යෞවනියගේ විකාර රුපී සිහිනය....


මිනිස්සුන්ට දවල් හීන රෑ හීන කියන දේ අලුත් ඒවා නොවේ

උදේ ඉඳන් රෑ වෙනතුරු අපි ජීවත් වෙන්නේ සිහිනයක කියල කිව්වොත් සමහරු ඊට එකඟ වෙන එකක් නෑ...නමුත් ඒකට කියන්නේ"සංසාර සිහිනය" කියලා.......

අපි ජීවත් වෙන හැම මොහොතකම අපේ සන්තානය ඇතුළත කතාවක් තියෙනවා...අපි වචන වලින් ඒක පිට නොකලත් හැම මොහොතකම අපි අපිත් එක්කම දොඩමළු වෙනවා.....බුදුන් මෙය හදුන් වනේ "භවය" කියල...කවදා හෝ දවසක සංසාරයෙන් මිදුන දවසක මේ ඇතුළත කතාවත් නවතිනවා.....

අපේ සන්තානය තුළ කෙලවරක් නැතිව හටගන්නා මේ සිතිවිලි හෙවත් සිහින අතර එකිනෙක ගැලපීමක් හදා දෙන්නේ අපේ "විඤ්ඤාණය" විසින්...එහෙම නොවුනොත් අපි දකින එකිනෙකට වෙනස් රූප රාමු නිසා අපිට පිස්සු හැදිල තමයි නවතින්නේ....දවසකට තියෙන පැය 24 න් හතරෙන් එකක කොටසක් හෙවත් පැය හයක්වත් එක දිගට නිදාගන්න කියල දොස්තරලා කියන්නේ අපේ මේ නොනවතින මනසට පොඩි විවේකයක් ලබා දෙන්න ඕන නිසා.....පැය 18ක් තිස්සේ මනසේ එකතුවෙන සියලුම සිතිවිලි අපි නිදාගන්නා කාලය තුලදි දෝරෙ ගලලා මනස යම් තරමකට නිදහස් කරනවා.....කෙනෙකුට නිසි ලෙස නිදාගන්න බැරි වුනොත් ඊට පස්සෙන්දා"හෝන්දු -මාන්දු" වෙලා "ටියුබ් ලයිට්" වෙලා ඉන්නේ මේ මානසික විරේචණය නිසි ලෙස සිදු නොවුනම තමයි......මාස තුනක් පාසල් යන ළමයින්ට මාසයක් නිවාඩු දෙන්නෙත් මේ වෙහෙසට පත් මනස නිදහස් කරගෙන නැවතත් අලුතෙන්ම ඉගෙනීම ආරම්භ කරන්න ඕනෙ නිසා...ඒත් අවාසනාවකට අපේ රටේ නිවාඩු කාලෙදි තමයි වැඩියෙන්ම දරුවන්ට විවේකය අහිමි කරන්නේ......

රැයක් නිදි වැරීමෙන් මොලයට සිදුවෙන බලපෑම රාත්තලේ මිටියකින් හිසට පහර 20ක් එල්ල කලාම ඇතිවන බලපෑමට සමානයි කියල බටහිර ස්නායු වෛද්‍යවරු කියනවා.....

කෙනෙක් මත්ද්‍රව්‍ය ගැනීමෙදිත් සිදුවන්නේ අපේ මනස තවදුරටත් මත්වීම නිසා විවිධාකාර සිහින ලෝක වලට යාම....ගංජැ සහ හෙරෝයින් ගත්තම මිනිස්සු අමුතුම සුන්දර සිහින ලෝකවලට යන්නේ හැම වෙලේම සිහිනයක ජීවත්වෙන එක "සංසාරයේ ඇත්ත" තත්වයට මුහුණ දෙනවට වඩා කෙනෙකුට හොඳයි කියල හිතෙන නිසා වෙන්න ඇති........

අපි දකින සිහින සාමන්‍ය ජීවිතයත් එක්ක ගලපන්න යන එකම විහිළුවක්...මොකද කිසිදාක ඒවාට පියවි ලෝකයෙදි වටිනාකමක් නොලැබෙන නිසා....අපි දකින සිහිනත් හරියට "ඉර පායයි-නෙළුම් මල් පිපෙයි-පිට කසයි" වගේ...එහෙම නැතිනම් "මහින්දාගමනය සහ ලක්දිව උෂ්ණත්වය වැඩිවීම" වගේ.....නැතිනම් "ලාම්පුතෙල් සහ මස් කටු විකිනීමට තිබේ" වගේ..ඊටත් වඩා ගැලපෙන්නේ "උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යාංශය" වගේ......

සමහර වෙලාවට අපි දකින සිහින වල තියෙන එකිනෙකට එකක් සම්බන්ධයක් නොමැතිබව හෙවත් "වියුක්ත බව" ගැන අපිටම හිනා යනවා......ඒ නිසාම අපි බොහෝ දෙනෙක් ඒවා අපේ හිතේම තියා ගන්නවා....
වියුක්ත කලාවන් හෙවත් Abstract Arts කියන්නේ 19 වන සියවසේදි යුරෝපයෙදි ඇරඹුන ප්‍රවණතාවක්..මීට සමගාමීව Non-figurative art, Non-objective art, Non-representational art ලෙසත් මේ වගේම ප්‍රවණතාවන් යුරෝපයේදි එම සියවසේ මැද භාගයෙදි ඇතිවුනා....

මේ වියුක්ත කලාවන් බටහිරම නිර්මාණය වෙන්නත් ප්‍රධානතම හේතුව වුනේ බටහිරයන්ට වියුක්තව හිතන්න පුළුවන් වීමම තමයි..පෙරදිග මිනිස්සුගෙ චින්තය "සංයුක්තයි".....සංයුක්ත කලා ශිල්පියෙක් අදින මිනිස් රූපයක් ගත්තම එහි මුහුණ මැද නහය පිහිටීම,ඊට දෙපසින් ඇස් කන් පිහිටීම..ඊට පහලින් කට පිහිටීම අනිවාර්යයි...නමුත් වියුක්ත කලා නිර්මාණයකදි මිනිස් රූපයේ අවයව අතර සම්බන්ධයක් නෑ...ඇස අදින්නේ බඩේ වෙන්න පුලුවන්...නහය අදින්නේ පිටේ වෙන්න පුලුවන්...ඉතින් බැලූ බැල්මට නම් මේ වියුක්ත කලා නිර්මාණ සහ අපි දකින විකාර රුපී සිහින අතර කිසි වෙනසක් නෑ............

සකුරා මල් පිපෙන්නේ ජපානයේ කියල ලෝකයම දන්නවා...ඒත් එක්තරා තරුණියක් දකිනව ලංකාවේ තමන්ගේ ගේ දොරකඩ මල් උයනේ සකුරා මල් පිපිලා වගේ...ඒ මදිවට මහ රෑ යාමේ මෙන්න බොලේ ඉර පායල.......වතුරෙ පීනන මාළු මෙන්න වෙරළේ ඇවිදිනවා..ඒ මදිවට උන්ගේ පිය සටහන් වෙරළ පුරා ඇඳිලා....අලි, කොටි, සිංහ, වලස් වන සත්තු අහසේ පියාඹනවා නිදහසේ...සෙල්ලම් වාහන පෙළ අතරේ පාසල් යන බෝනික්කන්ට අකුරු උගන්වන්නේ වැඩිහිටි ගුරුවර සූටික්කෝ..........ඒ අස්සේ සුදම් සභාවේ ඉන්න දෙවිවරු අපේ පාර්ලිමේන්තුවෙදි වගේ ගහ මරාගෙන අහසෙන් කොටසක් එක්කම කඩා වැටිලා....කවදාවත් වයසට යන්නේ නැති "සඳ" වයසට ගිහින් හැරමිටියේ පිහිටෙන් තමයි ගමන් යන්නේ....

මේක නම් පිස්සු කෝලම් හීනයක්ම තමයි...
සකුරා මල් පිපිලා හරි පුදුමයි
ගේ දොරකඩ නිල් වන පියසේ
නිදි මත නැතිවද හිරු පායා ඇත
උමතු වෙසින් මහ රෑ යාමේ

මින් රළ වෙරළේ සක්මන් කල සඳ
පා සටහන් ඇත වැලි තලයේ
නාග පිඹුරු රුදු සිංහ වලස් කැළ
ඉගිලෙති නටමින් උඩු ගුවනේ

යන එන සෙල්ලම් රිය පෙළ අතරේ
පාසල් යනවිට බෝනික්කෝ
අකුරු උගන්වති කූඹි සිසුන් හට
වැඩිහිටි ගුරුවර සූටික්කෝ

සුදම් සභාවේ අරගලයක්වී
අහසින් කොටසක් කඩා වැටේ
වියපත් සඳවත ගේදොර නැතිවී
හැරමිටි සරණින් බලා සිටී

https://www.youtube.com/watch?v=5U1btW6ctw8
පද ගෙත්තම : මහාචාර්ය සුනිල් ආරියරත්න
සටහන : චාමර වන්නිආරච්චි

Comments

Popular Posts