මේ තරම් සියුමැලිද කළුගල් ........

“හරි චාමර, උඹ ඕක ඔහොමද කියන්නේ….. උඹ කොරල බලලද කියපන් ?"
“ එහෙනම්, මම අහන මේ ප්රශ්නෙට උත්තර දීපං අකලංක...”
“ කියපං “
“ හොඳට මුව අත තියෙන පිරිසිඳු කඩුවක් මැටි වලක හරි වක්කඩක හරි ගහලා මාස දෙකක් විතර තියල තිබුනොත් මොකද වෙන්නේ මුව අතට ?”
“ මොනව වෙන්නද ඉතිං මුව අත මලකඩ කනව මිසක්....”
“හරි ආං එහෙනම් කියපං, උඹ දැං ඔය උත්තරේ දූන්නේ උඹ ඇත්තටම පිරිසිඳු කඩුවක් මැටි වලක හරි වක්කඩක හරි ගහලා මාස දෙකක් විතර තියල බලලද? “
ජීවිතේ සමහර අත්දැකීම් අපි ඇත්තටම නොලැබුවට ඒවා අපේ ඇත්ත අත්දැකීම් වගේමයි... සමහර විරහ ගීත ,ප්රේම ගීත,මවු-පිය ගුණ ගීත අහනකොට අපිට දැනෙන්නේ ඒවා අපේම අත්දැකීම් වගේ…....කාම සූත්රය ලියපු බ්රාහ්මණ පඬිවරයා උපතේ සිට මරණය තෙක්ම "බ්රිහ්මචාරියෙක්ලු"...
ඒත් කෙනෙක් හිතයි ඒ කොහොමද එයා එච්චර ලස්සනට එව්ව ලියන්නේ කියල.....හැබෑටම ඔය මිනිස්සුන්ට වගේ "ලිංගික අධ්යාපනයක්" දෙන්නේ නැතුව කොහොමද සත්තු ඒ වැඩ ටික යස අගේට කරගන්නේ අප්පා.....ළමයි බලාගන්න උන්ට ඩේ කෙයාර් සෙන්ටර් ඇත්තෙත් නැහැ...මවු කිරි දීම කලමණාකරනය කරන්න මිඩ් ව්යිෆ්ල ඇත්තෙත් නෑ....උපත් පාලනය ගැන කියල දෙන්න කෙනෙකුත් නැහැ...
බුදුන් නම් කියන්නේ මේ කෙලවරක් නැති (අග්ර රහිත = අනවරාග්ර ) සංසාර ගමනෙදි අපි නොවුන කෙනෙක් ,නොලබපු අත්දැකීමක් නැහැ කියල....ඉතිං අනෙක් අයගේ අත් දැකීම් කිව්වට ඒවත් මීට පෙර දවසක දී අපේම අත්දැකීම් තමයි.....බාමියන් නිම්නයේ බුදු පිළිම නෙලපු,ගාන්ධාරයේ පිළිම නෙලපු,අනුරාධපුරයේ ගල් වඩුවෝ බුදුන් දැකලද ඒව නෙළුවේ නැහැනේ.......අජන්තාවේ බිතු සිතුවම් වල ඉන්න බුදුවරු.... කෙනෙක් අහයි රුවන්වැලි සෑය හැදුවෙ කවුද කියල ......අපි ගත් කටටම කියන්නේ දුටු ගැමුණු සහ සද්ධාතිස්ස රජු තමයි ඒක හැදුවෙ කියල....කලා වැව කාගෙද කියල ඇහුවම අපි කියන්නේ ඒක ධාතුසේන රජුගෙ වැඩක් කියල.....
අග්රාවේ යමුනා නදී තීරයේ තියෙන ටාජ් මහල බලන්න මම දවසක් ගියා 2015 වසරේ...ඒක හැදුවෙ ෂා ජහන් රජු මුම්ටාස් මහල් සිහිවෙන්නලු...වැඩේ කියන්නේ ඒක නිර්මාණය කල ගෘහ නිර්මාණ ශිල්පියගේ ඇස් දෙකම අන්ධ කලාලු ෂාජහන් එවැනි නිර්මාණයක් නැවතත් ඔහු විසින් කරවි කියන බයට...ලෝකේ ගොඩාක් වටිනා දේ නිර්මාණය කල මිනිසුන්ට ඉතිහාසයේ හැමදාමත් සිදුවුනේ අගය කිරීම් වෙනුවට කෙනෙහිළි කම් පමණමයි කියන එකට ලෝක ඉතිහාසය ශාක්ෂි දරනව... ලෝකයට වටිනා නිර්මාණ දායක වෙනවාත සමගම ඔවුන් බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිත්යෙන් සමුගන්න සිදුවුනා.....
මම ලෝකයේ ඒ වගේ නිර්මාණ බොහෝමයක් දැකල තිබුනත් ඒ කිසිම තැනක එය නිර්මාණය කළ සැබෑම කලාකරුවට එහි ගෞරවය හිමි වෙලා තියෙනව නම් දැකල නෑ...... බොහෝ සුන්දර නිර්මාණ ලෝකයට දායාද වුනේ ඒ වගේ අහිංසක මිනිස්සුන්ගේ ලේ කඳුලු දහදිය මතින් වුනත් ඔවුන් ගැන කවුද ගුණ වයන්නේ....ලෝකේ හැමදාමත් සිදුවුනේ ඔය කියන අසාධාරණයම තමයි...
දවසක් එක් තරුණයෙක් යනව අනුරාධපුර සංචාරයකට තමන්ගෙ සගයනුත් එක්ක...ඔහු යන යන හැම තැනම තියෙන නිර්මාණවලට යටින් ලියල තියෙනව "මෙය අහවල් රජු විසින් කරවන ලදී " කියල.... ඔහු යනව අවුකන බුදුන් ලඟට...මේ කලුගල් වලට මේ තරම් සියුම් විධියට දෑස් දුන්නේ ධාතුසේන රජු වෙන්න බැහැනේ...ඔහුට ඒක හරි ප්රශ්නයක්...ඊලඟට ඔහු යනව ඉසුරුමුනියේ පෙම් යුවල බලන්න..අම්මෝ ,මේ දෙන්න ඉන්න විධිය දැක්කම නම් හිතෙන්නේ මේක නෙලපු මිනිසාට ලෝකාස්වාදය ගැන පුදුම අත් දැකීම් සහිත ඇති කියල......
ඔහු මේ කලා කරුවන් හොයාගෙන රජ මාලිගෙ නටඹුන් අතරට යන්නේ නැත්තේ ඔවුන් එහි ඉන්න විධ්යක් නැති බව තේරුන නිසා.....ඔහු යනව කලා වැවත් පහු කරගෙන ටිකක් කැලේ ඇතුලට......යනකොට ඔහුට පෙනෙනවා ඉලුක් හෙවිලි කරපු පුංචි පැල්කොටේක පැදුරක් එලාගෙන තමන්ගේ කකුල් වල තිබුන අපහසුතාව මග හැර ගන්න තනිවම ඒවා පිරිමැදගන්නා මේ දුප්පත් කලා කරුවා....ඔහුට ඈතින් පේන්නෙ කලා වැව...සුළගට නංවන රැළි මැරි මැරී ඉපදෙන හැටි...ජීවිතේ සංසාරේ ඔහොම තමයි...ඇතිවෙනව-නැතිවෙනවා.....මේ තරුණය අහනව ඔහුගෙන් අර ඉසුරුමුණියේ ඉන්න පෙම්වතිය කොහෙද කියලා.....?
“මට කොහෙන්ද මහත්තයෝ එහෙම වාසනාවක්...එයා ඉන්නේ මගේ හිතේ විතරයි..... අපිට අයිති වෙන්න හිටි අයත් රජ්ජුරුවොන්ගේ අන්තහ්පුරේටම අරං ගියා මහත්තයෝ..ඉතින් කොහමද කලා පරපුරක් පවතින්නේ.”
මේ තරම් සියුමැලිද කළුගල් - හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත් -දෙඇස් දුන් මිනිසා සොයා
කලා වැව ලඟ ඉලුක් හෙවනක - මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු - මැරෙන උපදින රළ දිහා
ඉසුරුමුනියේ නුඹ මැවූ ඒ - පෙම්වතිය කොහිදැයි කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු - තවම තනිකඩයැයි කියා
පද ගෙත්තම : රජීව් වසන්ත වෙල්ගම
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch…

Comments

Popular Posts