සාදුතර ස්වප්නයට නිගාදී ඔබ ගියා....

දිනක් අනද හිමි පිඬු සිඟා ගෙන විහාරයට අවුත් දානය වළදා බොනු පිණිස පැන් ටිකක් ගෙනෙනු සදහා පාත්රය අතින් ගෙන මගට බැස යනව....මහපාරට නුදුරින් ළිදකින් පැන් ගන්නා තරුණියක් දැක එතැනට ගොස් දෑතින් ගත් පාත්රය ඇතිව බිම බලාගෙන සිටිනව....
ප්රකෘති : ඔබට මොනවද ඕනෑ ?
අනද හිමි : මට පැන් ටිකක් ලැබෙන්න....
ප්රකෘති : මම චන්ඩාලියක්.....
අනද හිමි : මට ඕනෑ පැන් ටිකක් පමණයි.....
ප්රකෘති : මම සැඩොල් කතක්.....අපෙන් පැන් බොන්නේ නැහැ කිසිවෙක්.....
අනද හිමි : මට ඕනෑ පිපාසය සංසිඳුවා ගන්න,පැන් ටිකක් පමණයි,ජලය කුලය ගැන නොසළකා කාගෙත් පිපාසය සංසිදුවනවා....
ප්රකෘති : මම පහත් කුලේ කෙනෙක්.අපේ ළිදේ පැන් පිරිසිඳු වූවත් උසස් කුලේ අයට අපිරිසිඳුයි.....අපේ කුලේ අය හැර වෙන කිසිවෙක් මේ ලිඳේ පැන් බීල නෑ.
අනද හිමි : මම ඔබෙන් කුලේ ගැන ඇහුවෙ නැහැ.....මට ඕන පැන් ටිකක් පමණයි......
ප්රකෘති : ඇයි ඔබ දන්නේ නැද්ද ?මේ රටේ උසස් කුලය පහත් කුලය කියා කුල දෙකක් ත්බෙනව.මම අයිති පහත් කුලේට.....
මේ දිගු දෙබස අවසානයේ ඇය අනද හිමියන්ට පැන් ලබා දෙනව...අනද හිමි ඇයට පින් ලබාදී නික්ම ගියත්...අනද හිමියන්ගේ ආරොහ පරිනාහ කුමර දේහය මනා පෞර්ෂයකින් හෙබි කටහඬ අංග චලනයන් සියල්ලම ඇය මුසපත්ව වෙලා ගනවා...අවසානයේ ඇය ළිද ලඟටම වෙලා තනියම මුමුනමින් අනන්ද හිමියන් පිළිබඳ සිතින් යුතුව සිටින අතර රෑ බෝවී දියට ගිය තම දියණිය සොයා ඇයගේ මව පැමිනෙනවා...
උඹට මක් වෙලාද බං ?
අනේ අම්මේ මට එයා නැතුව බෑ...එයා මම බෑ කියද්දිම මගෙන් බලෙන්ම පැන් ඉල්ලගෙන බිව්වෙ මට ගොඩාක් ආදරේ නිසා ..අනේ අම්මේ මට එයා නැතුව බෑ...
කවුද බං ..කළු කුමාරයද ?
ඇය නිවසට යන්නේ අනද හිමියන් තමනට ලබා දෙන බවට මවගෙන් ලබා ගත් පොරොන්දුවක සහිතව...
අනේ අම්මේ අම්මා දන්නා "චණ්ඩාල වශී බන්ධනයෙන්" මට ආනන්දව ගෙනත් දෙන්නකො..නැතිනම් මම මෙතනම මැරෙනවා....
අපේ බන්ධන වලට වඩා උන්දැගේ ගුරාගෙ බුද්ධ මන්තරේ බලවත් මෝඩ කෙල්ලේ....
කමක් නෑ ..අම්මා උත්සාහ කරල බලන්න..අපේ වෙලාව හොඳ වුනොත්.....?
චණ්ඩාල මව තම කුප්පෑයමේ කාමරයේ ඇඳක් සුවඳ මලින් නහවා සියුම් සළු අතුරා අනද හිමියන් වෙනුවෙන් පිළියෙල කරන ලෙස සිය දියණියට උපදෙස් දී ඇය සතු පාරම්පරික මහා බල සම්පන්න "චණ්ඩාල වශී බන්ධනය" ජප කරමින් වද මල් පුලුස්සමින් ගිණි මැලයට දමනවාත් සමගම අනද හිමිගේ සිත කෙමෙන් වෙනස්වී නොදැනුවත්වම චන්ඩාල කුප්පෑයමේ ඉදිරියට පැමිණ නවතිනවා…..
උන්මත්තක විලාසයෙන් කුප්පෑයම ඉදිරියේ බිම බලාගෙන තෘෂ්නිම්බූතව සිටින අනද හිමියන් දකිනවාත් සමගම ප්රකෘතිගේ සිත ප්රීතියෙන් පිනා යනවා… ඒ වන විටත් සෝතාපන්නව සිටින අනද හිමියන්ගේ සිත එකවර බුදුන් වෙතට අරමුණු වන්නේ නිසඟයෙන්මයි……..මේ සිදුවීම දකින බුදුන් වහාම අනන්ද හිමියන් නැවතත් සිහිනයකින් වගේ දෙවුරම් වෙහෙර වෙත යැවෙනු ලබනවා...........
තම මවගේ පාරම්පරික චණ්ඩාල වශී බන්ධනය අසාර්ථකවූ බව දත් ප්රකෘති උන්මාදිනියක මෙන් හඬමින් කාමරයටම වී නොකා නොබී කල ගෙවන්න අරඹනවා………
සිය පළමු උත්සාහය අසර්ථකවූ බව දත් ප්රකෘති ඉන්පසු අනද හිමියන් පිඬු සිඟා වඩින විට පාර පස්සේම යන්න පටන් ගනවා.......දිනක් නොදැනුවත්වම දෙව්රම් වෙහෙරට ඇය එන බව දකින අබුදුන් ඇය අමතනවා......
බුදුන් : ආ….. ප්රකෘති හැබෑද නුබ අනද හිමියන් සහේට ගන්න පස්සෙන් එනවාය කියන්නේ...?
ප්රකෘති : එහෙමයි ස්වාමිනි,ඔබ වහන්සේ කැමති නම් අනද හිමි කැමතියි...
බුදුන් : එහෙමද ? ඊට කලින් නුඹේ දෙමාපියන් කැඳවාගෙන වරෙන්....ඒ අයගේ කැමැත්ත තමයි ඉස්සෙල්ලම ඕන....
දෙමාපියන් ගෙන්වාගෙන ඇය මෙහිණියක් බවට පත් කරන බුදුන් ඇයට අනද හිමියන් ලබා ගැනීමට නම් තමා ලබා දෙන කමටහන් අනුව බවුන් වැඩිය යුතු බවට පොරොන්දුවක් ලබා ගන්නවා...
අනද හිමියන් ලැබීමේ ඒකායන අරමුණෙන් බවුන් වඩන ඇය අවසානයේ රහත් බවට පත් වෙනවා... ඇය රහත් බවට පත්වූ වග ප්රත්යක්ෂ කරගත් බුදුන් ඇයව තමන් ලගට කැදවනවා...
බුදුන් : ඔබට දැන් අනද හිමියන්ගේ අතිනත ගැනීමේ සුභ මොහොත එලඹිලා කියලයි මට හිතෙනේ..කුමක්ද ඔබේ අදහස ?
ප්රකෘති : ස්වාමීනි ,ඔබ වහන්සේ මට මහත්වූ සංසාර විමුක්තිය නම්වූ ආනන්දය ලබා දුන්නෙහිය …..දැන් මට අනද හිමියන්ගෙන් ඇති පලක් නොමැත.......මට උන්වහන්සේගෙ දෙපා නැමැද සමාව ගත යුතුව ඇත.....
සමහර ස්ත්රීන් පුරුෂයන්ට තියෙන බැඳීම ජීවිතයෙන් වන්දි ගෙවන්න තරම් වුනත් ඉඩ තියෙන මට්ටමේ එකක් උනත් ඒ පිරිමි ඔවුන්ව තඹ දොයිතුවකටවත් ගනන් ගන්නේ නැතිනම්......සමහරවිට තමන්ට ඒවගේ බැඳීමක් තිබෙන බව දන්නා නිසාම ගනං උස්සනවද කියල කියන්නත් බෑ......පිරිමියා කොතරම් තමාව නොසලකා හැරියත් ඔහු වෙනුවෙන් ජීවිතය කැප කරල ඒක පාර්ශ්විකව ආදරය කරන ගැහැණු බුද්ධ කාලේ බ්රාහ්මණ සමාජයේ හිටිය නම් වර්තමාන කාලයේ ඉන්න බැරිද ?
එවැනි ගැහැනියකට තම පිරිමියා ගැන සම්මත සාධු ජන සමාජයේ මිනිසුන් අනුමත කරන "සිහින බලාපොරොත්තු” තියෙන්න බැරිද ? ඒ මොනව තිබුනත් ඔහු තමන්ව නොසලකා හරිනව නම් තමන්ගේ දුක සිත තුලම හිර කරගෙන ඉන්නව ඇර වෙන මොනව කරන්නද ?
කෙසේ හෝ සම්මතය තුළ ඔහු හිමි කරගත්තට පස්සෙත් තමා දන්නා සියලුම ආකර වලින් ඔහුට සත්කාර සම්මාන ගෞරව සැළකිළි දක්වද්දිත් ඔහු ඇය නොසලකාම හරිනව නම් ඉතින් ඒක මේ ජීවිතයේ තියෙන කිසිවක් කිසිවෙක් තම වසඟයේ තබා ගත නොහැකි "අනාත්ම ස්වභාවය "හැර අන් කවරක්ද ?
තම තරුණ ජීවිත කාලයේම ස්වාමියා තමා අතහැර තම ශිෂ්යාවක් සමග ප්රේමයෙන් බැඳුනු පසු දිවිය පුරාම "ශ්වේත වර්ණයෙන්" සැරසී හුදෙකලා දිවියක් ගෙවන නන්දා මාලිනියගේම ජීවිත කතාව මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් දිග හරින බවක් තමයි මට නම් හැඟෙන්නේ....

ආලයේ ගාථා සජ්ගායනා කලා
ආලයේ මන්ත්ර සියවරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධුතර ස්වප්නයට නිගාදී ඔබ ගියා....

ස්නේහයේ චුම්බනය නලල මත වගුරුවා
ආලිංගනය සුරස මතක පොත තුළ හොවා
ප්රේම ආරාමයේ කැණි මඩල බිම හෙලා
චාරුතර වසන්තය නිමාකර ඔබ ගියා....

සුපුෂ්පිත හදවතේ සුගන්ධය විහිදුවා
සුරක්ෂිත දොරටුවේ සෙවණ මුලු විසුරුවා
ප්රේමයේ අභය භූමියෙදි මා නසා
මධුර මධු කුසලාන කඩා බිඳ ඔබ ගියා....

පද ගෙත්තම : මහාචාර්ය සුනිල් ආරියරත්න
සටහන : චාමර වන්නිආරච්චි


 

 
 

Comments

Popular Posts