පෙර සංසාරේ ඇසුර මතක්වී.....

2015 අප්රේල් මාසෙ දවසක උදේ පාන්දර දිල්ලියෙන් පිටත්වුන අපි අග්රාවේ යමුනා ගඟ අසබඩ ටාජ් මහලත් පසුකරන් කාංපූර් වෙත යන්න පටන්ගත්තා....අවාසනාවට අපි ගිය සංචාරක බස් රථය උත්තරප්රදේශ් ප්රාන්තයේ කැලයක් මැද මහ වරුසාවක නැවතුනේ කිසිම දෙයක් කර කියා ගන්න බැරි විධියට.......එලිවෙනතුරු කැලේ මැද්දෙ බයෙන් අපි ගත කලේ එම ප්රදේශය බුද්ධ කලෙ සිටම මංකොල්ල් කරුවන්ගෙන් පිරුන තැනක් නිසා.. කාලෙකට කලිං බැන්ඩිට් ක්වීන් ලෙස ප්රසිද්ධ වුන පූලාන් දේවිගේ මැර කණ්ඩායම් නිතර ගැවසුනේ උත්තර්ප්රදේශ් වල මේ කැලයෙලු........හැමෝම බයෙන් රැය කෙසේ හෝ පහන් කරල අග්රාවෙන් ගෙන්වාගත් කුඩා බස් එකකින් කාංපූර් වලට ගියා.....දවස් කීපයකට පස්සේ අපි දුරුකතර ගෙවාගෙන බිහාර් ප්රාාන්තයේ වේශාලිය හෙවත් "විශාලා මහනුවරට" ආව....
භාරතයේ දිල්ලි,හර්යානා,උත්තර ප්රදේශ්,හිමචල් ප්රදේශ්,ජම්මු කාශ්මීර්,උත්තර්ඛන්ඩ්,පන්ජාබ්,ගුජරාට්,බිහාර් ,තමිල් නාඩු, මහා රාශ්ඨ සහ මධ්ය ප්රදේශ්හි අජන්තා ලෙං වල පවා සංචාරය කරපු මට මහා අමුතුම හැඟීමක් ඇතිවුනේ මේ විශාලා මහනුවරදි...
එතන තියෙන අශෝක ස්ථම්භය භාරතය පුරා තියෙන අනෙක් බොහෝමයක් ඒවට වඩා වෙනස්.....
මුදුනෙ ඉන්නෙ එක සිංහයයි....... තවත් ස්ථාන කීපයකම තියෙන එක සිංහ ඔලුවක් සහිත අශෝක ස්ථම්භයන් තිබුණත් විශාලාවේ ස්ථම්භයට මෝගල් ආක්රමණිකයන්ට කිසිම හානියක් කරන්න බැරිවුන නිසා 100% ක්ම නිරුපද්රිතව තියෙනව....
සම්බුද්ධ පරිනිර්වාණය සඳහා බුදුන් ගමන අරඹන්නෙ විශාලාවෙන්......
එම ගමන අවසන් වෙන්නෙ කුසිනාරාවෙන්......
අතරමග බේලුව ගමේදී ලේ අතීසාරය වැලඳුන බුදුන් කුසිනාරවට ලඟා වෙන්නෙ අසාධ්ය තත්වයෙන්....
විශාලාවේ කූටාඝාරය ලඟ ඉහළ අහසට වෙලා ඈත කුසිනාරව දෙස බුදුන් අවසන් ගමන වඩින දෙස බලා ඉන්න මේ සිංහයා දැක්කම මට මහා සංවේගයක් හට ගත්තේ ඒ මහා ශාස්තෘන් වහන්සේගේ ගුණ කඳ මතක් වෙලා......
අරිය පර්යේෂණ මහා පරිනිබ්බාන වගේ සූත්ර වලදී මට හමුවී තිබුන බුදුන් විශාලාවේ සිංහයගෙ ශෝකී බැල්මත් එක්ක මට නැවතත් මතක් වුනා......
විශාලා මහ නුවර කූඨාඝාර ශාලාවේ පාදම තවමත් ටිකක් දුරට ඉතිරිවෙලා තියෙනවා.......
රාහුල,නන්ද ඇතුලු රජ පවුලේ සියලුම දෙනා පැවිදි වීමෙන් පස්සේ මුලු කපිල වස්තුවම පාලුවෙලා ගියා......ප්රාදේශීය රාජ්ජයේ නායකත්වය ගන්න කිසිවෙක් ඉතිරි වුනේ නැහැ....අවසානයේ අනුරුද්ධ හිමියන්ගේ සහෝදරයාවුන "මහානාම" ශාක්ය ජනපදයේ රජ වෙනවා.....
වයසට ගොස් දුබලව සිටි මහා ප්රජාපතී ගෝතමියත් ,යසෝදරාවත් අවසන් තීරණයක් ගන්නව....ඔවුන් දෙදෙනා සමග තවත් කුමරිකාවන් පන්සියකට අධික පිරිසක් එකතුවෙනවා......සියලුදෙනාම හිස මුඩු කරගෙන මැටි පාත්ර අතින් අරගෙන එක්තරා උදෑසනක හිමිදිරියට පෙර දුර ඈත හිමගිරි පාමුල තැනිතලාවේ පිහිටි ශාක්ය ජනපදයෙන් පිටත් වෙනවා…… යොදුං ගනං දුර කතර ගෙවාගෙන නිසි ලෙස ආහාරයක් නොමැතිව ගමන් කරන මේ රජ කුමාරිකාවෝ කිසිදා පාවහන් නොමැතිව ඇවිද ගිය අය නෙවෙයි.......ඒ නිසාම ඔවුන්ගෙ යටි පතුල් පැලිලා රිදුම් දෙනවා.....ඒත් කිසිවෙක් සැලෙන්නෙ නෑ.....දින ගනනක් යොදුං ගනනක් ගෙවාගෙන ඔවුන් ගංඟා නදියෙන් අපහසුවෙන් එතෙර වෙලා පාඨලී පුත්රය පසු කරමින් රජගහ නුවර දෙසට එනවා...ඒත් බුදුන් වැඩ ඉන්නේ විශාලාවෙලු.....ආපහු හැරිල දුරු කතරගෙවාගෙන විශාලාවට යනව.....බුදුන් ලංකාවේ ඉපදුනා කියල කියන අය හෑල්ලු කරන්නේ මේ අසහාය ආර්ය කාන්තාවන්ගේ වීර්යය.......ඒත් මොනව කරන්නද ඒ ඔවුන් දන්නා තරම.... කුඨාඝාරයේ වැඩසිටි බුදුන්ට වෙනදා වගේ උපස්ථාන කරමින් ඉන්නේ අනද හිමි.....ශාලාවේ පසු පස පෙදෙසින් සියුම් කාන්තා හඩක් ඇහෙනව....අනද හිමියන් පසුපසට ගිහින් බලනව.........
"ඔබලා කවුද...?"
"ස්වාමීනි,මම ප්රජාපතියයි...මා සමග යසෝදරාවන් ඇතුළු තවත් ශාක්ය කුමාරිකාවන් පන්සිය දෙනෙක් පමණ සිටී......අප හිස් මුඩු කොට කසාවත් හැඳ දුර ඈත කපිලවස්තුවේ සිට භාග්යවතුන් වහන්සේ හමුවට මෙහෙණවර අපේක්ෂාවෙන් පැමිණියෙමු....."
"ගෝතමියනි,මොහොතක් විවේකීව රැඳී සිටින්න...මම භාග්යවතුවහන්සේට මේ ගැන සැලකර සිටින්නම්.......ඒත් උන්වහන්සේ මෙවැන්නකට අවසර දේදැයි මට සැක සිතේ...."
අවස්ථා දෙකකදීම බුදුන් අනද හිමියන්ගේ ඉල්ලීම පසෙක ලනව...තුන්වෙනි වතාවෙදි බුදුන් අතීත බුද්ධ ශාසන ගැන දිවැසින් බලනව.....
"ආනන්ද...ඔවුන් අෂ්ඨ ගරු ධර්මයන්ට එකඟ වන්නේ නම්,මා මෙහෙණ සස්න වෙනුවෙන් අවසර දෙමි...."
බලාපොරොත්තු සුන්වී සිටි ප්රජාපතිය සහ යසෝදරාව ඇතුලු පිරිස සතුටට පත්වෙනව........
ඔවුන් අනද හිමියන්ට වැඳ ස්තූතිය ඵල කරනව...උන්වහන්සේ නොසිටින්න මෙහෙණ සස්නක් නැති නිසා.......
නොබෝ කලකින් ඔවුන් සියලු දෙනා වීර්යය වඩා රහත්වෙනව.......
භාග්යවතුන් වහන්සේත් යශෝදරා රහත් මෙහෙණියත් දෙදෙනාම ජීවත්ව සිටිද්දිම වයස අවුරුදු හතලිහේදි රාහුල රහතුන් පිරිනිවීමට ලංවෙන්නේ ආයුෂය අවසන් වීමෙන්…..බොහෝ දෙනා සංසාර සාගරේ ජීවිතේ යාත්රාව ඔහු හෝ ඇය දෙසටම පදවද්දි ලේණ කුලේ සිට ආගිය මග තොට පහන් ටැඹක් මෙන් සිටි, චන්දකින්නර ජාතකේ කිඳුරිය ලෙසින් ලඟින් සිටි යසෝදරාවගෙන් පිටතටම සිද්ධාර්ථයන් සංසාර සාගරේ ජීවිතේ යාත්රාව පැදෙව්වා.........පස්සෙ දවසක ඒ සංසාර සාගරේන් එතෙරෙටම ඇයගේ යාත්රාව පදවන්න කියල දෙන්නත් "කළ ගුණ දත්" සිද්ධාර්ථයන් අමතක කලේ නැහැ.....
ඒ විතරක් නෙමෙයි...යසෝදරාවන් සමග සංසාර සාගරේ ජීවිතේ යාත්රාව පදවද්දි සොබා දහමේ වග කීම ඉටු කරමින් ලෝකයට ජනිත වුන රාහුලයන්ටත් ඒ සාගරයෙන් එතෙර වෙන මඟ කියල දෙන්න සිද්ධාර්ථයන් සමත් වුනා.........
රාහුලයන් බුදුන්ගෙන් අවසර ගෙන ගිහිං කිසිවෙකුටත් නොදන්වා දෙව් ලොවදී පරිනිර්වානයට පත් වෙනව.....එතකොට බුදුන්ටත් යසොධරාවටත් දෙදෙනාගෙම වයස අවුරුදු 69 යි..... රාහුලයන් වහන්සේ අඩු වයසින් පරිනිර්වානයට පත්වන බව දන්න නිසාම වෙන්න ඕන බුදුන් රාහුලයන් සත්යාවාබෝධය වෙනුවෙන් උනන්දු කරවන්නෙත් ,තමන්ගේ දෙවැනියාවූ සාරිපුත්තයන් වහන්සේට භාර කරන්නෙත්... සම්බුද්ධත්වයෙන් පස්සේ සුද්ධෝදනයන් විවිධ අය අතරේ බුදුන්ට පණිවිඩ යවනව කිඹුල්වතට වඩින්න කියල..ඒත් ඒ පණිවිඩ අරගෙන යන හැමෝම බුදුන් ලඟ පැවිදි වෙනව මිසක් කිසිවෙකුටත් මතක් වෙන්නේ නෑ බුදුන් කැදවාගෙන යා යුතු බව...අවසානයේ කාළුදායි ඇමතියට සුදුවුන් රජ පොරොන්දු වෙනවා ඉස්සරවෙලා බුදුන් වෙනුවෙන් තමන්ගේ පණිවුඩය ලබා දීල තම කාර්ය නිසි පරිධි ඉටු කලාට පස්සේ පමණක් පැවිදි වෙන්න..ඒ අනුව තමයි බුදුන්ගෙ පළමු කිඹුල්වත්පුර චාරිකාව සිදුවෙන්නේ..මේ චාරිකාවෙදි බොහෝ වැදගත් සිදුවීම් සිදු වුනත් යසෝධරාව තම කාමරයෙන් සෙලවෙන්නේ නෑ..ඇය අධිෂ්ඨානයක් කරනව...සිද්ධාර්ථයන් මගෙන් වෙන්වූ දිනයේ සිටම මමද ඔහු අනුගමනය කරමින් අපිස් ජීවිතයක් ගත කල නිසා බුදුන් තමන්ගේ සිරි යහන් ගැබට වැඩම කරාවි කියල.....
මේ ගැන යසොධරාවතේ හරිම හැඟීම් බර කවියක් තියෙනව..ඉස්සර අපේ තාත්ත මේ කවිය මම පුංචි කාලෙදි හරිම ලස්සනට ගෙදරදි ගායනා කරනව...
පෙර පෙර කඳුලු කිරි දරුවකු අතේ දරා
පෙරලා නොගොස් පෙම්බර මවු පියන් කරා
දරදඬු ගැසුණු අතපය හාමතේ දිරා
නරකාදියක හිමියනි අද යසෝධරා
මේ කවිය පුංචි කාලෙදි තාත්ත කියනව ඇහෙද්දි හැමදාම මගේ ඇස් වලට කඳුලු එනව ..ඒ ඇයි කියන්න මම අදටත් දන්නේ නෑ...
අනතිමානීවූ බුදුන් කිසිදු පැකිලීමකින් තොරවම යසෝදරාවන්ගේ සිරියහන් ගබඩාවට යනවා...මේ හරියටම වසර හතකට පසුව..එදා රාහුලයන් ඉපදිලා බන්ධනය ඇතිවූ දිනයෙන් පස්සේ සියලුම බන්ධනයන්ගෙන් නිදහස්වෙලා....බුදුන් යසෝධරාවන්ගේ අතීත ජීවිත ගෙනහැර දක්වමින් සංසාරය පුරාම තමන් සමග පහන් වැටක් මෙන් නිවන් දකින තුරු මේ සංසාරේ පැමිණි හැටි එකින් එක පැහැදිළි කරන්නේ යසෝධරාවත් අන් සියලු දෙනාමත් මහත් ධර්ම සංවේගයට පත් කරමින්....
මීට කලින් සොබා දහම අතික්රමණය කරන්න සමත් වුන බුදුවරු,පසේ බුදුවරු සහ රහතන් වහන්සේලාටත් සොබා දහම මෙලෙසින්ම එරෙහි වුනා..........ඒත් සංසාර සාගරේ ජීවිතේ යාත්රාව ඔහු හෝ ඇය වෙතට පදවන්නෙ නැතුව ඔවුන් සියලු දෙනාම සාගරයෙන් ඉවතටම පැදෙව්වා.......
සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයේ "අස්සු සූත්රයෙදි" බුදුන් කියන්නේ "අපි මේ අනවරාග්ර සංසාර ගමනේදී ප්රිය විප්පයෝගය නිසා හෙලූ කදුළු වල ප්රමාණය සතර මහා සාගරයේ ජල කඳටත් වඩා වැඩියි" කියල...පාලියෙන් අස්සු කියන්නේ කදුළු වලට.........බෝධි සම්භාර පුරන අවධියෙදින් කිසිදා නොකඩපු මුසාවාද සිල් පදය බිඳිමින් බුදුන් අපිට බොරු කියයිද ?
යසෝදරා තෙරණියත් බුදුන්ට කලින් පිරිනිවුනා....අවසන් ගමනට පිටත් වෙන්න කලිං බුදුන් වැඳ අවසර ගත් යසෝදරාව බුදුන්ගෙන් සමු ගනිද්දි මහ පොලොව කම්පාවුන බව සූත්ර පිටකයේ තියෙන්නේ මේ දීර්ඝ ඇසුර සදහටම නිමැවුන නිසා වෙන්න ඇති.......ඒත් මේ දිහා බලා සිටි අනද හිමියන්ට මේ වෙන්වීම දරාගන්න බැරුව මහ හඬින් හඬන්න පටන් ගත්තෙ රහත් වෙලා නොසිටි නිසාම වෙන්න ඇති.....
ලේණ කුලේ සිට ආගිය මගතොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක්වී
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපාමුල යසෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ
ලා දළු බෝපත් සෙමින් සැලෙනසේ
යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඩුවා
පෙර සංසාරේ ඇසුර මතක්වී
පද ගෙත්තම : රඹුකන සිද්ධාර්ථ හිමි
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=ThO7hoMwalc
https://wanniyaagehirimalaswenna.blogspot.com/…/blog-post_2…
 
 

Comments

Post a Comment

Popular Posts