අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

““ ස්වාමීනි,දාරක ස්නේහය සිවිය විද සම තුළටද,සම විද මස තුළටද,මස විද ඇට තුළටද,ඇට විද ඇට මිදුලු තුළටද,ඇට මිදුලු විද රුධිරය තුළටම කිඳා බැස පවතින්නේය...එහෙයින් දෙමාපිය අවසරයකින් තොරව කිසිදු දරුවෙක් පැවිදි නොකරන සේක්වා.......”
----- සුදොවුන් මහරජ , බුදුන්ගේ පළමු කිඹුල්වත් පුර චාරිකාව -------
ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ගැන මම බොහෝ දේ ඉගෙන ගත්තේ 2016 වසරේ අප්රේල් මස දවසක්ම දිල්ලි ජාතික කෞතුකාගාරයේ ගත කල නිසා…..ඉන්දු නිම්න වාසීන් විසින් "මාතෘ දෙවඟන" වන්දනා කල බවයි කියෙවෙන්නේ……2015 අප්රේලයේ නේපාලයේ ලුම්බිණියට ගියදා බොහෝ නේපාල ජාතිකයන් "මායා දේවිය" වන්දනා කරන බව දැනගත්තා…නේපාල ජාතිකයන් නිතර වන්දනා කරන්නේ බුදුන්ට ජීවිතය ලබා දී දින සතකින් කළු රිය කළ "මහා මායා දේවිය"....කෙනෙකුට හිතෙයි එය මිත්යාදෘෂ්ඨියක් කියල...ඒත් කළ ගුණ සැළකීම කොහොමද "මිත්යදෘෂ්ඨියක්" වෙන්නේ...බුදුන් ඒ බව අපටත් වඩා හොදින් දන්නා නිසා තමයි මාතෲ දිව්යරාජයා වෙනුවෙන් එක වස් තුන් මාසයක්ම සපුරම කැප කරන්නේ.....ජපානයේ ෂින්ටෝ ආගමේත් මීට සමාන දේවතාවියන් ඉන්නව......හින්දූන්ගේ සරස්වතිය,ඛාලිය,පත්තිනිය වැනි දේවතාවියන් බොහෝමයක් සිටිනව.පෙරදිග බොහෝ කාලයක් තිසේ පැවැතුනේ "මාතෘ මූලික" සමාජයක්…..පර්සියාවෙන් භාරතයට සංක්රමණය වුන "ආර්යන්ගේ " පරම්පරාවලින් පසුකාලීනව බ්රාහ්මණ සමාජය නිර්මාණය වෙද්දී කාන්තාව මුල්ලකට තල්ලු කර දැමීමක් වුනා..මීට සමානම දෙයක් තමයි අරාබියෙදිත් සිදුවුනේ...
කොහොම වුනත් අවුරුදු දහස් ගනක් තිස්සේ පෙරදිග මිනිස් පවුලේ බර ඇද්දේ "අම්මා" තමයි..සත්ත්ව ලෝකයේදි ඒ දෙය නිතැතින්ම සිදුවුනා... එහෙම බැලුවත් ඉතින් මවක් කියන්නේ සෑම දරුවෙක් වෙනුවෙන්ම අප්රමාණ දුකක් දරන්නියක්… ස්වාභාවික දරු උපතකදී කාන්තාවකට දැනෙන ප්රසව වේදනාව එකවර අස්ථි 19ක් බිඳීමේදී හට ගන්නා වේදනාවට සමාන බවයි ස්නායු වෛද්යවරු පවසන්නේ..මෙය Del නම් ඒකකයෙන් 57 ක්..ඒ කියන්නේ එක අස්ථියක් බිදෙද්දී Del 3 ක වේදනාවක් හට ගන්නවා.... ආදරය කරද්දි ස්ත්රීන් පුරුෂයන් අතර හටගන්නා ආකර්ෂණයට වඩා බොහෝ දුර ගිය දෙයක් තමයි ඔවුනට දරුවන් ලැබුනාම එකිනෙකා අතර හටගන්නා මාතෘ සහ පීතෘ භාවය.......ඒක නිකම්ම නිකං ලාමක තවත් එක් බැඳීමක් නෙවෙයි....දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ සැළකිල්ල ඉහලම රටවල් අතරේ ලංකාව,මියෙන්මාරය,තායිලන්තය ඉන්නේ මේ රටවල තවමත් යාන්තමට හෝ ඉතිරිවෙලා තියෙනන බෞද්ධ සංස්කෘතිය නිසා වෙන්න ඕන...
එකදවසක් රාජගිරියේ අරියඥාණ හිමි හොරොවුපතානෙ දියතිත්තවැව නන්දිමිත්ර ආරණ්ය සේනාසනයේ රාත්රියේ වැඩ ඉන්නකොට මී ගව දෙනකගෙ හඬ ඇහිලා ඒ ගැන අවධානය යොමු කරනව....පැටියෙක් ලැබෙන්න ආසන්න මී ගව දෙනකට දිය පිපාසයක් හැදිලා ..අමාරුවෙන් අමාරුවෙන් වැව ලඟට යනව....දැන් පැටියා භාගයක් පිටතට ඇවිත්...ඇයට තව දුරටත් ඇවිද ගන්න බැරුව වතුර පෙනි පෙනී බිම ඇද වැටෙනව...වැවේ සිටි කිඹුලා ඇවිත් මේ ගව දෙනත් පැටියත් දෙන්නම ගොදුරු කරගන්නව...ඒ තමයි අම්මා කෙනෙක් කළ මහා කැපවීමක අවසානය...මේව විද්යාදවෙන් පැහැදිළි කරන්න බෑ....ඒත් විද්යාවවට හසු නොවන මොකක් හෝ දෙයක් මීට යටින් තියෙනව……
මහා ප්රජාපතී රහත් මෙහෙණිය බුදුන් සමීපයේ වැඩ ඉන්නව....භාග්යතවතුන්වහන්සේට "කිවිසුමක්" යනවා...ප්රජාපතිය එකවර "භාග්යවතුන් වහන්සේට දීර්ඝායු වේවා" කියල කියනව....ඒ වෙලාවේ බුදුන් ප්රජාපතියට දොස් නගනව “ප්රජාපතියනි , ඔබ රහත් මෙහෙණියක් ලෙස මීට වඩා ලෝකයට ආදර්ශමත් විය යුතුයි" කියල...රහත් වුනත් ඒ තමන් හදාවඩාගත් මෑණියන් නිසා බුදුන් ඉන්පසු නිහඬ වෙනව.. ප්රජාපතී ගෝතමිය පිරිනිවීමට ආසන්න වුනාම බුදුන් හමුවෙන්න යනව..පිරිනිවීම පෙර අවසන් වශයෙන් ඉල්ලීමක් කරනව ....තම පරිනිර්වානයට කලින් බුද්ධ ශරීරය දකින්න අවස්ථාවක් දෙන්න කියලා..බුදුන් තම සිවුර මෑත් කොට පපුව ප්ර්දේශය ගෝතමියට පෙන්වනවා... ප්රජාපතිය ඉන්පසු බුදුන් වැඳ පිරිනිවීම සදහා පිටත් වෙද්දි බුදුන් පසු ගමන් වඩිනව....බුදුන් පසු ගමන් වැඩියා කියල පිටකයේ සදහන් වෙන එකම තැනත් මේ මහා ප්රජාපතී ගෝතමිය වෙනුවෙන්ම පමණයි....
බුදුන්ට කලින් සැරියුත් මුගලන් අගසව් දෙනමම පරිනිර්වානයට පත්වෙනව.....මේ සිදුවීමෙන් පස්සේ බුදුන් හුදෙකලාව ගසක් මුලට වෙලා ධර්මසංවේගයෙන් යුතුව නිහඬව වැඩ ඉන්නව දකින අනද හිමියන් බුදුන්ගෙන් එසේ සිටින්නේ මන්දැයි කරුණු විමසනව...."ආනන්ද,විශාල ශාඛා දෙකකින් පරිපූණර්වූ මහා වනසප්තියක එම ශාඛාවන් දෙකම එකවරම මහා සුළගකට හසුව බිද වැටුන පසු අර මහා වනස්පතියේ අග්රස්ථ අන්කූරයට කිනම් හුදෙකලාවක දැනේද ,සාරිපුත්තයනුත් ,මොග්ගල්ලානයනුත් නොමැති බුද්ධ ශාසනයද එසේම හුදෙකලා විය...අටලෝ දහම හමුවේ කම්පා වීම බුදුවරයෙකුට තරම් නොවන නිසා මම නිහඩව සිටිමි... සාරිපුත්තයන් යනු මාගේ ශාසනයේ “අම්මාය"...මොග්ගල්ලානයන් යනු මාගේ ශාසනයේ “තාත්තාය”........සාරිපුත්තයනුත් මොග්ගල්ලායනනුත් නැති ශාසනය අනාථ දරුවන්ගේ තැනක් මෙන් මට හැගේ..... සාරිපුත්තයන් විසින් ධර්ම විනය කවා පොවා කුඩා සාමණේරයන් හදා වඩා ගත් පසු මොග්ගල්යානන් විසින් ඔවුන් උස් මහත් කරමින් මහ තෙර වරුන් බවට පත් කෙරේ...මේ මව් පිය සබදතාව විශ්වයේ සියල්ලටම පොදුවූ ධර්මතාවකි..."
පියා රාජ්ය සේවයේ ලිපිකරු සෙවයක් කල අපේ පවුලේ අක්කල දෙන්නාත්,අයියාත් මමත් සිවු දෙනාම උසස් අධ්යාපනයට යොමු කරවන්න අපේ මව සිදු කල "මූල්ය කලමනාකරණය " නම් පශ්චාත් උපාධියකින්වත් උගන්වන්න බැරි බව මම පෞද්ගලිකව දන්නවා...පෙරදිග බෝහෝමයක් රටවල තත්වය ඕකයි...පියවරු සාමාන්යෙන් එතරම් පවුලේ බර ගැන සිතට ගන්නේ නෑ බොහෝ අවස්ථාවල...මගේ මිතුරන්ගෙ පවුල් වලත් තත්වය ඒකමයි....මවුවරු පුදුමාකාර ඉවසීමකින් සන්යමයකින් තමනට ලැබුන ඉතා කුඩා ආදායම දරුවන් වෙනුවෙන් වියදම් නොකලා නම් පියවරු ඒ මුදල් නාස්ති කරන්න ඉඩ තියෙන්න තිබුනා...
සමහර අම්මාවරුන් නිරාහාරව ඉදිමින් දරුවන්ගේ කුස ගින්න නිවන බව මම හොදින්ම දන්නවා.......එසේ දරුවන් වෙනුවෙන් කැපවෙන මව පියා ඝාතනය කිරීම බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම තරම්ම බරපතල ආනත්තරිය පාප කර්මයක් වග බුදුන් පනවන්නේ ඒ නිසාම වෙන්න ඇති.....
මම පවුලේ බාලයා....ඉස්සර අම්මා මොන උත්සවයකට ගියත් හෙමින් සැරේ ලේන්සුවේ ඔතාගෙන මට කේක් කෑල්ලක් හරි වෙනත් මොකක් හෝ හන්ගගෙන ඇවිත් දෙනවා..... අම්මගෙ ඔඩොක්කුවෙ ඉන්නකොට දැනුන රැකවරණය නම් ජීවිතේ වෙන කිසිදවසක දැනිලා නැතුව ඇති.. පවුල් රැකීම එහෙමත් නැතිනම් "කුටුම්ඹ සන් රක්ෂණය” කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි....අපේ ජීවිතේ ආයු කාලය කොපමණ උනත් තමන්ගේ දරු දැරියන්ට ආහාර ,නිවාස ඇතුලු අනෙකුත් බොහෝ පහසුකම් ලබා දෙන්න මවු පියවරු ගන්න වෙහෙස නම් වචනයෙන් ලියල ඉවර කරන්න බැහැ....අතීතයේ තමන් ලග සිටිය බිරිදම අද මවක් වෙලා ජීවිත ජීවත් කරවන්න ගන්න වෙහෙස දිහා ගෞරවයෙන් බලන්න හැම පියෙකුටම පුලුවන්ද ?... අනුරාගයෙන් මත් වෙලා අතීතයේ දිනෙක ඇය දෙස බලපු නෙතින්ම දයාවෙන් තෙත් වෙලා බලන්න හැකිනම් එය කොතරම් වටිනවද ? ජීවිතේ කියන්නේ නිකම්ම නිකන් ඉන්ද්රීය පිනවීමක් නෙවෙයි කියල තේරුම් ගිය දවසක ඕනෑම පියෙකුට තම දරුවන් රකින බිරිද දිහා එහෙම බලන්න හැකි වේවි...... මේ සන්සාර ගමනෙදි අනාදිමත් කාලයක් තිස්සේ දරුවන් වෙනුවෙන් මවුවරු කළ කැපවීම දිහා බලා ඉදල නිහඩව සතුටු වෙන්න පුලුවන් පියවරුත් දහස් ගනනක් තවමත් ඉන්නව......
ඒත් දයිවයේ සරදමකට වගේ මේ සටහහ ලියන මමත් මහාචාර්ය සුනිල් ආරියරත්නයනුත් ඒ පියවරු අතර නෑ.. ....
මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
නුඹ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින්
බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිඹද
අම්මා කෙනෙකු මිස නිඹ මගෙ බිරිද ලෙස
නොහැගේ ලගින් ඉද මගෙ හිස සිඹින සද
තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින
පද ගෙත්තම : මහාචාර්ය සුනිල් ආරියරත්න
සටහන : චාමර වන්නිආරච්චි

Comments

Popular Posts