්තුවේ දෑසින් බලන්නේ එහි ඉන්නේ ඇයද කියලා..ඒත් ඒක එහෙම වෙන්නේ නෑ...
විභාගය හරියට සමත් වෙන්න බැරිවුන නිසා ගරාජයක ටින්කරිං බාස් කෙනෙකුගෙ උදව්වට චන්ද්‍රරත්න යනවා..ස්වාමියා යුද්ධයට ගිහිං මියගිය ඔහුගේ නංගි වෙනුවෙන් ඔහු අවිවාහකව ඉන්නවා...එක දවසක් ඔහුගේ නංගිගේ පුතා පාසලට ඇතුල් කරන්න උප්පැන්න සහතිකේ ගන්න කච්චේරියට යන ඔහුට හරිම සතුටක් දැනෙන්නේ අර දර්ශණී පරිපාලන සේවා විභාගය සමත්වෙලා උප දිසාපතිවරිය ලෙස වීදුරු කාමරයේ ඉන්නව දැක්කම...
පරණ පුරුද්දට ඔහු ඇය ඉදිරියට ගොස් ගෞරවයෙන් කතා කලත් ඇය නොදැක්කාසේ අහක බලාගන්නවා....
දර්ශණී මැඩම් මම ටින්කරිං චන්දරේ
ඉස්කෝලේ අපි හිටියේ අටේ ඒ පන්තියේ
පැන්සලක් හංගලා ඔබව හඬවපු වෙලේ
ශෙල්ටගේ තොල් දෙකම මං තමයි හිල් කලේ
අස්වෙලා අපේ ඉස්කෝලයෙන් දහයෙදිම
ඉස්තරම් නුවරකට ඔබ ගියා රහසේම
වොක්ස් වැගන් කාරෙකක දොර ඇරෙන කිසිවිටෙක
ඉන් පස්සෙ දැක්කේ නෑ ලස්සනම සුදු ගවුම
නංගිගේ පොඩි එකා ඉස්කෝලෙ දාගන්න
ආව මං කච්චේරි උප්පැන්නේ අරගන්න
රැස් දිලෙන සිත්තමක් වගෙ රාමු කල රුවක
දැක්ක මං වැඩ හිඳන අයුරු නුඹ උස් තැනක
උත්තරේ දන් නැතුව තැවෙන විට මං එදා
දික් කරපු කොපි පොතේ මතක පිටු පෙරලලා
ඇස් දෙකෙන් මං හිතුව් ඔබ සිනාසෙයි කියා
ඇත්තමයි අදත් මට චක්කරේ වැරදුනා.....
පද ගෙත්තම : ධනුෂ්ක එදිරිවීර බණ්ඩාර(රැය විඳිමි,නොවිඳිමි කෘතිය)
සටහන : චාමර වන්නිආරච්චි


Comments

Post a Comment

Popular Posts