හෙට මම හිනැහෙමි.......

ධනාත්මක චින්තන වැඩසටහන්(Positive Thinking Workshops ) බොහෝමයකට මම සම්බන්ධ වෙලා තියෙනවා..ඒත් ඒ බොහෝ ඒවායෙදි අදාළ වැඩසටහන මෙහෙයවන්නා විසින් තමන්ට කොටුවූ රාමුවක් තුල දේවල් ටිකක් කියවනව මිසක් ඒව කොහොමද ප්රායෝගික ජීවිතේට ගලපා ගන්නේ කියල නම් පැහැදිළි කරන්න බොහෝවිට අපොහොසත් වෙනව......මම දන්නා සැබෑම ධනාත්මක චින්තකය තමයි බුදුන්...
දවසක් බමුණෙක් උපහාසයෙන් වගේ අනද හිමියන්ගෙන් ප්රශ්නයක් අහන්නේ උන්වහන්සේ අමාරුවෙ දාන්න හිතාගෙන...
“අනද හිමියනි,නිවන් දකින්න නම් අප කුමක් කල යුතුද ?”
“ කැමැත්ත නැති කල යුතුයි බමුණ...”
“ඒ සදහා අප කුමක් කල යුතුද ? “
“කැමැත්තක් ඇති කරගත යුතුයි බමුණ...”
“එයනම් හතර බීරි කතාවකි...නිවන් දැකීමට නම් කැමැත්ත නැති කල යුතුයිලු...ඒ සදහා කැමැත්තක් ඇතිකර ගතයුතුයිලු..ඔබේ ශාස්තෲවරයාගේ දහම එතරම්ම විසංවාදයකි....”
“ බමුණ ,ඔබ මේ ආරාමයට එන්නට පෙර මුලින්ම කලේ කුමක්ද ?”
“ඒ සදහා කැමැත්තක් ඇති කර ගත්ත හිමියනි...”
“හරි, දැන් ඔබ මෙහි ආවනේ..තවදුරටත් ඔබේ ඒ මෙහි ඒමට තිබූ කැමැත්ත තියෙනවද බමුණ..?”
“නැත හිමියනි,මෙහි පැමිණීමත් සමගම එම කැමැත්තත් අවසන් වුනා...”
“ආන්න නිවනත් එහෙමම තමයි බමුණ...”
බටහිර කළමනාකරණයෙදි යම් සිදුවීමක අවස්ථා තුනක් ගැන උගන්වනවා.....
වර්ස්ට් කේස්(Worst Case ) හෙවත් අවම අවස්ථාව...
ඇවරේජ් කේස්(Average Case ) හෙවත් සාමාන්ය අවස්ථාව...
බෙස්ට් කේස්(Best Case ) හෙවත් හොඳම අවස්ථාව....
මේ තුනෙන් කුමක් හෝ සිදුවිය හැකියි..අපි සිද්ධි ගනන මීටත් වඩා බෙදා දැක්වුවොත් තවත් සිද්ධියක් සිදුවීමට ඇති සම්භාවිතාව අඩු වෙනවා..... අපේ හිත හැමවෙලේම වර්ස්ට් කේස්(Worst Case ) හෙවත් අවම අවස්ථාවට සූදානම් කරගෙන ඉඳගෙන අපි බෙස්ට් කේස්(Best Case ) හෙවත් හොඳම අවස්ථාව
වෙනුවෙන් සැලසුම් කලාම අපිට ප්රථිපලය ලෙස මොන කේස් එක ලැබුනත් සිතට දුකක් නෑ..... එතනින් උඩට ලැබෙන හැම දෙයක්ම අපිට ධනාත්මක උපයා ගැනීමක්(Positive Gain )..
2016 මැයි 29 වැනිදා හවස පහට මට එකවරම පිළිකාවක් තියෙන බව කිව්ව්ම, මම මගේ හිත වර්ස්ට් කේස්(Worst Case ) එකට සූදානම් කර ගත්ත ...මොකද්ද මට වෙන්න පුලුවන් බරපතලම දෙය....ඉක්මනින් මැරෙන එක....මගේ සිත වර්ස්ට් කේස්(Worst Case ) එකට සූදානම් වුනාත් එක්කම මහා සැහැල්ලුවකින් පිරී ගියා..
“ ඔව් මම මරණයට සූදානම් ...ජීවිතය ටික දවසකට හෝ ලැබුනොත් එය ධනාත්මක ලාබයක්...”
ඒත් මම බෙස්ට් කේස්(Best Case )එක හැටියට ප්රථිකාර වෙනුවෙන් කැපවුනා......එහි ප්රථිපලයක් ලෙස මම තවම මාස 20ක් තිස්සේ ජීවත් වෙනව....Positive Thinking කියන්නේ නිකන් බොරුවට උඩ පනින එක නෙවෙයි..ඒක අපේ හිතත් එක්ක කරන “ක්ෂූක්ෂ්ම ගනුදෙනුවක්”......
මහරගම පිළිකා රෝහලේ සති ගනනක් සිටි මට දැන් පිටකොටුවෙ බස් නැවතුම් පොලේ නිදාගන්නත් පුලුවන් මට්ටමට සිත පුරුදු වෙලා..ඒත් මම එහෙම නිදාගන්නේ වෙන විකල්පයක් නැතිවුනොත් විතරයි..මම දන්න ධනාත්මක චින්තනය ඒකයි....හැමෝම පිළිකා කියන වචනෙ අහල 50% මැරෙණව...වටේ ඉන්න අයත් රෝගියාගෙ ජීවිතේම මල ගෙදරක් කරනව.....
දැනට බටහිර ඕස්ට්රේලියාවේ බෞද්ධ සංඝමයේ උපදේශක ලෙස කටයුතු කරන ඉංග්රීසි ජාතික අජාන් බ්රහ්මවංශො හිමි හැත්තෑව දශකයෙදි පැවිදි වුනේ ඊසාන දිග තායිලන්තයේ මීකොං ගඟ අසබඩ ඝණ වනාන්තරයක තිබු “ වට් පා නනචට්” ආරණ්යයේදි අජාන් චා හිමි යටතදි......ඒ කාලේ තායිලන්තයේ සෞඛ්ය ඉතාම දුර්වලලු...
බ්රහ්මවංශො හිමියන්ට උණසන්නිපාතය වැළඳිලා කැලෑබද රෝහලක සති ගනනක් පීඩා විඳින කොට ගුරු හිමිවූ අජාන් චා හිමි ආවලු බලන්න...
“බ්රහ්මවංශ වැඩේ හරිම ලේසියි...එක්කො ඔබ මැරෙයි..නැතිනම් ජීවත් වෙයි...එච්චරයි...මම යනවා...”
මෙය ඇසූ සැනින් බ්රහ්මවංශ හිමිගේ සිතේ අමුතුම දෛරියක් හට ගත්තලු……
මම මහරගමට ඇතුළත් කරල තුන්වෙනි දවසේ දිවයින පත්රයේ මහ රහතුන් වැඩි මග ලිපි ඉදිරිපත් කල ඉන්ද්රජිත් සුභසිංහ සහෝදරයත්, වේයන්ගොඩ ධම්මගවේසී හිමියනුත් හැන්දෑවක බලන්න ආව....උන්වහන්සේ පැයක් විතර මට හිනාවෙවී සරලව කිව්වෙත් ගිය දේ ගියා, දැනට තියෙන දේ ගැන සතුටු වෙන්න කියල..ඒ වෙලාවේ ඒක මට ලොකු හයියක් වුනා.....ඒ වෙලාවේ ඇමෙරිකාවේ භාවනා වැඩසටහනකට ගොස් සිටි නිස්සරණවනයේ උඩ ඊරියගම ධම්මජීව හිමියන් දුරකථනයෙන් අමතලා මට කිව්වෙත් ඒ ටිකම තමයි.....ඒක මට මහා ශක්තියක් වුනා අද දක්වාම ජීවත් වෙන්න...අධික වේදනාව නිසා දෙවරක් සිය දිවි හානි කරගන්න හිතපු මට ඒ ඔවදන් මහෝඝයක් වුනා....රෝහලේ මාව බලන්න “සෑඩ් මුඩ්” දාගෙන ආපු අයට මම විහිළු කරල හිනස්සල තමයි ආපහු යැව්වේ.......එහෙම කරපු මට සමහර ගොඩ පීනන අය දෙන "දාර්ශණික උපදෙස්" ඇහුවම නම් හිනාවෙලා පන යනවා..රෝගය නිසා නම් නෙවෙයි...
ශරීරය එක්ක වුනත් ඕනවට වඩා හුරතල් වෙන්න ගියාම එයත් අපිට ගනං උස්සනවා වගෙයි.... මූට මේක ගානක් නෑ කියල දැනුනම ශරීරයත් ටිකක් අපිට බයවෙනව..යකෝ මට ඇත්තටම මැරෙන්න වෙයිද කියලා...එතකොට එයාම ආපහු ජීවත්වෙන්න උත්සාහ කරනව...ඒක මගේ ජීවිත අත්දැකීම නිසා අත්දුටුවයි ප්රත්යක්ෂයි...දැං ඉතිං ඒක බටහිර විද්යාවෙන් පහදන්න කියන්න එපා ඔය විද්යාත්මක ක්රමය අස්සට දාලා..
ජීවිත ඔරුව සංසාර ගඟුලේ පදවාගෙන යන එක්තරා තරුණයෙක් තමන් නොසිතූ මොහොතක මහා බලාපොරොත්තු සුන්වීමකට පත්වෙනවා......ඒත් මොනව කරන්නද ජීවන යාත්රාව කෙසේහෝ පදවාගෙන යා යුතුමයි....
ඔහුගෙ නෙත එකවර ගැටෙන්නේ හබල බිඳීලා පෙරලුන ඔරුවක්..ඒ කියන්නේ සුන්වූ බලාපොරොත්තුවක්...ඔහු හිතනව ගිය දේ ගියා මම මොකටද අතීතය ගැන පසු තැවෙන්නේ කියලා...අතීතය ගැන පසු තැවුනා කියල මම කාල යන්ත්රයක් හදාගෙන ගිහිං වෙනස් කරන්නද ?..ප්රායෝගික නොවෙන හීනයක් පමණයි..ඔව් මම ඒ දෙස බලන්නෙ නෑ.... ඈතින් මට අලුත් බලාපොරොත්තුවක තරු එලියක් යාන්තමට වගේ දැල් වෙනව පෙනෙනව...මම ඒ ගැන කුඩා බලාපොරොත්තුවක් තියාගෙන ජීවිතේ ජීවත් කරවනව...ඒක අර බිඳුන බලාපොරොත්තුව තරම් වටිනා දෙයක් නොවෙන්න පුලුවන්….. ඒත් පෙරලුන පිට හොඳයිනේ....මගේ ඔරු කඳ ඇතුලෙන් අලුත් බලාපොරොත්තුවක සුවඳක් දැන් මට දැනෙනවා...ඉතින් මම තවත් මොකටද හබල බිඳීලා පෙරලුන ඔරුවක් ගැන හිත හිත දුක් වෙන්නේ....
හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පඳුරේ හෙවනේ
හබල බිඳීලා පෙරලුන ඔරුවක
සුන්බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි - ඒ දෙස නොබලමි
තොටුපොල අයිනේ කවුද අතවන්නේ
ආ මග අඳුරේ පෙරමග එගොඩින්
තරු යුවලක් ඇවිලේ
ඔරුකඳ ඇතුලේ
නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි - හෙට මම හිනැහෙමි
තොටුපොල අයිනේ කවුද අත වන්නේ
පද ගෙත්තම : මහාචාර්ය සුනිල් ආරියරත්න
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=xdPTn3xjpRc
 
 

Comments

Popular Posts