සක්විති රජෙකුගේ පාපොච්චාරණය......

ගෞතම සිද්ධාර්ථයන් ඉපදුනාම ඔහුගේ පියා ඊසාන දිග භාරතයේ සිටි මහා පඬිවරුන්වූ බමුණන් 08 දෙනෙක් ගෙන්වා තම පුත්රයාගේ දේහ ලක්ෂණ පෙන්වා ඔහුගේ අනාගතය විමසනවා...ඉන් 07 දෙනෙක්ම අතේ ඇඟිලි දෙකක් ඉහළට ඔසවා "මේ දරුවා ගිහි ගෙයි සිටියොත් නියත වශයෙන්ම සක්විති රජ කෙනෙක් වන බවත් ගිහි ගෙය හැර ගියොත් ලෝකාවබෝධය ලබා ගන්නා බවත්" කියනවා….. එහෙත් මේ බමුණන් අතර සිටි ලාබාලම බමුණාවූ කොණ්ඩඤ්ඤ බමුණා නම් කියන්නේ මේ කුමරා නියත වශයෙන්ම බුදු වන බව...කොහොම වුනත් ගෞතම සිද්ධාර්ථයන් අවසානයේ බුදුවුන නිසා අපිට සක්විති රජෙක් දකින්න ලැබුණේ නෑ...
ඊට පස්සේ කලයේ ලෝකයම ක්රමයෙන් අල්ලගෙන මැසිඩෝනියාවේ සිටම වයඹ දිග භාරතයටම පැමිණි "මහා ඇලෙක්සැන්ඩර්" කියන්නෙත් යම් මට්ටමකට සක්විති කෙනෙක් වෙන්න ජීවිතයේ යෞවනයෙදිම උත්සාහ කල කෙනෙක්...කොහොම වුනත් ගාන්ධාර දේශය හෙවත් වර්තමාන ඛන්ධහාර් පෙදෙසේදී ඔහුට අහඹු ලෙස මහායාන භික්ෂුවක් හමුවෙලා සාකාච්ඡා කිරීමෙන් පසුව ඔහුගේ සිත වෙනස් වෙනවා...ඔහු තීරණය කරනව ලෝකය යටත් කරගැනීම නවතා දමන්න..මේ එක්කම ඔහු දරුණු ලෙස රෝගී වෙලා නැවත තම මවු රටට ගෙන යන ලෙස ඔහුගේ හමුදාවන්ට අණ කරනවා...මේ යන අතරෙදි ඔහුට දැනෙනව තව නොබෝ වේලාවකින් තමන් මරණයට පත්වෙන බව....ඒ අනුව ඔහු තමන්ගේ හමුදාපතිපතිවරයාට තම අන්තිම කැමත්ත කියනවා....
01.මා මළ පසු මගේ අත් දෙක මා ගෙන යන පෙට්ටියෙන් ඉවතට දමා හිස්ව තැබිය යුතුයි...එවිට හැමෝම දැනගනීවී කොච්චර වස්තුව අලාගත්තත් ඇලෙක්සන්ඩර් යන්නේ හිස් අතින් කියලා...
02.මගේ මරණය මාගේ රාජ්ය වෛද්යවරුන්ගේ කරපිටින් ගෙනයා යුතුයි...එතකොට හැමෝම දැන්ගනීවි ඇලෙක්සැන්ඩර්ට කොච්චර දොස්තරල හිටියත් උන් එකෙකුටවත් මරණය නැති කරන්න බෑ කියලා...
03.මගේ මරණය ගෙන යන පාර දෙපසින් මගේ භාණ්ඩාගාරයේ සියලුම වස්තුව බිම ඇතුරා දැමිය යුතුයි...එතකොට හැමෝම දැනගනීවි ඇලෙක්සන්ඩ්ර්ගෙ සියලුම වස්තුව ආයෙත් මහ පොලොවටම අයිති වෙන බව.....
තම වැඩිමහල් සහෝදරයන් සිය දෙනෙක් අමානුෂික ලෙස ඝාතනය කිරීමෙන් පස්සේ තමයි ආශෝක මගධ රාජ්යයේ රජු වශයෙන් පාඨලී පුත්රයෙදි හෙවත් වර්තමානයේ ගංඟානම් ගඟ අසබඩ පිහිටි "පැට්නාවෙදි" අභිෂේක ලබන්නේ..එයින් නොනැවතුන ඔහුගේ අසීමිත බල ලෝභීත්වය කෙළවර වෙන්නේ භාරතයෙන් භාගයක් විතර දරුණු ලේ වැගිරීම් වලින් පස්සේ යටත් කරගෙන.....ඊලඟට ඔහුගේ සූදානාම තමන්ගේ අසල්වැසි රාජ්යක්වුන "කාලිංග දේශය" හෙවත වර්තමාන "ඔඩිස්සාව" අල්ලා ගන්න...නමුත් මේ කාලිංග යුද්ධයේදි තරම් අමානුෂික මනුෂ්ය ඝාතන සහ ලේ වැගිරීම් වෙනත් කිසිදු අවස්ථාවක සිදු නොවුන නිසා ඒවා "චන්ඩාශෝක රජුගේ" සිතේ මහා තැති ගැන්මක් ඇති කලා...........
ඔහු මෙතෙක් කරගෙන ආ "දිග් විජය" වැඩපිළිවෙලට තිත තැඹිය යුතුයැයි තීරණය කලත්, ඒ වෙනුවට තෝරාගන්න අලුත් වැඩපිළිවෙලක් නොමැති කමින් හිටියේ සිතේ පුරා නැගුන මහා කල කිරීමක.....වේගයෙන් ලෝකෙ අල්ලන්න දුවපු කෙනෙක් කොහොමද එක පාර නවතින්නේ.....?
එලොවටත් මෙලොවටත් නැතුව චණ්ඩාශෝක රජු ඉන්න කාලයේ දවසක් තම මාලිගයේ උඩු මහල් තලයේ සිට ඈත වීථිය දෙස බලා ඉන්නකොට දකිනවා සත් හැවිරිදි සාමණේර නමක් එම වීථියේ පිණ්ඩපාතයේ වඩිනවා....රජු වහාම දූතයන් යවලා එම කුඩා සාමණේර හිමියන්ව මාළිගයට කැඳවනවා...කැඳවා තමන් කැමති අසුනකින් ඉඳ ගන්නා ලෙසට ආරාධනා කරනවා...මදක් වටපිට බලන මේ "නීග්රෝධ" සාමණේරයන් වහන්සේ එකවරම රජුගේ සිංහාසනයේ ඉඳ ගන්නවා...මෙයින් රජු එකවර තැති ගත්තත්,මේ කුඩා භික්ෂුව සතු පෞරෂයත්වයෙන් පුදුමයට පත්වෙලා,ඒ හිමියන්ගේ වතගොත විමසනවා.....
තමන් "බුද්ධ පුත්රයකු" බවත් ,"මොග්ගලීපුත්ත තිස්ස මහ රහතුන්" තමන්ගේ ගුරුවරයා බවත්, සාමාණේරයන් දිගු වශයෙන් විස්තර කරදීමෙන් අනතුරුව රජුගේ සිතේ පෙර කිසිදා නොවූ විරූ ආකාරයේ අමුතුම සතුටක් හටගෙන කුඩා හිමියන්ට දානය ලබා දී වහාම මොග්ගලීපුත්ත තිස්ස හිමියන් හමුවේ තමන්ගේ අතීත ජීවිතය ගැන පාපොච්චාරණය කරනව....
"ස්වාමීනි,අතීතයේ මම මහත්වූ බල කාමයෙන් සහ යුධ වියරුවෙන් යුක්තව දස දිසාවෙහිම වූ සතුරන් විනාශ කර ජය ගත්තෙමි ...එහෙත් අවසානයේ මට ඉතිරිවූයේ තවත් එවන්ම සතුරන් සමූහයක්ම පමණකි...මා ඒ දිනවල සිටියේ මහා රජ තේජසකිනි...එම තේජසින් මත්ව මා අවට රාජ්යන් බොහෝමයක් නතු කර ගත්තෙමි.....එහෙත් අදින් පසුව මා ඒ සියලුම අමානුෂික ක්රියාවන් නවතා දමා ඔබ වහන්සේගේ උපදෙස් පරිධි ධර්මවිජය අරඹන්නෙමි... ස්වාමීනි,අදින් පසුව මා කිසිදිනෙක කිසිවෙකුත් මා වෙනුවෙන් ඝාතනය නොකරමි...මගේම දෙපාමුල වැටී මගේ දුක මටම කියමි...මට අදින් පසුව ඉතිරි වන්නේ මේ ලේ මතින් දිනාගත් සිංහාසනයත්, ඒ මිනිසුන්ගේ නෑ සිය මිතුරන් හෙලන සුසුම් පොද මතකයේ රැඳීමෙන් මගේ සිතේ හටගන්නා කලකිරීම මුසුවූ සුසුම් පොදත් පමණි....මේ සිංහාසනය මා තවදුරටත් යොදාගන්නේ මිනිසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්ම පමණි...මා විසින් දිනා ගත් මේ සුවිසල් ලෝකය එකවර සිතින් හැර දමන්නේ උතුම් මිනිස්කම පමණක් මාතුල රඳවා ගනිමිනි...මට ඔබ වහන්සේගේ කාරුණික අනුකම්පාවත් උපදේශයනුත් හිමි වෙත්වා...!"
දසිස් දිනා රුපු රජුන් නසා
ලොව තෙදින් තමා - නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැලක් විනා
අදින් මතුව යලි සටන් වදින්නට
රජෙක් නොමැත සිහ හසුන් අරා
සුසුම් නලින් මිස සිතින් බැහැර නොව
හිඳිම් මගේ දුක කිරුළ දරා
දිනූ විසල් ලොව සිතින් හරින්නෙමි
උතුම් මිනිස්කම මවෙත රඳා
මගේ දෙපා මුල වැටී මෙසේ මම
කියම් මගේ දුක මටම හඬා
පද ගෙත්තම : කුමාරදාස සපුතන්ත්රී
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=mh4_XVTRvFU

Comments

Popular Posts