අලුත් ලෝකයක්.....


බටහිර විද්යාවට අනුව ලෝකය කියන්නේ පෘථිවිය උනත්, පෙරදිග මිනිස්සු ලෝකය කිව්වේ ඊට ගොඩාක් වෙනස් දේකට...බුදුරදුන් ලෝකය කියල කිව්වේ හුදු පෘථිවියට නෙවෙයි...ඇස,කන,නාසය,දිව,සම සහ මනේන්ද්රියන්ගෙන් ගන්නා අරමුණු වලින් ඒ ,ඒ මොහොතේ හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ වෙන තාවකාලික සංවේදනයන් තමයි බුදු රදුනට අනුව ලෝකය කියන්නේ......පෙර නොතිබී හටගෙන ලෝකය ඉතිරි නැතිව නිරුද්ධ වෙන නිසා "අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සථී" යනුවෙන් තමයි බුද්ධ දේශණාව..... භෞතිකවාදීන්ට අනුව අපි ඉපදෙන්න කලිනුත් ලෝකයක් තිබුන...අපි ඒ ලෝකයේ ඉපදිලා ජීවත් වෙලා මැරිලා යනව... විඤ්ඤාණවාදීන්ට අනුව ලෝකය තියෙන්නේ මනසේ මිසක් භෞතිකව නෙවෙයි....සංයුත්ත නිකායේ කච්චායන ගොත්ත සූත්රයේදි බුදුන් මේ අන්ත දෙකම බැහැර කරනව......ඒ නිසා බුදු දහම ඔය කියන භෞතිකවාදය හෝ විඤ්ඤාණවාදය කියන දෙකටම හසු වෙන්නේ නෑ.....ඒත් හේගල් ,කාල් මාක්ස් සරණගිය අය නම් තමන්ගේ නොදැනුවත්කම නිසාම බුදු දහම හුදු විඤ්ඤාණවාදයක් ලෙස අර්ථ දක්වනව....මිනිස්සු ලෝකය දකින්නේ තම තම නැණ පමණින් තමයි.....
විශ්වයේ හැමදේම මනෝ මූලික බව ඛුද්ධක නිකායේ ධම්මපදයේ "මනෝ පුබ්බංගමා ධම්මා "කියන ගාථාවෙදි කියැවෙනවා......කොහොමවුනත් විශ්වයේ හැම සත්ත්වයෙකුගෙම ලෝකය, ඒ ඒ සත්ත්වයාට සාපේක්ෂයි.......මීයන්ට මේක, මී ලෝකයක්,කැරපොත්තන්ට මේක, කැරපොතු ලෝකයක්,කුරුල්ලන්ට මේක, කුරුළු ලෝකයක්,මිනිස්සුන්ට මේක, මිනිස් ලෝකයක්.....යම් තැනක සත්ත්වයෙක්ගෙ මුල්ම ප්රථිසංධිය වුන ගමන්ම, එතන තමයි ඒ සත්ත්වයාගේ ලෝකයේ මූල ලක්ෂය.....ඒ මොහොතේ පටන් ඒ සත්ත්වයාගේ හැම දෙයක්ම තීරණය වන්නේ ඒ ස්ථානයට සාපේක්ෂව...මම ඉපදුන ගමන්ම මගේ ලෝකය නිර්මාණය වෙනව....භාෂාවේ "උත්තම පුරුෂ" හටගන්නේ එතන...මම තමයි ලෝකෙන්ම "උත්තමයා"........මට ඉදිරියෙන් ඉන්න සත්ත්වයා,"මධ්යම පුරුෂ" වෙනවා....මම,ඔබ යන දෙදෙනාට පරිභාහිරව ඉන්න තෙවැන්නා වන ඔහු හෝ ඇය, "ප්රථම පුරුෂ" වෙනවා....ඔන්න ඔය විදියට තමයි ලෝකය නිර්මාණය වන්නේ...
අතීතයේ ඉඳලම අපේ මිනිස්සු දෙවිවරු ගැන විශ්වාසය තියල තිබුන.....කෙනෙක් අහන්න පුලුවන් කොහෙ ඉන්න දෙයියොද ? කියල...කමක් නෑ..ඒ ඔහු දන්න තරම තමයිනේ....දෙවියෝ කියල වර්ගයක් ලෝකයේ නැතිනම්,බෝධි සම්භාර පුරණ අවධියෙදිවත් බොරුවක් නොකියපු බුදුරදුන්, දෙවියන් ගැන දේශණා කරාවිද ?..සංයුත්ත නිකායේ දේවතා සංයුත්තය සහ දේවපුත්ත සංයුත්තය කියන කොටස් දෙකේම තියෙන්නේ බුදුරදුන් දෙවියන් සමග කළ සංවාද....දැන් ඉතින් බටහිර විද්යාවෙන් ඔලුව කුරුවල් කරගත්තු ගෘහස්ථ පණ්ඩිතයෙක් අහවි "හැබෑටම දෙවියන්ට පාලි භාෂාව තේරෙනවද ? " කියල....බුදුන් දෙවියන් සහ අනෙක් මනුෂ්ය නොවන සත්ත්වයන් සමග සන්නිවේදනය කළේ වචන වලින් නෙවෙයි….. වචනයක් හැටියට ශබ්දයක් පිටවෙන්න කලින් එය "වචී සංස්කාරයක්" ලෙස මනසේ නිර්මාණය වෙනවා. බටහිර ස්නායු වෛද්යවරු දැන් තමයි ඒවා ගැන හොයන්න පටන්ගෙන තියෙන්නේ.....බුදුරදුන් දෙවියන් සමග සන්නිවේදනය කළේ අන්න ඒ වචී සංස්කාර මට්ටමේදි....ඒක පිටතට ඇහැන්නේ නෑ....ඒත් මේ අපි වගේ හුදී ජනයාට මේ සංවාද අහන්න ඕන නිසා පස්සේ වෙලාවක ඒ සංවාද බුදුරදුන් විසින් ආනන්ද හිමියන්ට වචනයෙන් දේශනා කලා...ඒව තමයි පළමු ධර්ම සංඝායානවෙන් පස්සේ පිටකවල සංග්රහ වුනේ....
ජාතක කථා සෘජු බුද්ධ භාෂිතයන් නොවෙයි...ඒව ලියැවුනේ දඹදෙණි යුගයෙදි...සමහරු මේ ජාතක කතා කියවල සමච්චලයට අහනව "සත්තු කතා කලාද? " කියල...ඔවුන් තේරුම් නොගන්න සරලම කරුණ තමයි අපි වගේ වචන භාවිත නොකලට සත්තු අතරත් අපි වගේ හොදින් සන්නිවේදනය සිදුවෙන බව..නැතිනම් කොහොමද ඔවුන්ගේ ලෝකය පවතින්නේ..සමහර කුරැල්ලෝ රංචු පිටින් හැතැම්ම සිය ගනන් පියාඹාගෙන යන්නේ සන්නිවේදනයක් නැතුවද ?..ඔවුන් අතර විවිධ අයුරින් ඇතිවුන සන්නිවේදනයන්, අපි වගේ මෝඩ මිනිස්සුන්ට තේරුම් ගන්න ඕන නිසා පාලි හාෂාවෙන් ලියවුන එක තමයි වුනේ...ඒ සරල සත්ත්ය තේරුම් ගන්න බැරි එක බුදුන්ගේ වරදක් නොවෙයි, අපේම ගොංකම...
සතරවරම් දෙවිවරු වගේම තිස් තුන් කෝටියක් දෙවිවරු ගැන අපේ සාහිත්යයේ සඳහන්...එහෙම පිරිසක් ඉන්නවද නැද්ද කියනවට වඩා අපේ මිනිස්සු එයින් යම් ආරක්ෂාවක් පිළිඹද හැඟීමක් ඇති කරගත්ත එක අහිංසක දෙයක් ලෙස දකින්න බැරිද ? සිද්ධාර්ථ උපත පවා ස්වාභාවික දරු උපතක් වුනත් එය සතර වරම් දෙවිවරුන් විසින් කළ දෙයක් ලෙස සාහිත්යයේ ලියැවුනා කියල ඇති වරද මොකද්ද ? යථාර්ථවාදීන්ට අනුව නම් එහෙම විය යුතු නෑ.....ඒ නිසා යථාර්ථවාදීන්ගේ ජීවිතේ හරිම කටුකයි......
හරියට කල්පනා කරල බැලුවොත් යකඩ නිධි,බොරතෙල් වගේ භෞතික සම්පත් අපිට නැතිවුනාට ලෝකයේ කිසිවෙකුටත් නැති ශ්රී මහා බෝධිය,දළදාව වගේ කිසිවෙකුටත් මිල කල නොහැකි වස්තූන්ගෙ හිමිකම තියෙන්නේ අපිට විතරයි....සියල්ල භාණ්ඩ හා සේවා ලෙස අර්ථ දක්වන ආර්ථික විද්යාඥයෙක් නම් අහවි...."සිරි මහ බෝධිය,දළදාව කන්නද ? " කියල.....නිරාමිස විමුක්තියක් පිළිඹද විශ්වාස නොකරන මිනිස්සු එක්ක සංවාද කරන්න වටිනා කාලය නාස්ති කරන්නේ මොකටද .....?
සතරවරම් දෙවිවරු,පත්තිනි දේවිය,සුමන සමන් දෙවිදු කියන්නේ අපේ සංස්කෘතියට බද්ධවුන පිරිසක්...ඔවුන් හැම වෙලේම තම බැල්ම මිනිස්සු වෙනුවෙන් හෙලාගෙන ඉන්න බව තමයි අපේ මිනිස්සුන්ගෙ අහිංසක විශ්වාසය...අපි මහා විද්යාඥයො වගේ ඒ අහිංසක විශ්වාසන්ට පහර ගහල අවසානයේ ලැබන්නේ මොකද්ද ?
පසුගියාදා අපෙන් සමුගත් ස්ටීවන් හෝකින්ස් සහ අපේ ගැමියෙකු අතර අවසන් විග්රහයෙදි ඇති වෙනස මොකද්ද ? ඔහු කළු කුහර සහ තවත් දේ ගැන හොයන්න ඔහුගේ වටිනා කාලය යෙදෙව්වා..අපේ ගැමියෙක් ඒව ගැන කලය නාස්ති නොකර අහිංසක විදියට ජීවිතේ ගෙවලා මැරිල යනවා....අන්තිමට හැමෝගෙම සමීකරණ බින්දුවට සමාන වෙනවා....බුද්ධ කාලයේ සිටි රෝහිතස්ස දිව්ය පුත්රයාගෙ අහලකින්වත් හෝකින්ස් තියන්න බෑ...රෝහිතස්සගෙ වාසනාවට බුදුන් හමුවෙලා රහත්වුනා..ඒත් .හෝකින්ස් පෘථග්ජනභාවයෙන්ම ලොවෙන් සමුගත්ත...බුදුන් අතහැරලා හෝකින්ස්ලා පස්සෙ යන අපේ (අ)විද්යාඥයො සහ (අ)හේතුවාදියො ගැන කවර කතාද ?
ජීවිතේ කියන්නේ උවමනාවෙන් සංකීර්ණ කරගතයුතු සිව්වන ඝනයේ ආංශික අවකල සමීකරණයක් නෙවෙයි....ඉතාම සරල සමීකරණයක්.....
බෞද්ධ සංස්කෘතිය තුළ ලෝකය, විවිධ අවස්ථා අනුව අර්ථ දක්වන්න තරම් ඒක හරිම පොහොසත්....පුංචි බිළිදෙක් ඉපදුනා කියන්නේ අලුත්ම ලෝකයක් නිර්මාණය වුනා කියන පුලුල් අර්ථය වග බෞද්ධයෝ දැනගෙන හිටියා....
අපේ රටේ අතිමහත් බහුතරයකට බිළිදෙක් ඉපදුනාම ඒක මහා මංගල්ලයක්....එතන අලුත් ලෝකයක ආරම්භයක්......ඉහත කියපු හැම දෙවි දේවතාවියම ඒ මංගල්ලයට සහභාගිවෙන්නේ කැමැත්තෙන්මයි.. ඉර හඳ කියන්නේ නිකම්ම නිකං භෞතික වස්තූන් නොවන, අපිට නිති පිහිට ලබාදෙන දෙවිවරු ලෙස දකින්න තමයි අපි පුරුදුවෙලා හිටියේ....ඒව වියලි ග්රහ වස්තූන් ලෙස දකිනවට වඩා ඒක කොච්චර නම් අගේද ?..ඉපදුන දරුවා නලවන්න කියපු කවි වලත් තිබුනෙ සරල වුනත් ආශිර්වාදාත්මක දේවල්.....
උපතකදී වගේම විපතකදීත් පිරිත් සද්ගායනා කරල සතුට-දුක දෙකම සම සිතින් උපේක්ෂාවෙන් විඳ ගැනීමේ ක්රමයක් අපේ ගැමියන් ලඟ තිබුනා..... ඉතිං එහෙම බැලුවාම බිළිදෙකුගේ උපත විශ්වයම සාමූහිකව සැමරිය යුතු නැවුම් බලාපොරොත්තුවක් නොවේද ?
අද ඉපදුනු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න..
පතිනි මවුනි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න..//
උපන් බිලිඳු නහවන්නට රුවන් පිරිත පැන් වඩති...
සිරිමා බෝ පත් සෙලවී මෙත් සිහිලෙන් සුවය දෙතී...
දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිතී..
සඳ හිරු දෙපසින් අවදිව කල්පයකට ආයූ දෙතී.....//
සහසක් බුදු වදන් නිතර නැලවිලි ගීයෙන් ගයතී...
සිරි දළදා හිමි සරණින් පිහිට ලබා නිදුක් වෙතී..
උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී....
බාල බිලිඳු පිළි ගන්නට සමන් දෙවිඳු දොත දෙතී.....//
පද ගෙත්තම : කුමාරදාස සපුතන්ත්රී
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=SetgT4KuEOI
 

 
 

Comments

Popular Posts