සාරි ගැන කථාව.......

සාරි ගැන කිව්වම ඉතිං මතක් වෙන්නේ ඉන්දියාවේ කසී රට...කසී සළු.. බුද්ධකාලීන කසී රට වර්තමාන ගුජරාට් ප්රාන්තයේ ඉන්දියානු දේශසීමාව ආසන්නයේ පිහිටා තිබූ බවට බොහෝ දෙනා මත පල කරනව ...ගුජරාටයෙන් කොටසකුත්,වර්තමාන පාකිස්ථානයෙන් කොටසකුත්,කාශ්මීරයත්,වර්තමාන ඇෆ්ඝනිස්ථානයේ ඛන්ධහාර්(ගාන්ධාර දේශය ) එකතු වෙලා "කසී රට" හැදුන බව තමයි කියැවෙන්නේ...කොහොම වුනත් අතීත සේද මාවතේදී ගුජරාට් ප්රාන්තය තමයි රෙදි පිළි වෙනුවෙන් ප්රසිද්ධ වෙලා තිබුනේ....2015 සැප්තැම්බර් මාසේ ගුජරාට් ප්රාන්තයේ අහමදාබාද් වෙළද අග නුවර පිහිටි ඉන්දියානු කළමණාකරන සරසවියේ පාඨමාලාවකට සහභාගී වෙන්න ගිය ලක්මාල් මල්ලිත් මමත් ගුජරාට් වල ඇවිදින ගමන් ඉන්දියානු රාජ්ය අත්කම් අලෙවි සලට ගියා...සිවු මහල් විශාල ගොඩනැගිල්ලක් වුනු එහි මහල් තුනක්ම පිරෙන්න තියෙන මනරම් සාරි දැක්ක නම් ලංකාවේ කාන්තාවෝ එතනින් එලියට ගන්නව බොරු.....පිරිමියෙක් වෙලා බිරිඳක් නොහිටියත් ඒ සාරි දැක්කම මටත් ආස හිතුන නිසාම ඉතාම සාධාරණ මිලට තිබුන එයින් 25කට වඩා මම අරගෙන ආවේ අම්මටත්,අක්කල දෙන්නටත් ,අයියාගේ බිරිඳටත් තවත් මගේ යෙහෙලියන් කීප දෙනෙකුටත් දෙන්න...ඒ හැමෝම කිව්වේ ඒ මුදලට ලංකාවේ සාරි ගන්න හිතන්නත් බෑ කියල....... මගේ තේරීම් හරි ලස්සනයිලු......

සාරිය කියන්නේ කොහොමටත් භාරතයෙන් අපිට ලැබුන දෙයක් ...අපේ ඔසරිය උනත් ඉතින් සාරියේම විකාශනයක් කියලයි මට හිතෙන්නේ ...එහි ඇත්ත නැත්ත ගැන කියන්න මම දන්නේ නෑ.....
සාරිය ඇන්දම කාන්තාවන්ට අමුතුම ලස්සනක් එනව කියල නම් නොසඟවා කියන්න ඕන....
ඒ බව කාන්තාවෝ දන්න නිසා ඉතිං සාරි වලටත් මල කෝලං වලින් අඩුවක් නෑ...මේ දවස්වල මම නිතරම නාරාහෙන්පිට ලංකා හොස්පිටල් එකට යන නිසා මේ සාරි කෝලං නිතරම පෙනෙනවා..එහි පරිපාලන අංශයේ සියලුම කාන්තාවන් නිල ඇඳුමක් ලෙස සාරි ඇන්දට ඒවායේ පාට විතරයි සමාන...එක් එක් කෙනා දාල තියෙන කෝලං එක එක වගේ......ඉස්සර අපේ පාසලේ ගුරු තුමියක් සිටියා ....ඇය සාරිය ඇන්දම හරිම විශාල ඔට්ටපාලු බෝලයක රෙද්දක් ඔතලා වගේ නිසා කොල්ලො කිව්වේ "අක්කරේ පත්තුව කියල"...සරසවියෙන් නික්මුන ගමන් තවත් ගුරු තුමියක් පැමිණ සිටියා...ඇය තරුණයි...ලස්සනයි...කොල්ලො ඉතිං දන්නෙ නැද්ද.....එතුමිය අඳින සාරි වල "පිට නෑ"....කොල්ලෝ එතුමියට කිව්වේ "නාරාහේන් පිට" කියල....

සමහර කාන්තාවෝ "ක්ෂේම භූමිය" විශාල වෙන්නත් නාභිය පෙනෙන්නත් සාරි අඳිනව......මිස්.බුරියානි කියල තමයි එවැනි අය හදුන්වන්නේ..කොහොම උනත් ඉතිං මේ හැම දේකම අමුතුම අලංකාරයක් නැතුව නෙවෙයි.......අනද හිමියන් ස්ථීර උපසථායක ලෙස පත් වෙන්න කලිං නාගසමාලා,නාගීත ඇතුලු තවත් බෝ භික්ෂූන් බුදුන්ගේ තාවකාලික උපස්ථායකයන් වුනා..මේ හැමෝම බුදුන් එපා කියද්දි කිසිම ගුණයක් නැති පිරිසක් වගේ උන්වහන්සේ තනි කරල දමල යන්න ගියා...මෙහෙම යන නාගසමාල හිමියන්ට නගරයක වීථියක් අයිනේ වේදිකාවක දුහුල් සළු පොරවාගෙන සුරා මතින් නටන මනරම් නාටිකාංඟනාවක් පෙනෙනවා... භික්ෂූන්ට නලඟනන් දිහා බලන්න විනයෙන් අකැපයි...ඒත් නාගසමාලා හිමියන් මේ නාටිකාංගනාව දිහා බලල මෙහෙම හිතනවා..."අනේ මේ මහපාර මැද්දේ මාරයා විසින් අටවපු උගුලේ වටිලා ඇස සංවර කරගන්න බැරුව කී දෙනෙක් නම් අපා ගත වෙනවද?".......මෙහෙම හිතන්වත් එක්කම නාගසමාලා හිමියෝ රහත් වෙනවා...මේ බව දකින බුදුන් කොතරම් ගුණමකු කමින් තමන් හැර ගියත් තම තාවකාලික උපස්ථායකයාවූ නාගසමාලා හිමි ගැන උදාන වාක්යයක් කියනව.....
නාගසමාලා හිමි එව්ව දැකල රහත් වුනත් අපි නම් සංසාරෙ තව දික් කරගන්න බව ෂුවර්.........
සාමාන්ය පෙනුමට "මෙලව රහක් නැති" කාන්තාවෝ සාරි,ඔසරි ඇන්දම "අළු ගසා දාල ,ලස්සන වෙලා එනවා"......මා හොලිසිම් සමාගමට එක් වෙන්න කලිං වසර දෙකක් සේවය කලේ DSI සමූහ ව්යාපාරයේ...එහි සිටි කාන්තාවොත් නිල ඇඳුම ලෙස ලස්සන සාරි ඇඳගෙන සේවයට ආපු බව හීනෙන් වගේ මතකයි.......
තරුණ කාන්තාවන්ට වහ වැටිලා තුම්මං හංදිවල හැන්දෑවේ "කළු කුමාරයා" බලාගෙන ඉන්න නිසා තනි පංගලමේ ඒ වගේ පාලු ස්ථාන වලින් එන්න එපා කියලා අපේ පැරැන්නො කියනව මට මතකයි......අද කාලේ නම් නොපෙනෙන "කළු කුමාරයන්ට වඩා" පෙනෙන "කළු-සුදු කුමාරයන්ගෙන්" තමයි වැඩිපුර පරිස්සම් වෙන්න වෙන්නේ.....

එනුවර වසනා ලඳහට පුරුෂ බසක් නැති.
අනුවනකම් කියා එලඳ කාමෙට ලොබවෙති.
දෙනුවර මල් සේම කැකුලු පියයුරු නලවති.
එනුවර ලඳලියො ඇවිදින් කුමරු බදා ගති......

බාල මහලු කතුන් සමඟ ඉවසනු බැරිවෙති.
රාල කියා එකින් එකා පොර අල්ලා ගති.
දෑලවරේ පටලාගෙන කුමරුන් ලෙවකති.
කෝලහලින් කුමරු මැරී පන චුත වී යයි.......

එදා ගොසින් ස්ත්‍රී පුරේ මදන විකාරෙන්.
බදාගතිය ලද ඇවිදින් කුමරුට පිරියෙන්.
බෙදාගතිය කුමරුගෙ මස් ඇග අතගාමින්.
එදා කුමරු මැරී ගොසින් ලඳට වෛරයෙන්

(කළු කුමාරයා වී ඉපදුනාලු.......)

මමත් ප්රේම කරන්න පටන්න් ගන්නකොට ඇය හිටියේ උසස් පෙළ පංතියේ...මම දවසක් ඇයට කිව්වා "ඔයා සාරියක් ඇඳල ඉන්නව බලන්න ආසයි" කියල...ඇය අම්මාගේ සාරියක් අමාරුවෙන් පටලවාගෙන මට ෆොටෝ එකක් අරං එවල තිබුනා...ඒක ගොඩාක් කලක් මා ලඟ තිබුනා ඇය යන්න ගියාටත් පස්සෙත්.....
කොහොම වුනත් එක්තරා තරුණයෙක් මේ වගේ කාර්යාලයක රැකියාව කරන ඔසරිය අඳින මනරම් තරුණියකට "වහ වැටෙනවා"...ඒත් ඇය ටිකක් ගනං....යන්නේ ඔහු ගනං ගන්නේ නැතුව.....හැමදාම ඇය කාර්යාලයේ වැඩ නිමකරල තුංමං සල ලඟින් එනකොට මේ තරුණයා "කළු කුමාරයා" වගේ ඇය දෙස බලා ගෙන ඉන්නවා.....ඇය දකින කොට ඔහු කොතරම් අමන්දානන්දයට පත් වෙනවද කියනවනම් ඔහුට මුලු පරිසරයම ඇය වෙනුවෙන් හැඩ ගැසිලා වගේ පෙනෙනවා...ඇය එන මාවත සීතල පිණි පොද වරුසා වැටෙනව වගේ..ඇය යන මාවත ලස්සන මල් පිපිලා ඇයගේ පාද සිප ගන්නව වගේ දැනෙනවා......
ලස්සනට ඔසරිය ඇඳලා තමන් ලඟටම ඇවිත් ඇය හැමදාම වගේ ඉවත බලාගෙන යාවිදෝ කියල ඔහුට සැකයි......ඉතිඅං මේ තරුණයාගේ බලාපොරොත්තුව කවදා නම් ඉටුවේද ?
අතීතයේ මාතුළ සිටි තරුණයත් මේ තරුණයත් දෙන්නම එක් කෙනෙක් කියලයි මට තවමත් හිතෙන්නේ....

සීතල සිරී පොද වරුසා වැහැලා
ඇය එන මාවත බිම මල් පිපිලා
සිහිනිඟ සරසා ඔසරිය දවටා
ඇය දෝ ඈතින් පිය මැන්නේ

රන් බඳ නලවා අසලට ඒදෝ
නෙත් කොනකින් වත් මදෙස බලදෝ
කඩිසර ගමනින් නොදුටුව විලසින්
ඉවත බලාගෙන ඔබ යාදෝ

තුං මං සල ලඟ බලා ඉඳින්නෙමි
ඔබ එනතුරු ලඳුනේ
අට හෝරාවේ සේවය නිම කර
ඔබ එනතුරු ලඳුනේ

පද ගෙත්තම : උපාලි ධනවලවිතාන
සංගීතය : සරත් දසනායක
කළු කුමාර කවි සඳහා අනුග්‍රහය :සුසන්ත වීරසිංහ
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=vHSZgt-TaiA

Comments

Popular Posts