ගවේශණය මත තබනු ලබන විශ්වාසය..... 01 කොටස (Trusting the Voyage-01)


පසුගිය සියවසේ, ථේරවාද ලෝකයේ බිහිවූ මහා යතිවරයානන් වහන්සේ කෙනෙක්වූ, අජාන් චා හිමියන් විසින් විදෙස් භික්ෂූණ් පුහුණු කිරීම උදෙසා, ඊසාන දිග තායිලන්තයේ, වනාන්තර ආශ්රිතව පිහිටවූ, "වට් පා නනචට්" ආරණ්යසේනාසනයේ අධිපති ධූරය දරා , දැන්, හුදෙකළාව, භාවනානුයෝගීව වැඩ වෙසෙන, ඉංග්රීසි ජාතික අජාන් ජයසාරෝ හිමියන් විසින් ,1998 වස්සාන සමය තුළදී,භික්ෂූණ් උදෙසා පවත්වනලද ධර්ම දේශණාවක(Trusting the Voyage), සිංහල අනුවාදයයි මේ….
උන්වහන්සේ ඔබ ඉදිරියේ නොසිටියත්, ඔබ මනස එක්තැන් කරගෙන මෙය කියවන්නේ නම්,එහි අඩුවක් ඔබට නොදැනෙනු ඇත.....
ගත නොසොල්වා ,මනස එක් තැන් කරගෙන, එහි ප්රඥ්ඥාව පහළ වීමට ඉඩ හරින්න.....
නමෝතස්ස..භගවතෝ .....අරහතෝ..... සම්මාසම්බුද්ධස්ස.....!
බුද්ධං....ධම්මං..සංඝං නමස්සාමි.....!
කුඩා කාලෙ ඉඳලම ගවේශණය මගේ සිත්ගත් දෙයක් වුනා... ග්රීක් වීරවරුන් නොයෙකුත් වටිනා අන්දමේ නිධාන සොයාගැනීමට දැක්වූ නිර්භීතකම ,දක්ෂකම,ඒ වගේම ඒවායේදී ඇතිවූන නොයෙකුත් අභියෝග හමුවේ දැක්වූ විඳදරා ගැනීමේ හැකියාව උරගා බැලීමේ අවස්ථාවන් ගැන ලියැවුනු පොත පත කියවීමට මට බලවත් කැමැත්තක් තිබුණා…
බෞද්ධ දර්ශණය, මනුෂ්ය ජීවිතය පිළිඹද ආධ්යාත්මික ගවේශණයක් බව,තරුණ කාලයේදීම මම හඳුනා ගත්තා....ඒ කාලයේ මම ජීවත්වූ බටහිර ලෝකයෙ සමාජය,අගයුම් කල දේවල් වල ඇති හිස් බව,අනර්ථවත් බව මම අවබෝධ කරගනිමින් සිටිද්දි, බුදුරදුන් විසින් පෙන්වා දී තිබුණු, අවිද්යාවෙන් සහ ඇලීමෙන් නිදහස්වීම සඳහා කලයුතු විමසීම,කෙලෙසකින්වත් බිඳලිය නොහැකි සත්ත්යමවූ "ආර්ය ගවේශණයක්" බව මට පෙනී ගියා..අදත් එය එලෙසමයි... මෙම ආර්ය ගවේශණයෙන් පිටස්තර ඕනෑම වෑයමක්,කොයිතරම් සාම්ප්රදායික වටිනාකමකින් යුක්තවුවත්,අවසන් විග්රහයේදී , කිසිසේත්ම නොවැදගත්වන බව මගේ සිතේ තහවුරු වුනා...
මහණදම් පුරන්නවුන් ලෙස ඊට ඇතුලත් විනය සහ නීති රීති අනුමත කරමින් අපි බෞද්ධ භික්ෂුවක් බවට පත්වෙන්නේ,වෙනස්ම ආකාරයක නවක ස්වරූපයක් ලබා ගැනීමට නෙවෙයි...අපි මේ තෝරාගත් ගවේශණයේ යෙදීමට,එක්තරා සැළැස්මක් සහ යම් ප්රමාණයක බාහිර උදව් අවශ්යබව පෙන්නුම් කරදීමක් ලෙසයි..නමට ගැලපෙන වටිනාකමකින් යුතු ඕනෑම අන්දමක ගවේශණයක් සිදුකිරීමේදී,ඊට එරෙහිව නැගීසිටින ,යකුන්ට මුහුණ දීමට ,මඩගොහොරු මගහැරීමට,අනතුරුවලට නොබියව මුහුණදීමට සිදුවීම අපට වලක්වන්න්න බැහැ……අනෙකුත් සහෝදර භික්ෂූන්ගේ උපකාරයනුත්,මේ ගවේශණයේ ඇති වටිනාකම ගැන සිතේ ඇති විශ්වාසයත් නිසා එය සාර්ථකව නිමකිරීමට අපට පුලුවන්කමක් ලැබෙනවා.....
විශේෂයෙන්ම දේව විශ්වාසය පදනම් කරගත් වාතාවරණයක හැදුන වැඩුනු,ඒ කෙරෙහි කලකිරුනු, ඒ වගේම මේ බෞද්ධ ඉගැන්වීම් බොහෝ දුරට විද්යානුකූලයැයි පෙනීගිය සමහරක් බටහිර බෞද්ධයින්, විශ්වාසය යන වචනයට එතරම් ගරු සරුවක් දක්වන්නේ නැහැ. නමුත් මම ඒ වචනයට කැමැත්තක් දක්කවන්නේ “ශ්රද්ධා” යන වචනයේ අර්ථය ඊටවඩා හොඳින් පැහැදිළි කෙරෙන වෙනත් වචනයක් නැති නිසා...එය කොයි ආකාරයෙන් පරිවර්තනය කලත්, එය නොමැතිව කිසිවක් කල නොහැකි බව අපට පිළිගැනීමට සිදුව තිබෙනවා...නිවන් අවබෝධය කියා දෙයක් ඇති බව කිසිවෙකුට ඔප්පුකර පෙන්වියහැකි දෙයක් නෙවෙයි....එය එසේවූවත් ඒ ගැන අප තුල විශ්වාසයක් නැතිනම්,අපේ පුහුණුව හුඟ දුරක් ගෙනයාමට හැකිවෙන්නේ නැහැ..විශ්වාසය අපේ ඉල්ලකය පැහැදිළි කරනවා..ධෛරයෙයෙන් අපව ප්රභල කරනව ,වීර්යයෙන් අපව පුබුදු කරනවා..අවසානයේදී කඳු තල්ලුකර දමන්නේ විශ්වාසය නෙවෙයි ප්රඥ්ඥාවයි...නමුත් ඒවා තල්ලුකර දැමීමට අවශ්ය පෙළඹවීම ඇතිකරන්නේ විශ්වාසයයි... නොයෙකුත් බාධකවලට මුහුණදෙමින් අපේ උත්සාහය බිඳවැටීමට යා නොදී, එය දිගටම පවත්වාගෙන යාමට මුල්වන්නේ මේ විශ්වාසයයි....
මනුෂ්යයින් හැටියට තම ජීවිතයේදී අත්කර ගැනීමට බලාපොරොත්තුවන දේ බොහෝයි....ආරක්ෂාව,ධනය,බලය,ප්රසිද්ධිය,ආදරය,ගෞරවය,සදාතනිකත්වය,ඒ වගේම මෙලොවින් තුරන්වීයාම ඉන් සමහරක්.... බොහොමයක් පුදගලයෝ මේ දේවල් ලබා ගැනීමට තම ජීවිත කැපකලත් , ඇත්තෙන්ම ඔවුන්ට අවශ්යව ඇත්තේ කුමක්දැයි ඔවුන්ම දන්නේ නෑ….. ඒ මොකක් වුනත් ඔවුන් දන්නේ, අවසානයේ එය නොලැබුන බව පමණයි.... සමහරෙක් එම ගවේශණය අතරමග නවතා දමනව,තවත් සමහරෙක් මත්ද්රව්ය සහ අසීමිත ලිංඟිකත්වය දෙසට යොමු වෙනවා...තවත් සමහරෙක් කිසිවෙක් නොරුස්සන,කිසිවක් නොරුස්සන "සර්වදෝෂදර්ශීන්" බවට පත්වෙනව... සමහර අය, මෙතෙක් කිසිවෙකුත් ලබානොගත් අත්දැකීම් ලබාගැනීමට ඇඟ කිලිපොලායන අන්දමේ නොයෙකුත් "අත්භූත ක්රියා" වල නිරත වෙනවා...ඔවුන් සලකන්නේ මේ “මාරයා සමග සෙල්ලම් කිරීම” අභියෝගයක් ලෙස...සෙනග අතරේ කැපී පෙනෙන්න ඔවුනට අවශ්යයි..තම ජීවිතවල හරයක් නොමැති බව හැඟී ගියාම, මේ සෑම දෙනෙක්ම බියට පත්වෙනවා... ඒ කොහොම වුනත් හිසකෙස් පිරිනු ජරා කානුවක් සුද්ද්කිරීමේ ඉඳලා,කාමාස්වාදයේ උපරිම තෘප්තිය ලබද්දි, මේ සෑම අත්දැකීමක්ම ඇත්තේ “ෂඩ්-ආයතන” නමින් බුදුරදුන් හැදින්වූ,ඉතා පටුවූ ,ඉතා කොටුවූ වතාවරණයක……
ලෝකයේ පවතින්නාවූ විසිතුරුවූ නොයෙකුත් මනස තිගස්සන අත්දැකීම් කිසිවෙකට,මේ සංජාන ක්ෂේත්රය ඉක්මවා යන්න බැරි බව අපි දන්නවා...කොතෙක් වස්තුව තිබුණත්,ලෞකික සැප සම්පත්වලින් කිසිම අඩුපාඩුවක් නොතිබුණත්,කොතැනක සිටියත් මේ සෑම දෙනාම,ගැලවීමක් නොමැතිව හිරවී ඉන්නේ මේ “සයඉඳුරන්ගේ ආදිපත්ය” යටතේ...කොයිතරම් සුන්දර මන පිනවන ආශ්වාදයක් වුනත්,කිසිවෙකුට කිසි කලෙක තම දෙනෙතින්,රූපයක් හැර රූපයක් නොවන දෙයක් දැක ගන්නට බැහැ.... එය දන්නේ එපමණයි..එය කල හැක්කේද එපමණයි.... එය මොනතරම් නිවට නියාලූ දෙයක්ද ?
ඔය හුවා දක්වන පම්පෝරියේ තරමට,මේ සංසාරයේ ඇති ගතයුත්තක් නෑ....මේ ගැන පොඩ්ඩක් හිතල බලන්න...
රූපය, රූපයක් ලෙස අපි වටහා ගත්තම,එම රූපයේ අඩංගු දෙයින් කුල්මත්වීමට හෝ ඊට වහල් වීමට,සිත් තැවුල් ඇතිකිරීමට හෝ කුපිතවීමට ඇති බලය හීනවීම ඇරඹෙනවා.......ශබ්ද හැමවිටකදීම ගෙනදෙන්නේ ශබ්දයක්ම පමණයි...මොනයම් අන්දමක ශබ්දයක් වුනත්, ඊට ආවේණික ගුණාංගයන් හැමදාම එලෙසින්ම පවතින්නේ නැහැ.. එය එපමණයි..අස්ථීරයි..එක දිගටම පවතින්නේ නැහැ..ශබ්දය ශබ්දයක්ම පමණයි,ගඳ-සුවඳ, ගඳ-සුවඳක්ම පමණයි……රසය, රසයක්ම පමණයි...ශාරීරික පහස ශාරීරික පහසක්ම පමණයි....සිතිවිළි, මොනෝභාවයන්, චිත්තවේග ඒවා එපමණයි..කිසිකලෙක ඒවාට, ඒවා හැර වෙන දෙයක් විය හැකිද ? ඇතිවී-නැතිව යනව...හිස්..එමෙන්ම ඒවාට හිමිකාරයෙක්ද නැහැ... මේ මොනම ආයතනයක්වත් එකදිගට පවත්වාගනිමින් අපිට සදාකාලික සතුටක ගිලී ඉන්නට බැහැ...
සාමාන්ය බුද්ධියට හසුනොවන, අත්මිදීමේ අදහස,අතහැරීමේ සංකල්පනාව උපත ලබන්නේ මෙතනදී බව මගේ හැඟීමයි.... තවතවත් රූප, තවතවත් ශබ්ද, තවතවත් ගන්ධ, තවතවත් රස, තවතවත් උද්වේගයන්, මහෝභාවයන් ,අදහස් ,උදහස්වලින් රසවිඳීමට,ඒවා ලුහු බඳිමින්,වෙර වඩමින්,හති දමමින් අපි ගත් තැත, පීඩාකාරී බව හැඟෙන්නට පටන් ගන්නවා...මිනිසත්බව ගතකිරීමට සුදුසු මග ඇත්තෙන්ම මේකද ?
ගෞතම සිද්ධාර්ථයන් ,සහ ඊට පසු සුවහසක් ගැහැනුන් සහ පිරිමින්, ඔවුන්ගේ ආධ්යාත්මික ගවේශණයන් ඇරඹුවේ මීට වඩා වටිනා යමක් මනුෂාය ජීවිතයේ ගැබ්වී ඇතැයි යන අදහස සිතේ තහවුරු කරගෙනයි.... ඒ වුනාට සයඳුරන්ගේ ආශ්වාදය පසුපස එලවා යාම ලෝක ස්වභාවයයි...එක්තරා කොටසක වේදනාවන්ගෙන් කුල්මත්වීම,අනෙකුත් වේදනාවන්ගෙන් මිදීම ඔවුන්ගෙ අරමුණයි...අශ්වාදයන් වැඩි වැඩියෙන් ලත් පමණට, තම ජීවිත සම්පූර්ණ බව ඔවුන්ගේ අදහස...අධිකත්වය,බලවත්කම ඒවායේ සීමාන්තය ලෙසයි ඔවුන් සලකන්නේ....අනුරාගය ජීවිතයේ ඉස්තරම්ම තෘප්තිය ලෙස කුඩා කාලෙ ඉඳලම අපේ සිත්වල තහවුරු කරල තියෙන අදහසක්...ගීත,නවකතා,චිත්රපටි,රූපවාහිනී තොරතෝංචියක් නැතුව අපිට කියා සිටින්නෙත් ඒකමයි...
පරිභොජනයේදී නිදහස කියාපාන්නේ “අමූලික බොරුවක්”....මුදල් තිබුණ තරමට,කෑම කද්දි මේසය පුරා මාළු - පිණි තිබුණ තරමට ,පාන් පෙත්තේ ගාන්න ජෑම් වර්ග වැඩිවූ තරමට,අපි නිදහස් යැයි හැඟීමකුයි අපිට දී ඇත්තේ... වෙන එකක් තියා ජ්යාත්යන්තර වෙළදපොළ හදුන්වන්නෙත් “නිදහස් වෙළදපොළ” කියල..ඒ කෙසේවෙතත් මහණ ජීවිතයේදී, සෑම දෙයක් දෙසම ඉතා සැළකිලිමත්ව බලමින්,ඒවයේ සැබෑ ස්වරූපය කුමක්දැයි විපරම් කර බැලීමට අපි උනන්දුවක් දක්වනව...ලෝකයේ පවතින කලබැගෑනියෙන් ,එය ගෙන දෙන පීඩනයෙන් මදක් ඉවත්වෙලා,ජීවිතයේ පැවැත්ම විග්රහ කර බලමින් එහි ස්වභාවය මැනවින් වටහා ගැනීම අප සතු කාර්යයක්...අපි එහි යෙදෙන්නේ එය බුද්ධියටම පමණක් සීමාවූ ගවේශණයක් නොවන බවට ලත් අත්දැකීම් ඇතිවයි...එහි ජයග්රහණය බොහෝසෙයින්ම රඳාපවතින්නේ අපේ සීලයේ පාරිශුද්ධතාවයත් , අසහනය,උද්දාමය වැනි නොයෙකුත් මාදිලියේ මනෝභාවයන්,උපේක්ෂාවෙන් විඳදරාගැනීමට අපට ඇති හැකියාවත් මතයි....
සත්ත්ය සොයායන මේ ගමනේදී, අප උත්සාහ ගතයුත්තේ බෞද්ධ පොතපතේ ඇති අදහස්වලට ගැලපෙන අයුරින් අපේම අදහස් ඇතිකර ගැනීමට නෙවෙයි...එම ඉගැන්වීම් මග සැලැස්මක්,ක්රියාමාර්ගයක් හැටියට පරිහරණය කිරීමට උත්සාහ කිරීමයි....අපි විමසිය යුත්තේ, මනුෂ්ය ජීවිතය කුමක්දැයි කියා ඒවා සම්පූර්ණ අවබෝධයක් අපිට ලබා දෙනවද ?සති,සමාධි,ප්රඥ්ඥා වල බලයෙන්, සත්ත්ය කුමක්දැයි නිරාවරණය කර ගැනීමට හැකියැයි යන අදහස ඒවා සනාථ කරනවද ? කියල...
බුදුරදුන් අප වෙත පිරිනමා ඇත්තේ, ජීවිතය හා අපේ අත්දැකීම් කුමක්දැයි සොයා බැලීමට අපේ ඇස් අරවන ඉගැන්වීමක්.... අපි සෝදිසි කරල බලන්නේ “මොකද්ද මේ ? මම කවුද ? මොකද්ද මේ ජීවිතය ? මේ ශරීරය.?...මේ මනස...? ” මේ සෙවීම දිරිගන්වන්නේ, නිහතමානීව “අපේ නොදන්නාකම” පිළිගැනීමෙන්....අපි රැකගන්නේ සත්ත්ය ශ්යාක්සාත් කරගැනීම සදහා කළයුතු සොයාගැනීමේ ඇති වැදගත්කම මත තැබූ විශ්වාසයයි....
නින්දෙන් එකවර අවදිවූ කුරුල්ලෙකුට ,තමා කූඩුවක් තුල ඉන්නා බව සිහිපත්වීම ගැන අජාන් චා උතුමා විටෙක පවසා තිබෙනවා..කොයි ආකාරයක කූඩුවක් වුනත්, ඉතා ලස්සනට සරසල රන් පොලු වලින් නිම කරල තිබුණත්, කූඩුව කියන්නේ මොකද්ද? ..නිදහස ඇත්තේ ඉන් පිටත බව කුරුල්ලා පැහැදිලිව වටහා ගත්තම,ඉන්පසු කිසි කලෙකවත් ඌ ඒ තුළ ජීවිතයෙන් “සෑහීමකට පත්වෙන්නේ” නැහැ...අපි මේ ආධ්යාත්මික දිවි පෙවෙත තෝරාගත්තේ හිරවූ කූඩුවේ වාතාවරණයෙන් නිදහස ලබා ගැනීමටයි.....අපි පිළිපන් මේ මග, ශ්රමණයින් ලෙස ගතකරන්නාවූ මේ දිවි මග,ඇත්තෙන්ම යොග්ය අර්ථවත් බව කෙනෙකුට හැඟී යන්නේ,මනුෂ්ය ඤාණය ඉක්මවා යාමට ඇති අධිෂ්ඨාණයේ ඇති හරය වටහා ගත්තමයි..තමා යන හැඟීම උඩ ගොඩනගාගත්, ඇලීම් සහ ගැටීම් වලින් පිටත නිදහසක් ඇතැයි යන දෘෂ්ඨිය මත අපි විශ්වාසයක් ඇති කරගත යුතුයි....එම නිදහස ලැබෙන්නේ සෑම මොහොතකම බැඳීමේ ස්වාභාවය සහ එය සිදුවෙන ආකාරය ගැන සම්පූර්ණ අවබෝධයක් ඇතිකර ගැනීමෙන්.....රූප ,ශබ්ද ,ගන්ධ,රස ,ස්පර්ශ සහ සංකාර ...සංකාර කියන්නේ සිත ඇතිකරන,මතු කරන,මවන දේවල්...මේවාට මූලිකවූ ආයතනයන්ට ඇලීම අති භයානකයි..හේතුව ඒවාට ඇත්තේ කෙටි ආයු කාලයක් ...අද මම රෝහලට ගියේ අප දන්නා වැඩිහිටි උපාසිකාවක් බැහැ දැකීමටයි..ඇගේ පිළිකාව දැන් බොහෝදුර ගිහින්...ඇයට දැන් වතුර ටිකක් ගිලීමටවත් ශක්තියක් නැහැ...උගුර කට හොදටම වේලිලා ගිහින්....ඇයට ඕන කරන්නේ වතුර ටිකක්...නමුත් වතුර ටිකක් කටට වත්කලාම එය කට දෙකොනින් බේරී යනව...එය හද කකියවන දර්ශණයක්....ඇගේ ශරීයේ ඉන්ද්රීයයන් එකින් එක නතරවීම අරඹලා....මගේ සාමණේර කාලයේ ඉඳලා හොදින් දන්නා අදුනන ඇයගේ මේ ජීවිත ගමනේ අවසානය දැන් ඉතා ලංවෙලා....
අපේ ඇසුත් දැන් වැඩ නතර කිරීමට තීරණය කරලා.... අපේ කන් ඊට සහයෝගය දක්වන්න වගේ දැන් වැඩ කරන්නේ ඉස්සර වගේ නෙවෙයි , බාගෙට....රූප සමහරක් දැක්කත් ඒවායින් දැන් ඉස්සර වගේ අපිට ඇති වැඩක් නෑ....මේ ශබ්දවල පැවැත්ම ඇතිවුනේ අපි උපදින්නත් ඉස්සර ඉඳලා...අප මැරුණ කියලා ඒවායේ අඩුවක් වෙන්නේ නෑ...දිගටම පවතිනවා... ලස්සන පියකරු දේවල් දිහා බලන්ඉඳලා කිසිවෙකු කිසිකලෙකත් නිදහස්වුනා කියල අහල තියෙනවද ?තවතවත් සිරගතවුනා මිසක්.....උපත-විපත වටා යන මේ ගමනින් මිදුනෙ නැහැ...මිහිරි සංගීතය කන්කලු ශබ්ද ගැන උනත් කියන්න තියෙන්නෙ එපමණයි......කෙට් කාලයකට අපට එයින් සැනසීමක් ලැබෙන්නට ඇති...නමුත් මිහිරි නාදය අපට ලබාදුන් ප්රඥ්ඥාව මොකද්ද ? අපි කරන්නේ සිත වල්මත් කරගැනීමට යම්කිසි සෝබනත්වයක් ගෙනදීම පමණයි...
බුදුරදුන්ගේ ඉගැන්වීම් කෙරෙහි සුළුවෙන් හෝ ශ්රද්ධාවක්,විශ්වාසයක් ඇතිකර ගත්තම, ඒ තුලින් , අපට දැනෙනව,නිදහස්වීම කියා දෙයක් තියෙනව,එයට අපට ලඟාවිය හැකියි,එය අපට අවබෝධ කරගැනීමට අප තුල ශක්තියක් පවති,එම නිදහස බලාපොරොත්තුවිය හැකි දෙයක් ,එයට අපට මගක් තියෙනව යන වග...නමුත් පංචස්කන්ධයට අපේ ඇලීම පවතින තාක් කල්, ගතින් විනෝදවීම පවතින තාක් කල්, පවත්වාගෙන යන තාක් කල්,වේදනාවෙන් අපි සතුටු වෙනවනම් ,සංජානනයෙන් අප ලබන දෙයින් අප සතුටු වෙනව නම්,සිතුවිළි අදහස් උදහස් වලින්,උද්වේගයන්ගෙන් අපි සතුටු වෙනව නම්, ඒ කියන්නේ අපි තවම දුකින් උදම්වීම අතහැරල නැහැ....බුදුරදුන් ඒ බව ඉතාමත් පැහැදිළිව පෙන්වාදී තියෙනව....පංචස්කන්ධයට ඇලීම කියන්නේ දුකට ඇලීමක්...
යමෙක් දුකට ඇලුන නම් ඔහුට දුකින් මිදීමක් නැහැ...හරි හැටියට බැලුවොත් අපිට යන්න තැනක් නැහැ....ඒ කියන්නේ අලුත් තැනක්...කොතැනකට ගිහින් බැලුවත්, ඒ තැන, කලින් සිටි තැන වගේම තමයි....අපි ඉන්නේ රූප,ශබ්ද,ගන්ධ,රස,ශාරීරික වේදනා,මානසික සංකාර ඇති තැනක...ඒ ඇරෙන්න වෙන මොනවද ඇත්තේ?ඒ සියල්ලම දැනටමත් අපේ අත ලඟ...නොකිලිටි හිමාල අඩවියේ මංතලව්වක ඇවිදිද්දි,එහෙම නැතිනම් ඉතා ජනාකීර්ණ වීදියක සෙනග පීරමින් ඔබ-මොබ යද්දි,කළයුතුව ඇති වැඩ කොටස එකමයි...කොතැනක සිටියත් දේවල් වල ඇති සත්ත්යය අපිට පැහැදිළියි....සමහර වාතාවරණයන් අනෙකුත් ඒවාට වඩා අපේ වැඩකොටස කරගෙන යාමට සුදුසුයි...අපි ඒක අවිවාදයෙන් පිළිගතයුතුයි...
බුදුරදුන් වනගත ආරණ්යසේනාසන පිහිටුවීමටත්,ඊට අනුකූළ සම්ප්රදායක් ගැන දේශණා කිරීමටත් හේතුව ඒකයි.....උන්වහන්සේගේ දේශණාවන් පුරාම මේ වනගත, හුදෙකලා ජීවිතය අගය කොට තිබෙනවා...ඒ කෙසේවෙතත්, අපි කොතැනක සිටියත් , මොන ඉරියව්වක සිටියත්,සිහි කල්පනාව දියුණු කරගැනීමේ වැඩකොටස ඉටු කරගන්න පුළුවන්,ඒ සඳහා ඇතුළතින් ආලෝකය ඇතිකරගන්න පුළුවන්...කොයි අන්දමේ අත්දැකීමක් වුනත්, අපි එයින් යමක් ඉගෙනගැනීමට ඇල්මක් ඇතිකරගන්න ඕන...අරයා,මෙයා,අරක නැතිනම් මේක හැටියට සළකන්නේ නැතුව, සෑම දෙයක්ම “ධර්මතාවක්” ලෙස තේරුම්ගැනීමට අප සිතට ගතයුතුයි...අප නිරතුරුවම උත්සාහ කළයුත්තේ නැවත ඉගෙනගැනීමේ,නැවත හැඩගැහීමේ කටයුත්ත සාර්ථක කරගැනීමට...පරිහානියට ඉඩ දෙන්න එපා...අලුත් ආරම්භයක් නැවත නැවත ඇතිකරගැනීමට පසුබට වෙන්න එපා..ඉවසීම සීමා කරගන්න එපා...ඉවසන්න...ඉවසන්න...ඉවසන්න..එට පසුවත් නැවතත් ඉවසන්න....කළයුතුව ඇති වැඩකොටස අවසන් වන තෙක් ඉවසන්න...
බුදුරදුන්, “සම්මා සම්බුද්ධ” බවට අපට ඇත්තේ අසීමිත විශ්වාසයක්,උන්වහන්සේ පන්සාලිස් වසක් දෙව් මිනිස් වර්ගයාට බෙදා-හදා දුන් ඉගැන්වීම් සත්ත්ය බව අපි පිළිගන්නවා...උන්වහන්සේගේ ආර්ය ශ්රාවකයින්, එම ඉගැන්වීම් මගින් සත්ත්ය අවබෝධ කරගත් බවත් අපි දන්නවා....මේ සෑම දේකින්ම පෙන්නුම් කර සිටින්නේ, අපි හැමට කොතැනක සිට පැමිණියත්,කුමන රටක ඉපදුනත්,මවු බස කුමක් වුවත්,උපතින් ලද ආගම කුමක් වුවත්,ගැහැණු-පිරිමි බව කුමක් වුවත්, සෑම කෙනෙක් තුළම, එම සත්ත්ය අවබෝධ කරගැනීමට එකම හැකියාවක් තිබෙන බවයි...එම පිබිදීම ඇති කරගන්න මනුෂ්යයින්ට පුලුවන් කමක් තියෙනව...නිවන සාක්ෂ්යාත් කර ගත හැකියි...අපි වතුරෙ ඉන්නේ මාළු වගේ....වතුර මොනවගේදැයි මසුන්ට තේරුම් ගන්නට ඇති අපහසුව කුමක්ද ?...හොඳට හිතල බලන්න, එය අපි වටේටම තියෙනව...අපි තුළ එය තියෙනව..අපි කළ යුතු එකම දේ,ඇස් අරින්නට ඉගෙන ගැනීම පමණයි...එහෙම නේද ?..ඒ වුනාට බුදු පිළිවෙත පිළිපදින්නන් වන අප අතරේ, පැහැදිළිවම දකින්නට ඇති දුර්වල කමක් තමයි, බුද්ධ,ධම්ම,සංඝ යන ත්රිවිධ රත්නය කෙරෙහි අප තුළ පවතින දැඩි ශ්රද්ධාව වගේ බුදුරජාණාන් වහන්සේගේ ඉගැන්වීම්වල ඇති සත්ත්යතාවය මත තබා ඇති ගෞරවය සහ පිළිගැනීම වගේ හෝ ඊට සමාන කළ හැකි මට්ටමේ විශ්වාසයක් එම සත්ත්යය අවබෝධ කරගැනීමට අප තුළ ඇති හැකියාව මත නොතිබීම.අප තුළ එම විශ්වාසය නැතිනම්,සද්ධා,විරිය,සති සමාධි,පඥ්ඥා කියන පංචඉන්ද්රීියයන්ගේ වර්ධනයට ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ. සත්ත්ය අවබෝධ කරගැනීමට අප තුළ ඇති හැකියාව මත අප තුළ විශ්වාසය දුබලවීමට ඉඩහැරීම ඉතාමත් අනුවණ ක්රියාවක්.....දහම්මගට පිළිපන් අබ්බගාතයෙක් වගේ...තමන් කවුදැයි තමන්ටම වටහා ගැනීමට ඇති නොහැකියාව තමයි මේ සැකය ඇතිවීමට මූලික හේතුව...
මම කියා වෙන්කර ගත හැකි පුද්ගලයෙකු ඇතැයි යන ආකල්පය අමු අමුවේ ගිල දැමීම නිසා අධ්යාත්මිකකව අපේ හද වියැලිලා ගිහින්...විශ්වාසය ඇතිකරගැනීම බලෙන් කරගත හැක්කක් නෙවෙයි....එසේ කිරීමට අවශ්යයකමකුත් නැහැ...විශ්වාසය මතුවීම්ට ඉඩ නොදෙන මේ වැරදි ආකල්පය ඉවත්කර ගන්න.අප අත්විඳිනා දෙය කෙරෙහි යොමු කළ අවධානය වැඩිදියුණු කරගන්න වඩා සැලකිළිමත් වන්න....දෙමට්ටමක පිහිටි සම්මුති සත්ත්ය හා පරම සත්ත්ය යන දෙක අතර ඇති වෙනස ගැන හොඳින් සැලකිළිමත් වෙන්න ඕන... “සම්මුති සත්ත්ය” කියල අපි අදහස් කරන්නේ, යමක් හෝ දෙයක් විස්තර කරදීමට,හඳුන්වාදීමට යොදාගත් කාලයට අනුව ,ඒ ඒ අවස්ථාවට අනුව පවතින සත්ත්යක්....අපි සම්මත කරගෙන ඇති සත්ත්යක්..උදාහරණ ලෙස.පුටුව,මේසය,බෞද්ධ සංඝමය,ගෝනුස්සා,මනුෂ්ය සංහතිය යනාදිය…… යමක් හෝ දෙයක් විස්තර කිරීමට යොදාගත් යමක්...නමුත් එතන,ඒවායේ ඇති ස්ථීර සත්ත්යක් නැහැ... යම්කිසි සැළැස්මකට අනුව එකිනෙට සවිකළ ලී කෑලි ටිකකට, අපි “පුටුව” කියල කියන්නේ...නමුත් ඒ ලී කෑලි ටිකම එක පොදියකට තිබ්බොත්, එය "ලී මිටියක්" මිසක් පුටුවක් වෙන්නේ නැහැ...ව්යවහාරය සඳහා ඒ නම යොදා ගැනීමේ කිසිම වරදක් නෑ.....නමුත් එය “පරම සත්ත්යක්” නෙවෙයි..පරම සත්ත්ය, ඇතිදේ- ඇති සැටියෙන්ම පෙන්නුම් කර සිටිනවා…එම පරම සත්ත්යයන්, අදහස්-උදහස්,ඕනෑ-එපාකම් මත රඳාපවතින්නේ නැහැ...එම සත්ත්යයන් බිඳවැටෙන්නේ නැහැ... මේ මට්ටමේ සත්ත්යයන් සිතිවිළි වලට හසුවෙන්නේ නැහැ... ව්යවහාර භාෂාවේ වචන නැහැ ඒව හරි හැටි විස්තර කරල දෙන්න....නුවණැති පුද්ගලයෝ සම්මුති සත්ත්යයන් යොදාගන්නේ අදහස් උදහස් හුවමාරැ කරගන්න විතරයි...නමුත් ඒ වචන වලින් ඔවුන් රැවටෙන්නෙ නෑ ,මුලා වෙන්නේ නෑ...මේ අන්දමට කරුණු වටහා ගත්තම, දෙමට්ටමේ ඇති සත්ත්යයන් අතර වෙනස හරිහැටි අවබෝධ කරගත්තාම,සමහරක් බෞද්ධ ඉගැන්වීම් වල ඇති, පටලැවුන ස්වභාවය ලිහා ගන්න පුළුවන්..ඒ කියන්නේ, විශේෂයෙන්ම තමා යන වචනය යොදාගත් තැන් වලදී.. බොහෝමයක් සූත්රවල තමා යන වචනය හමුවෙනවා..උදාහරණ හැටියට "තමා,තමන්ට සරණක් විය යුතුයි","තම වීර්යය උපදවා ගත යුතුයි",තම ශ්රද්ධාව දියුණු කරගත යුතුයි...මෙවැනි නොයෙකුත් අන්දමේ උපදෙස්දී ඇත්තේ, තම දියුණුව ඇතිකර ගැනීමටයි...මේ සියල්ලම,සම්මුති මට්ටමේ ප්රකාශණ…. නමුත් එම ප්රකාශණ කිසිවක්,”අනත්ත” නැතිනම්, තමා කියා “කිසිවෙක් නැත” කියන පරම සත්ත්යය සමග වියවුලක් ඇතිකරන්නේ නැහැ…බුදුරදුන් ඉගැන්වූ අනාත්ම ලක්ෂණයෙන් පෙන්නුම් කරන්නේ,සම්මුති මට්ටමින් තමා කියා කෙනෙක් ඇති බව උන්වහන්සේ නොපිළිගන්නා බව නොවෙයි....හොඳින් තේරුම් ගන්න....උන්වහන්සේ පැහැදිළිවම පෙන්නුම්කර සිටින්නේ සම්මුති මට්ටමින්,තමා පිළිබඳව සමාජය පිළිගත් කතාන්දරවල යම්කිසි වැදගත් කමක් තිබුණත් ඒවා පරම සත්ත්ය සමග පටලවා නොගන්නා ලෙසටයි......වෙන්කොට ගතහැකි නිදහස් සදාකාලික මම කියා කෙනෙක් නැහැ...විඳින්නාවූ අත්දැකීම් කේන්ද්රකොටගත් ස්ථීර අද්දැකීම් කිසිවක් එහි නැහැ.... මමත්වය පදනම් කරගත් යමෙක් නැහැ...අප සිතාසිටින පරිධි, තමා ලෙස ගත හැකි කිසිවෙකු නැහැ...කොයිතරම් ඇතුලට කිමිදිලා බැලුවත් කරන්නෙක් නැහැ... සිතන්නෙක් නැහැ..අවස්ථානුකූලව කටයුතු කරන්නෙක් නැහැ... බවයෙන් බවයට සැරි සරන්නෙක් නැහැ..නමුත්,සම්මුති මට්ටමින් මම කියා කෙනෙක් ඉන්නවා...වරක් ශ්රේෂ්ඨ ගුරු භික්ෂුවක් කී පරිධි, තමා කියල දෙයක් තියෙනවා,නමුත් වරද එහි සදාකාලිකත්වයක් නැහැ...
අපේ මේ පුහුණුවේදී, නිතරම පැනනගින ,සිත අධෛර්යය කරවන සිතිවිල්ලක් තමයි ..."සීමිතවූ මම,අසීමිතවූ දෙයක් කෙසේ අවබොධ කරගන්නද?"ප්රමාණවූ මම, අප්රමාණ දෙයක් වටහා ගනීද ?"මම කියා කෙනෙක් ඇත යන වැරදි නිගමනය මත ගොඩනගාගත් එවැනි ප්රශ්න වලට නිතැතින්ම අපි සපයාගන්නේත් වැරදි පිළිතුරු……
“නෑ..මට කිසිසේත්ම හිතාගන්න බැහැ..නිවන මට අවබෝධ කරගතහැකි දෙයක් කියලා...එහෙම පුළුවන්කමක් ඇතැයි කියල මටනම් හිතෙන්නේම නැහැ”..තවත් විධියකට කියනවනම, “මේ පුංචි මට,ඒ වගේ පුදුම සහගත දෙයක් අවබෝධකළ හැකිද ?”
හැමවිටම දකින්නේ අතිවිශාල පරතරයක්..මේ පුද්ගලයා කෙසේ නම් සත්ත්යය අවබෝධ කරගන්නද ?
(මතු සම්බන්ධයි)
------- චාමර වන්නිආරච්චි -------
(මුල් දේශණය සදහා අනුග්රහය : කහවේ අභය හිමි )
 

Comments

Popular Posts