හිමියනි මට කල නොහැක නිගා.....

අශ්වඝෝෂ අචාරීන් කියන්නේ දෙවන සියවසේ භාරතයෙන් බිහිවුන මහ කවියා.....ඔහු කාලිදාසයන්ටත් පෙර උපන් කෙනෙක් නිසා ඔහුගේ ඇතැම් නිර්මාණ කාලිදාසයන්ට වස්තුවිෂය වුනා කියලත් කියනව..... අශ්වඝෝෂ අචාරීන්ගේ විශේෂත්වය වන්නේ එතුමා බෞද්ධ ආචාරියෙක් වීම සහ සංස්කෘත භාෂාවේ කෙළ පැමිණුන කෙනෙක් වීම....ඔහු විසින් රචිත "සෞන්දරානන්දය " කියන මහා කාව්ය සංස්කෘත භාෂාව ඉගෙනගන්නා ආධුනිකයන්ට කියවන්න ලබා දෙන මහාර්ඝ ග්රන්ථයක්...
මහා ප්රජාපතියගේත් සුදොවුන්ගේත් පුත්රයාවූ නන්ද කුමරුන්ගේ ජීවිත කතාව හොඳන්ම විස්තරවෙන්නේ මේ සෞන්දරානන්දයේ තමයි......
කිඹුල්වතට වඩින බුදුන්,තම බාල සහෝදරයාවු නන්දගෙ අතට පාත්රය ලබාදෙනව...දැන් ඉතින් මොනව කරන්නද?.... බුදුන්ගෙ පස්සෙන්ම යනව මිසක්...බුදුන් වැඩ සිටි කුටිය ආසන්නයෙදි නන්ද පාත්රය පිළිගන්වනවා...
"නන්ද ඔබ පැවිද්දට කැමතිද ?"
නන්ද කුමරු නිරුත්තර වෙනව..
"ස්වාමීනි ,මා කෙසේ පැවිදි වන්නද?"
"ඇයි නන්ද,කුමක්ද ගැටලුව ?"
"ස්වාමීනි,මා එනතුරු කල්යාණිය පෙර මග බලා සිටී"
"ඒ කුමකටද නන්ද ?"
"ස්වාමීනි,හෙට දින අප නිවසේ මංගල්යයන් තුනක් පැවැත්වේ........මාගේ අභිශේකයත්,අභිනව මාළිගාවට ප්රවිශ්ඨ වීමත් සමගම ජනපද කල්යාණියගේත් මගෙත් සරණ මංගල්යයන්ය ස්වාමීනි.."
"නන්ද,ඔබට එම තුනෙන් දෙකක් පමණක් තෝරා ගන්නට කිවහොත්...?"
"ස්වාමීනි,මා තෝරා ගන්නේ සරණ මංගල්යයන්යත් ගෙට ගෙවැදීමත් "
"එම දෙකෙනුත් එකක් පමණක් තෝරා ගන්න කිවහොත්..?"
"සරණ මංගල්යය ස්වාමීනි "
"එයද අතහරින ලෙස කිවහොත්...?"
"එය නම් කිසිසේත්ම කළ නොහැකියි ස්වාමීනි"
"ඇයි ඒ....?"
"එසේ වුවහොත් මා නැති සොවින් තැවී කල්යාණිය මිය යාවි ස්වාමීනි..."
"ඔබට හොඳටම විශ්වාසද නන්ද...?"
"එය එසේමයි ස්වාමීනි,මට ඇය මගේ පණ මෙන් විශ්වාසයි"
"නන්ද,අතීතයේ එක් දවසක කල්යාණිය සිටු කුලයේ ඉතා ධනවත් පවුලක එකම දුරුවා ලෙස උපන්නාය...කිසිවකිනුත් අඩුවක් නොවූ ඔවුනට ගව,ඌරු ඇතුලු අනෙකුත් පශු සම්පත්වලින්ද කිසිදු අඩුවක් නොවීය...එම කාලයේම ඔබ ඇයගේ නිවසේ ඌරු ගොවිපොලේ නිරෝගී ඌරු නාම්ඹෙක්වී උපන්නේය....ගොවිපොලේ සක්මන් කළ ඇය මේ ඌරු නාම්ඹා දැක එයින් ප්රීතියට පත්ව නොබෝ කලකින් එලැබෙන මාගේ සරණ මංගල්යයේදී මේ ඌරු නාම්ඹා මරා මස් කොට ප්රනීථ භෝජන සාදන්නෙමැයි අදිටන් කර ගත්තාය...ඒ අදිටනටම අනුව අදාළ මංගල්ය දිනයේදී ඔබගේ මාංසය ඇයගේ අමුන්තන් වෙනුවෙන් රස බොජුනක් විය...ඔබ තනිකර දමා යා නොහැකියැයි පවසන්නේ ඒවැන්නියක්ද නන්ද ?”
“ස්වාමීනි,මට පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවණ ඔබට මෙන් නොමැත්තේය..එබැවින් මට එවැන්නක් නොපේනේ....ඔබ වහන්සේ මුසාවන් නොකියන බව නම් සැබෑය ...එහෙත් මා කෙසේ නම් කල්යාණිය ගැන එලෙසින් සිතන්නද ? “
“නන්දයෙනි, දෙඇස් පියාගනු මැනැව…”
“එහෙමයි ස්වාමීනි….”
“දැන් ඔබට දර්ශනය වන්නේ සදෙව් ලොවෙහි වසන්නාවූ දිව්යාංගනාවන්ය.....ඔවුනුත් ඔබගේ කල්යාණියත් අතුරින් ඔබ වඩාත් ප්රිය කරන්නේ කාහටද ?”
“මේ දිව්යාංගනවන් දුටු කල මට කල්යාණිය පෙනෙනුයේ අප එන මග අතරමගදී හමුවූ දැවී අළුවී ගිය හේනේ සිටි වැඳිරියන්ගේ මළ සිරුරුය... ස්වාමීනි.....”
“එහෙත් මා ඒ වැඳිරි රුව සතු කල්යාණියට පණ මෙන් ආලය කරමි...මට ඇය ගෙන් තොර ලොවක් ගැන සිතිය නොහැක ස්වාමීනි…..”
"නන්දයෙනි,බුදුවරුන් කිසිදා පොරොන්දු කඩ නොකරති...එබැවින් මා ඔබට පොරොන්දුවක් දෙන්නම්...ඔබ මා කියනා අයුරින් බවුන් වඩන්නේ නම් මා ඔබට දිව්යාංගනාවන් මෙන්ම කල්යාණියත් එකවරම නැවත ලබා ගන්නට අවස්ථාවක් ලබා දෙමි ...ඔබ එයට එකගද ? "
"ස්වාමිනි,එක් පසෙකින් ඔබ මාගේ වැඩිමහල් සොහොයුරාය..අනෙක් පසින් මේ ම්හා භද්ර කල්පයේ පහලවූ සම්මා සම්බුදුවරයාය...මා කෙසේ නම් ඔබේ වචනයට පිටුපාන්නද ? "
"නන්දය,මේ ඝෝර කටුක සංසාර ගමන නම් මහත් භයංකර වනේමය...සංසාරයේ එක් බවයකදී අපට හැරදා යාමට නොහැකියැයි අප විසින් වැලපෙන පුද්ගලයාම තවත් බවයකදී අප ඝාතනය කිරීමට කඩු පොලු අතට ගන්නේය...වරෙක බිරිඳ-සැමියා ලෙස ආදරයෙන් ලංවී එකිනෙකාට උදව් උපකාර කරගන්නා පුද්ගලයාම තවත් වරෙක මීයෙකු සහ බලළෙකු වුවහොත් එම පැරණි සංඥා සියල්ලම වෙනස්වී එකෙක් අනිකාගේ ආහාරය වන්නේමය....ඉතින් නන්ද එවැනි භයානක සංසාර ගමනක දිගින් දිගටම යනවාද ? නැතිනම් ඒ සියල්ලෙන්ම මිදී සදාකාලික විමුක්තිය ලබනවාද හ යන්න ඔබට බාරයි..."
පසුව නන්ද හිමියන් දිව්යාඅංගනාවන් ලැබීමේ අභිලාශයෙන් බවුන් වඩා රහත් පලයට පත් වුනත්,ඒ හිමි බවුන් වඩන සමයේ බුදුන් සමග අමනාපයෙන් සිටි බවත් එයට හේතු වූයේ තමනට කළ්යාණිය අහිමි කළ නිසා බවත් ඛුද්ධක නිකායේ "ථේර ගාථා පාලියේ" නන්ද හිමිගේ ථේර ගාථාවල පැහැදිලිව සඳහන් වෙනවා.......
ඒ සිත් තැවුල නිසාම නන්ද හිමියන්ට රහත් බව පසක් කිරීමට බොහෝ අපහසු වූ වග එහි සදහන්......
මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ලතැවුල් දේ රැයද දිවා
නෙත දුටු සුරඟන රූ සිරු කුමටද
හද දුටු ජනපද කළණ නිසා
සුරඟන රූ සිරු දුටිමි හැඳින්නෙමි
සිත් ලෙස දෙනුවන් කැලුම් පුරා
මා හදුනන මගෙ සිත ගත් කළණිය
මට නුදුරුයි සුරඟනට වඩා
නව දැලි හේනක පෑව වැදිරිරි රුව
ලෙස උවමින් දෙන්නුවන් රවටා
මා පෙම් කළ ජනපද කළ්යාණිට
හිමියනි මට කල නොහැක නිගා
පද ගෙත්තම : සෝමතිළක ජයමහ
සටහන : චාමර වන්නිආරච්චි

Comments

Popular Posts